Category Archives: ආගමික

ජිඔඩානෝ බෘනෝ පුළුස්සා මරා දැමීම (Burning of Giordano Bruno)

විද්‍යාත්මක ක්‍රමය සැකසී ඇත්තේ යම් මතයන් නිවැරදි හෝ වැරදි බව තහවුරු කිරීමට අවශ්‍ය දත්ත එකතුකිරීම සඳහාය. මෙහිදී අවසාන නිගමයකට පැමිණ එය තහවුරු කිරීමක් සිදුනොවන අතර, දත්ත මගින් තහවුරුවනදැ මත තවත් පර්යේෂණ සඳහා හෝ නිගමනය පිළිගැනීම සිදුවේ. දත්ත මගින් හෙළිවෙනදේ පිළිගැනීමත්, සියලූම දේ ප්‍රශ්නකිරීමත් (question everything) විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රධාන අංගයන්වේ.

මිනිස් අතීතයේ අදහස් පළකිරීම බොහෝ විටෙක ආගම් විසින් පාලනය කර ඇත. ජිඔඩානෝ බෘනෝ (1548 – 1600) එයට හොඳම නිදසුනකි. අපගේ සුර්ය්‍යා විශ්වයේ එක තරුවක් බවත් විශ්වය එවැනි සුර්ය්‍යන් විශාල සංඛ්‍යාවකින් තැනී ඇති බවත් එම සුර්ය්‍යන් වටා අපගේ පෘථිවියවැනි ග්‍රහලෝක සංක්‍රමනයවන බවත් ඔහු කියා සිටියේය. මෙම අදහස එවකට පැවති පෘථිවිය කෙන්ද්‍රකරගත් මතයට විරුද්ධවූ බැවින් සිරගත්වීමටත් පසුව ශුද්ධවූ ත්‍රිත්වයට සහ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවීමේ වරදට සහ අනිකුත් ඒහා සම්බන්ධ වැරදිමාලවකට වැරදිකරු කොට පුළුස්සා මරාදැමීමටත් ලක්විය.

විද්‍යාත්මක ක්‍රමයට අනුව බෘනෝට ඔහුගේ අදහස තහවුරුකිරීමට දත්ත තිබුණේ නැත. එමෙන්ම අදහස පළකළ මොහොතේසිටම විවිධාකාර වධහිංසාවලට ලක්වීම, සිරගතවීම ආදී හේතූන්මත දත්ත ‍රැස්කිරීම සඳහා පර්යේෂණකිරීමට හැකියාවක්ද නොලැබිණි. එනමුදු ඔහුගේ මරණයෙන් වසර දහයකට පසු ගැලීලියෝ විසින් දුරදක්නයක් හරහා කරනලද නිරීක්ෂණ බෘනෝගේ මතය තහවුරුකරන ලදී. ගැලීලියෝ මුහුණදුන් ඉරණමද අප කවුරුත් හොඳින් දන්නා දෙයකි.

අපේ රටේ විද්‍යාව විද්‍යාත්මක ක්‍රමයේ බැහැරවගිය අවස්ථා ඉතා මෑත අතීතයේදි අපට අසන්නට ලැබීඇත. නාථ දෙවියන් කිවූ අයුරින් සහල්වල ආසනික් තිබේයැයි නිගමනය කිරීම, අවසාන නිගමනයකට එලැබී එය තහවුරුකිරීමට කරනලද පර්යේෂණවේ. එය දත්තයන් මතින් නිගමනයකට එලැබීමක් නෙවේ. එසේම දැනට පවතින වාතාවරණය තුළ කිරිවෙහෙරින් පෙරුණේ කුමක්දයි ඇසීමත්, එය පර්යේෂණයකට ලක්කිරීමට ඉල්ලීමත් පුළුස්සා මරාදැමීමට හේතුවන කරුණුවිය හැක. කිරිවෙහෙරින් සිදුවූයේ ආශ්චර්‍යක්නම් එය කතරගමවැනි නගරයක ඊට දින කිහිපයකට ඉහතදී මිනිසුන් වෙඩිතබා මරාදමන පවුකාරකම් සිදුවූ භූමියක සිදුවූයේ ඇයි?

එක් ප්‍රතිචාරයක්

Filed under ආගමික, විද්‍යා, සමාජීය, සිංහල

විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි

දර්ශනවාදය මිනිසාගේ ආරම්භයතරමට පැරණියැයි සිතිය හැක. ආරම්භයේ පටන්ම දර්ශනවාදය මිනිසාත් විශ්වයත් අතර ඇති සම්බන්ධය සොයායැමට වෙරදරයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේවවාදී ආගම් සහ විවිධාකාර ස්වාභාවික විද්‍යාවන් ආරම්භවිය. පැරණි දර්ශනවාදීන්වන ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැන්නවුන්ගෙන් විද්‍යාවට සිදුවූ සේවයද නොසලකාහැරිය නොහැක. මධ්‍යකාලීන යුගය දක්වා විද්‍යාවත් දර්ශනවාදයත් අතර එතරම් වෙනසක් නොතිබිණි.

17 වැනි සියවසේදී යුරෝපයේ පැවති සමාජය පල්ලියවිසින් බුද්ධිශෝධනය කරනලද්දක් බැවින් එහි ස්වාභිමාණය නිසා ආගම සහ විද්‍යාව අතර ආරවුල් ඇතිවිය. ප්ලේටො සහ ඇරිස්ටෝටල්ට අනුව පෘථිවිය කෙන්ද්‍රකරගත් ග්‍රහලෝක පද්ධතියක් එකල තිබු ආගම්වලට එකතුවීතිබිණි. ගැලිලියෝ විද්‍යාත්මක නිරීක්ෂණ තුළින් එය වැරදිබව වටහාගැනීම සහ සුර්‍යා කෙන්ද්‍රකරගත් ග්‍රහ මණ්ඩලයක් ඉදිර්පත්කිරීම මෙම ආරවුලේ මුලාරම්භයවේ. ආගම සමග මෙන්ම විද්‍යාව සහ දර්ශනවාදය අතර ආරවුලක ආරම්භයද තරමක්දුරට මෙයවිය හැක. එතැන්පටන් විද්‍යාවතුළ සිදුවූ වේගවත් දියුණුවනිසා විද්‍යාවත් දර්ශනවාදයත් අතර කැපීපෙනෙන වෙනස්කම් ඇතිවිණි.

දේවාගම්වාදය මෙන් නොව දර්ශනවාදයත් විද්‍යාවත් දැනුම ලබාගැනීමට තාර්කිකමය මගක් භාවිතාකරති. නමුත් මේසඳහා භාවිතාකරන ක්‍රමවේදයන් හාත්පසින්ම වෙනස්ය. දර්ශනවාදය පුද්ගලබද්ධ ආකෘතියක් භාවිතාකරමින් දැනුම සෙවීමට ප්‍රමුකතාවයක්දේ. මෙහිදී විශ්වයතුළ හා සමාජයතුළ තනිපුද්ගලයෙකුගේ වැදගත්කම උකහාදැක්වීමක් සිදුවේ. එමනිසාම දර්ශනවාදින් සහජාවබොධයෙන් ලැබෙන නිගමනයකට පැමිණ ඒය සනාථකිරීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත්කරයි. ඔවුහු බොහොවිට ලෝකය මෙසේ වියයුතුය යන මතය ඉදිරිපත්කරති.

විද්‍යාව යමක් කෙසේ වියයුතුද යන්නවෙනුවට යමක් සිදුවූයේ/සිදුවන්නේ කුමනාකාරයටද යන්න පෙන්නුම්කරදේ. ඒසඳහා විද්‍යාත්මක සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත්කරයි. නිගමනයකට පැමිණෙන්නේ පර්යේෂණාත්මක සාක්ෂි පදනම්කරගෙනය. විෂයානුබද්ධ ආකෘතියක් භාවිතාකරමින් යථාර්ථවාදී ලෝකයක විවිධාකාරදේ අතර ඇති සහසම්බන්ධතාවයන් පෙන්නුම්කරදේ. විද්‍යාව ඉතාමත් තර්කානුකූලය, ඉතාමත් පිළිවෙළකින් යුක්තය එසේම මානව ශිෂ්ටාචාරට ඉදියට ගෙනයාමට දැවැන්ත මෙහෙවරක් ඉ‍ටුකර ඇත.

අර්තානුකූල දැනුම සෙවීම සඳහාද, විද්‍යාවේ සහ දර්ශනවාදයේ දෙකෙහිම ඉදිරි පැවැත්ම සඳහාද සහජීවනයකින් කටයුතු කළයුතුවේ. දැන් සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්වන විද්‍යාවත් දර්ශනවාදයත්, අතීතයෙදී එකිනෙකාගෙන් ඉගෙනගෙන ඇත. නව විද්‍යාත්මක සොයාගැනීම්මත පදනම්වෙමින් නව දර්ශනයන් බිහිවී ඇත. පරිණාමවාදය, හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මය එවැනි නිදසුන්ය.

ආදරය වැනි හැගීම ඇතිවන්නේ එන්ඩො‍ෆින් නමැති රසායනිකයන් නිසායැයි විද්‍යාඥයින් නොකියනමුත් එවැනි රසායනිකයින් පිටියුටරි ග්‍රන්ථිය මගින් එවැනි හැඟීම ඇතිවූ කලෙක නිකුත්වන බව කියති. එබැවින් අණු මගින් සියල්ල තේරුම් ගත නොහැකිද/හැකිද යන්න රසායන විද්‍යාඥයින් නොකියති. එනමුත් යම්දෙයක් සිදුවීමට මූලිකවන අණුවක් ඇතිනම් එය කුමක්දැයි සොයාගනිති. එසේම එම අණු කෘත්‍රිමව ශරීරයට ඇතුළුකිරීම මගින් ස්වභාවිකව ඇතිවන හැගීමට සමාන හැඟීමක් ශරිරයතුළ ඇතිකළ හැකිබව ඔවුහූ දනිති.

විද්‍යාව එතුළින් සොයාගත හැකි සියල්ල සොයා නිමකොට නැත. එබැවින් සැමවිටම විද්‍යාවේ අසම්පුර්ණතා පවති. මීට වසර 50කට පෙර සාමන්‍ය මිනිසුන්හට මහසයුරේ මැදසිට හෝ කාන්තාරයක මැදසිට දුරකථන ඇමතුමක් ලබාගැනීම හිනෙකින්වත් සිතිය නොහැක්කක්විය. නමුත් අද එය වෙනස්වී ඇත. සමහර විද්‍යාත්මක සොයාගැනීම් සඳහා පර්යේෂණ සැලසුම්කිරීම මෙන්ම ඒවා සාර්ථකව ක්‍රියාත්මකකිරීමද ඉතාමත් අපහසුබවද මෙහිදී සඳහන් කළයුතුය.

විද්‍යාව එහි ගමන ඉදිරියට ‍රැගෙන යන අතරතුර දර්ශනවාදය 18 වැනි සියවසේ සිරවී ඇත. නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කාලීන ප්‍රශ්න විසඳීමට හෝ සිදුවිය යුත්තේමෙයයැයි කීමට අලුත් දර්ශනයක් බිහිවී නොමැත. තාමත් ධනවාදය, සමාජවාදය කරපින්නාගෙන යන දර්ශනවාදීන් සාමය සහ නිදහස පතුරුවන්නට යන්නේ සමාගම්වල සිරකූඩුවල සිටය. බදුගැන කතාකරමින් ඡන්දය ඉල්ලන හෝ ඡන්දයදෙන කී දෙනෙකු ඇඩම් ස්මිත් හෝ කාර්ල් මාක්ස් කියවා ඇත්ද? කියවා තිබුණා නම් ඔවුන්ව පහසුවෙන් ‍රැවටිය හැකිවේද? ඇති නැති පරතරය වැඩිවන ලෝකයක, බලය සහ ධනය ඇති සුළුතරයක් විසින් පාලනයවන මානසිකත්වයෙන් මිදී නව විද්‍යා සහ තාක්ෂණික දැනුම භාවිතාකර අලුත් දර්ශනයක් ගොඩ නගා එතුළින් ළොවහි ප්‍රශ්න දකින්නට කාලය පැමිණ ඇතිබව දර්ශනවාදින්හට නොපෙනෙන්නේ ඇයි? ජෝන් රෝව්ල්ස් මේ සඳහා දරාඇති උත්සාහය ඉන් ඉදිරියට ගෙනයාමට අලුත් දර්ශනවාදීන්ට හැකිවේද?

ප.ළි.: විද්‍යාවතුළින් නොව දර්ශනයතුළින්ම පමණක් විශ්වයේ සැලැස්ම තේරුම් ගැනීමට හැකිද කියා කිවූ ඇය විද්‍යාව යන වචනය කොතරම් භාවිතා කොට ඇත්ද? එහි අරමුණ කුමක්විය හැකිද? විද්‍යාවතුළින් මෙය කළනොහැකිය යනමතයකට එල්බගෙන සිටීමටවඩා විද්‍යාවෙන් ඇතිකළ ඇතිකරන නව දැනුම උපයෝගීකර ගෙන විශ්වයේ සැලැස්ම් තේරුම්ගැනීමට උත්සාහ නොකිරීමට හේතුව දර්ශනවාදීන් පටන්ගන්නේ නිගමනයට පැමිණීමෙන් පසුව නිසාම වියහැකිය.

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, ආගමික, දර්ශනවාදය, පරිණාමවාදය, රසායනික, විද්‍යා, සමාජීය, සිංහල

පරිනාමවාදය තෙරුම්ගැනීම (ආගම නොව විද්‍යාව පදනම්කරගෙන) – re-bloging again with permission

මේ ලිපිය ඉදිරියේදී වෙනස්විය හැකිබැවින් (රචකයාගේ කාලවේලා සීමිත බව නිසා ඔහු විසින් ඉදිරියේදී ලිපියට අළුතින් කරුනු අඩංගු කිරීමට බලා පොරොත්තුවේ) අලුත්ම ලිපිය බැලීමට පහත සබැඳියාවට යන්න.

http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution

Understanding Evolution – Prasad

This post is a response to http://si.archaeology.lk/?p=1210 (මයෝසීන යුගයේ සිට මානව පරිණාමය)

ගවේශනය මත පදනම් නොවී, හුදෙක් ශ්‍රද්ධාව මත පිහිටා සිටිමින්, නූතන විද්‍යාවෙ ජෛව පරිණාම වාදයට (Theory of Evolution) එරෙහි වන ආගමික අන්තවාදීන් ගේ කඨොර ශබ්දය නිතර ඇසෙන මෙවන් වකවානුවක, පෘතුවියේ සහ ජීවයෙ ඉතිහාසය පිලිබඳ විද්‍යාත්මකව විස්තර කෙරෙන මෙවන් ලිපියක් (see the link above) ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. ඒ ලිපියට බොහෝ තුති!

ඉහත ලිපිය ගැන මට ඇත්තෙ ඉතා සුලු ඌන පූරනයක් පමනි. එම ලිපියේ ඇති පහත සඳහන් වැකිය වෙනස් ආකාරයකට ලියවුනේ නම් ඉතා අගනේය.

/* … ඔවුන් නූතන මානවයා දක්වා පරිණාමය වූ ආකාරය…*/

ඉහත වාක්‍යයෙන් සහ ඉහත ලිපියේ අග කොටසේ ඇති සමහර වාක්‍ය වලින් ගම්‍ය විය හැකි එක් වැරදි අදහසක් නම්, ජෛව පරිණාමයෙ අවසන් අනර්ග ප්‍රතිපලය මිනිසා (homo sapiens sapiens) බවයි.

මිනිසා මෙන්ම, හැලි වඳුරාත්, ගල් ඉබ්බාත්, ගස් ගෙම්බාත්, කුම්බාලවාත්, පසැඟිල්ලාත්, ඇමීබාවාත්; අද දවසෙ අපගේ පරිසරය අප සමග බෙදා හදා ගන්නා සියලු වර්තමාන සත්වයෝත්, වසර බිලියන ගනනක පරිණාමයෙ ප්‍රතිපලවේ. මිනිසා මෙන්ම මේ සියලු සත්වයෝ තම තමන්ගේ පරිසර පද්ධති වල වර්තමාන තත්වයන්න්ට ගැලපෙන සේ මනා ලෙස හැඩ ගැසුන අංග සම්පූර්න සත්වයෝ වෙති. මිනිසා ඔවුන් අතරින් විශේෂ වන්නේනම්, ඒ මෙවා ලියන ඔබත් මමත් මිනිසුන් වීම නිසා පමනි. “අංගසම්පූර්න සතුන්” යන යෙදුමෙන් මා අදහස් කලේ, මෙම සතුන් වර්තමාන පාරිසරික තත්වවලට කදිමට ගැලපෙන බව මිස, එම සතුන් පරිණාමයවී අවසන් බවක් නොවේ. පරිණාමය යනු දැන් “අවසන්වී” ඇති දෙයක් ලෙස වැරදි අදහසක්ද වේ. මා කීමට උත්සාහකල වැදගත් දෙය නම් මිනිසා පරිණාමයේ “අග්‍ර ඵලය” සහ සෙසු සතුන් යනු පරිණාමයේ අතුරුපල ලෙස හඳුන්වන අර්ථකතනය ජෛව විද්‍යාත්මකව වැරදි බවයි. “පරිණාමිකව, සියලු සත්වයෝ එක සමානයෝය.”

එක්තරා කාල සීමාවකදි පැවතුන පරිසර තත්වයන්ට සරිලන ගුනාංග තිබුනද, කාලයෙ ඇවෑමෙන් වෙනස් වූ පරිසර සාධක සමග පැවත්මට නොහැකිවූ නිසා අප අතරින් වියෝ වූ බොහෝ සත්ත්ව විශේෂ වෙති. මෙම වාක්‍යය කියන විටම ඩයිනසෝරයන් මතක් වුවද, එතරම් ඈත කාලවල නොව, මෑත ඉතිහාසයෙ මිනිසුන් දන්නා, දැක ඇති, ෆොටො පවා ගෙන ඇති, තස්මේනියානු ව්‍යාඝ්‍රයා[1] (Tasmanian Tiger) මෙන්ම, අපි වැඩිපුර ගනන් නොගන්නා ගෙම්බන්, මාලුවන්, කෘමීන් සත්ත්ව විශේෂ දිනපතා (මෙය ලියන මොහොතේද) සදහටම වඳවී යයි. අද දවසෙ පරිසරට ගැලපෙන සතා හෙට දවසේ තත්වයන් නිසා ඊට නොගැලපීමට ඉඩ ඇත. ප්‍රශ්නය වන්නෙ අද/හෙට යනුවෙන් කියන මේ තත්ව ඇත්තටම අවුරුදු සියදහස් ගනනින් මැනීමට සිදුවන නිසා, පරිණාමය යනු අපෝහනය කලයුතු සංසිද්ධියක් මිස, කෙටි කලක් තුල නිරීක්ෂනය කල හැක්කක් නොවීමයි. එනමුත් “ස්වභාවික වරනය” (Natural selection) නම් කෙටිකලක් තුල එතරම් සංකීර්න නොවන සතුන් අරභයා නම් නිරීක්ෂනය කල හැකිය. සංකීර්න සතුන් සම්බන්දව “පරිණාමීය” වෙනස්කම් හා අලුත් සතුන් ඇතිවීමනම් (speciation)  “මේ කපේදී” නිරීක්ෂනය කල නොහැක්කකි.

පරිණාමය යනු එදත් අදත් හෙටත් දිගටම සිදුවන, ඉතා සරල සංකල්ප කිහිපයක් ඉවසීමෙන් අවබෝධ කරගත් විට, ඔනෑම කෙනෙකුට ලේසියෙන් පසක්වන, ස්වාභාවික සංසිද්දියකට ඩාවින් සහ ඔහුගෙ සංකල්පය වැඩිදියුනු කල පසුකාලීන විද්‍යාඥයන් දුන් නමක් පමනි.

අප මේ පරිණාමය ගැන ලියන කියවන මොහොතේද, අප වටා ඇති සමස්ත ජෛව පද්ධතියම, පරිණාමය වෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ අග්‍ර පලය homo sapiens sapiens නොවේ, හැලි වඳුරාත් නොවේ, ගල් ඉබ්බාත් නොවේ.

අද අප මිනිසාගෙ ‘සතෙක් වශයෙන්’ වැදගත් කම මනින මිමි අනුව ගත්කල ජෛව ඉතිහාසය තුලද අපට වඩා “හොඳ” සතුන් අඩුම වශයෙන් එකෙක් හෝ සිටි බවට සාධක ඇත. නියන්ඩ්‍රතාල් මානවයා වර්තමාන මිනිසාට වඩා ශරීර නිර්මායෙන් “හොඳ” (‘good’ is a very relative term) බවට පොසිල සාධක ඇත. මොලයෙ ප්‍රමානය ගත්කල එය වර්තමාන මිනිසාට වඩා තරමක් ලොකු බවත් පෙනේ. අවාසනාවට නියන්ඩ්‍රතාල් වරුන් සහ සේපියන් වරුන් එකම පරිසර පද්ධතියේ එකම සම්පත් පරිබෝජනය සඳහා තරඟ කල සතුන් වූහ, මෙම සටනින් සේපියන්වරු ජයගත්තේ නියන්ඩ්‍රතාල් වරුන්ට වඩා සේපියන්වරු ආක්‍රමනශීලි වු නිසා බව කියැවේ.

සඳහන් කල යුතු තවත් වැදගත් කරුනක් නම්, ආක්‍රමනශීලිත්වය, රලු පරලු බව යනු ස්වභාවික වරනයේදී විශෙෂ ධනාත්මක-හැකියාවක් ලෙස සඳහන් වීම හැමවිටම නිවැරදි නැති බවයි. ජීවියා (Oraganism) කේන්ද්‍ර කොටගත් ඩාවින් මොඩලයට වඩා සාර්ථක ලෙස පරිණාමය විස්තර කිරීමට රිචර්ඩ් ඩොව්කින්ස් (Richard Dawkins) ප්‍රමුක විද්‍යාඥයන් ප්‍රචලිත කල “ජානය” කෙන්ද්‍ර කොටගත් මොඩලයට (Gene centric model of evolution) හැකිවී ඇත. ආදරය, කරුනාව, සහජීවනය, පරාර්ථකාමය යන “මානව” ගුනාංග ස්වභාවික වරනයෙදී හොමෝ සාපියනස් වරුන් ඇතුලු තවත් බොහෝ සතුන්ට ධානාත්මකව බලපෑවෙ කෙසේද සහ එම ගුනාංග අපගේ ජානගත “හැකියාවන්” බවත් මෙහිදි විස්තර කෙරේ.

මගේ මෙම සටහන මෙතනින් අවසන් නැත. කාල වේලාව ලැබෙන විටක මෙම ලිපියට අලුතින් කරුනු එක්කිරීමට බලාපොරොත්තු වෙමි.

ප.ලි. :

[1]. Tasmanian Tiger යන්න “තස්මෙනියානු කොටියා” ලෙස නොව “තස්මෙනියානු ව්‍යාඝ්‍රයා” ලෙස පරිවර්තනය කලේ ඇයිදැයි ඔබට ප්‍රශ්නයක් නැගුනේ නම්, ඊට හෙතුව මෙතැනින් බලා දැනගන්න. -> http://en.wikipedia.org/wiki/Kotiya

[2] වත්මන් මිනිසා නියන්ඩ්‍රතාල් මානවයා ගෙන් පැවත එන බවට වැරදි අවබෝධයක් සමහර දැන උගත් පුද්ගලයන් අතර පවා තිබෙන්නේ කුමක් නිසාද යන්න ඔබට මේ ලිපිය කියැවූ පසු පසක්වූයේ නම්, මගේ ලිපියේ අරමුනු එකක් අතිසාර්ථක වී ඇත. හෝමො සේපියන්ස් ගනයේ නොවන, ආදිවාසි මානවයන් ගැන කියැවෙන විටම අපට සිතෙන්නේ “ඔය කියන්නෙ අපට පෙර සිටි පරිණාමිකව “නොදියුනු” වඳුරෙක් ගැනයි” යනුවෙනි. “හෝමො සේපියන්ස් සේපියන්ස්” යනු පරිණාමයෙ අවසන් අග්‍රඵලය බවට සිතා සිටින අහංකාර උද්දච්ඡ බව ඊට හේතුවයි. පරිණාමීය ගසේ කිසිම තැනෙක සිටි සහ සිටින සතෙක් “නොදියුනු” සතෙක් නොවේ. අද දවසෙ පරිසර තත්වයන්ට ගැලපෙන සේපියන්ස් මිනිසා මෙන්ම, ඊට පෙර සිටි මානවයන්ද එදා දවසේ පරිසර තත්වයන්ට ගැලපුන “දියුනු” සත්වයන් වූහ.

නියෙන්ඩ්‍රතාල්වරුන්ගෙන් අපි පැවතනොආවද, පරිණාමීය ගසේ නියෙන්ඩ්‍රතාල්වරුන්ට සහ අපිට පොදු මුතුන්මිතෙක් සිටි බවට සැකනැත. සේපියන්වරු සහ නියෙන්ඩ්‍රතාල්වරු යනු දේපල සඳහා ගහ මරාගත් ලඟ ඥාතීන් වේ.

ඒ දවස් වල සිටි මානවයන් පරමාණු බලාගාර නොතැනූ බව සබෑය. එක වෙනම කතාවකි. තව අවුරුදු 250,000කට පසු අලුත්ම බලශක්ති ප්‍රභවයක් සොයගන්නා ඉදිරි දවසේ මානවයන් (සේපියන්ස්ලා නොවේ), ගින්දර භාවිතය සොයාගත් මුල්ම මානවයාට අපි අද දවසෙ දක්වන සැලකිල්ලට වඩා වැඩි සලකිල්ලක් පරමාණු බලාගාර තැනූ සේපියන්ස්ලාට දෙනු ඇති. ඒ අධ්‍යාත්මිකව ඔව්න් අපට වඩ ඉදිරියෙන් සිටිනු ඇති බැවිනි.

සේපියන්වරු යනු පරිණාමීය ගසේ එක් අත්තක ඉන්නා සංකීර්නම සහ බුද්ධියෙන් වැඩි සත්වයෙක් බව සැබෑය. පරිණාමීය ඉතිහාසයෙ “රන් අකුරින්” ලියැවෙන ප්‍රථමයක් ඔවුන්ට හිමිවී ඇත. එනම් තමන් වාඩිවී සිටිනා පාරිසරික තාප්පයට තමන් විසින්ම “කෙලවාගෙන” (“කෙලියා නේද පින්වත තාප්පෙට!”) වඳවී යාමෙ හැකියාව ලැබූ ප්‍රථම සත්ව කොට්ටාශය ඔවුන් වීමයි.

මෙවා ලියන මාගෙ මේ ව්‍යායාමය, කවදා හෝ දවසක අපි තාප්පයට කෙලවා ගැනීමෙ අවදානම අඩු කිරීමෙ පරම පවිත්‍ර චෙතනාවද, නින්ද නොයැමේ රෝගයද (insomnia) මිශ්‍රවීමෙන් තැනුනකි.

සමහර අදහස් මා සොරාගත් තැන්

වැඩිදුර කියැවීම්

වැඩිදුර නොයන නොකියැවීම්

විරුද්ධ සංකල්ප ඇත… ඒවාද කියැවීම යෙහෙකි. ඉහත සඳහන් “නොකියැවීම්” වලින් පහත සඳහන් කියැවීම් වෙනස් වන්නෙ “නොකියැවීම්” වල ඇත්තෙ එල්බගත් මතාවද (Dogma) පමනක් වීමය.

Read the opposite views too when they make sense

Disclaimer:

මම රිචර්ඩ් ඩොව්කින්ස් සරන නොගියේ වෙමි! නමුත් ඔහු වෙනුවෙන් කඩේ යමි.

බොහෝ පුද්ගලයන් ආගමික වන්නේ මක් නිසාද? ජීවිතය සහ අප වටා ඇති සියල්ල ගැන අපට පැහැදිලි උත්තර නැත. විද්‍යාව මෙම කෘතිම ප්‍රශ්න වලට උත්තර නොදෙයි. විද්‍යාව යනු දැනුම සහ නොදනුම අතර මායිමෙ සිටිමින් දැනුම ගොඩ නගන එක් ක්‍රමවෙදයක් පමණි. උත්තර නැති ප්‍රශ්න මිනිසා භීතියට පත්කරයි. රෑට නින්ද නොයයි. හෙට මට වන්නෙ කුමක්ද? මගෙ අඹු දරුවන්ට නරකක් වෙයිද? මා මල පසු සොහොන් කොතේ කවුරුන් හෝ දුක් ගීයක් ලියයිද? උත්තර නැති මේ ප්‍රශ්න සමග ජීවත්වීම අසීරුය. බිය දැනෙයි. දාඩියද දමයි. කුමක් හෝ පිලිතුරක් අත්‍යාවශ්‍යයි. වැඩිය නොහිතන හෝ හිතන්නට කාලවේලා නැති අය, සරල ආගමික වත් පිලිවෙත් මගිනුත්, තරම්ක් හිතන අය ආගමික දර්ශනවාද මගිනුත් ලබා ගන්නේ මේ සැනසීමයි. තම ආගමික දර්ශනවාද විද්‍යාව සමග සසඳා කිරා බැලීමත්, විද්‍යාවෙන් ආගමික දර්ශනවාද ඔප්පු කිරීමේ උත්සාහයත්; අනෙක් අතට විද්‍යාව යනු හිස් සංකල්ප ගොඩක් බව පවසමින් තම ආගමික දර්ශනය ඔසවා තැබීමත් එකම කාසියෙ දෙපැත්ත වේ. මේ දෙකම නොදන්නාදේ පැවතීමේ භීතිය මැඩ ගැනීමට කරන දේය.

උත්තර නැති මේ ප්‍රශ්නවලට එදා පටන්ම (මානව ඉතිහාසයේ අපි දන්නා මුල සිටම) උත්තර දුන්නෙ ආගමයි. වඩාත් නිවැරදිව කියනවානම් පූජකයායි (සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව-වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය). පූජකයාගෙන් අසා, නොදන්නා ප්‍රශ්නවලට උත්තර සොයා දැනගෙන, ටීවී එක බලා, පාන් කාලක් කා නින්දට යන අහිංසක පුද්ගලයන්ගෙන් කාටවත් හිරිහැරයක් නැත. ඔවුන් සඳහා සේවය කිරීමට සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය (from here onwards known as hidevage) යන සියල්ලත්; ඔවුන්ගෙ පැවත්ම සහතික කරන ආගමික ආයතනත්; මේ සමාජයේ පැවත්මට අති මහත් සේවාවක් කරයි. (ඔවුන් නොමැතිව මැරුනහම පාංසුකූලයක් දෙන්නේ, අවසන් ආලේපය කරන්නෙ, මලගිය ප්‍රානකාරයන් අප පසුපස විත් කරදර කරන විට ඒ මල පෙරේතයන්ට අවශ්‍ය අඩුම කුඩුම දී, පිරිතක් කියා, දේවාශීර්වද ලබා, මල පෙරේතයන් එලවා දමන්නේත්, විභාග පාස් වෙන්නට, රැකියාවක් ලබාගැනීමට, විවාහය ඉක්මන් කර දෙන්නට බෝධි පූජා කර දෙන්නේත් වෙන කවුද?)

සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන අයගෙන් නොදන්නා කරුනු අසා දැනගන්නා අහිංසක පුද්ගලයන් ගෙන් කාටවත් කරදරයක් හානියක් නැත. එනමුත් තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා “ඉන්ටලෙක්චුවල්” ප්‍රබුද්ධයන් තරමක් භයානකය.

පරම සත්‍යය ඇත්තෙ මෙතැනයි. මෙන්න පොත! මෙතැන ඔක්කොම විස්තරකර ඇත. අපි මේකෙන් කොපි මෙච්චර විකුනලා ඇත. මේක දෙවියන් (වහන්සේ) විසින් කෙලින්ම ආවේසවු පුද්ගලයන් හරහා ලියවා ඇත, අපෙ ශාස්තෘවරයා විසින් වදාල; අච්චර, මෙච්චර කාලයක් මුඛ පරම්පරාගතවද, ඉන්පසු පුස්කොල පොත් පරම්පරගතවද, දැන් නවීන තාක්ෂනයෙන් මුද්‍රනය කොට, හාර්ඩ් කවර් (hardcover) වර්ශියන් එකෙන්ද ඇත! මේ විදිහෙ මාර්කටින් සහිතව පරම සත්‍යයෙ නොයෙකුත් වර්ශියන් විකිනේ.

ඩොව්කින්ස් තම ජාන කේන්ද්‍රිය පරිණාම මොඩලය හරහා අපට දෙන්නෙ පරම සත්‍යය සොයන, භීතියට පත් අපගෙ “ඉන්ටලෙක්චුවල්” මොල වලට සරිලන ඉක්මන් පිලිතුරු සමූහයකි. තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා “ඉන්ටලෙක්චුවල්” ප්‍රබුද්ධයන් භායනක කතා කියති. නවීන විද්‍යාව මානව ප්‍රශ්න විසඳා නොමැති බවත්, පරිණාමවාදය පාසැල් පොතින් ඉවත් කල යුතු බවත්, මානව සංහතියට විනකරන අදහස් සහිත රාජ්‍යයන්ට ඉහලින් ගොස් පරමානු බෝම්බ දැමිය යුතු බවත්, මගීන් පිරුන ගුවන් යානා පැහැරගෙන ඒවා මිනිසුන් පිරුනු ගොඩ නැගිලි තුලට පැදවිය යුතුබවත්, මේ අදස් වලින් සමහරකි. ඩොව්කින්ගෙ මතවාද එසේ භයානක නොවේ

භයානක ආගමික දර්ශන හරහා ගොඩ නැගෙන දැනුම් (knowledge systems) සහ හර පද්ධතීන්ට (value systems) වඩා, ඩොව්කින්ස්ගෙ ජාන කේන්ද්‍රිය මොඩලය හරහා ගොඩ නැගිය හැකි නිර්-ආගමික (secular) හර පද්ධතිය මට පෙනෙන හොඳම විසඳුමයි. ඩොව්කින්ස්ගේ ජාන කේන්ද්‍රීය පරිණාම මොඩලය පුරවන හිස්තැන නම් මෙයයි. ඩොව්කින්ස් කර ඇත්තේද, සංකීර්න හේතු සමුදායක් සරල තනි හේතුවකට ඉක්මනින් ඌනනය කොට, අර ආගමික දර්ශනවාද හරහා සත්‍යය සොයන නොඉවසිලිමත්, භීතියටපත් මොලවලට ගැලපෙන reductionist approach එකක් බවත් ඔහුගෙ තර්කය ඩාවින්-මූලධර්මවාදයක් බවටත් සමහරු කරන චෝදනාවට මම (අකමැත්තෙන් නමුත්) යම්තාක් දුරට එකක වෙමි. එබැවින් මම  රිචර්ඩ් ඩොව්කින්ස් සරන නොගියේ වෙමි! නමුත් ඔහු වෙනුවෙන් කඩේ යමි. ඒ සියලු සත්වයන්ගේ හිත සුව පිනිසය. බහුජන හිතාය, බහුජන සුඛාය!

නොයෙකුත් අදහස්, ආකල්ප හා අවශ්‍යතා සහිත මිනිස් සමූහයාත්, හැලි වඳුරාත්, ගල් ඉබ්බාත්, ගස් ගෙම්බාත්, කුම්බාලවාත්, පසැඟිල්ලාත්, ඇමීබාවාත්, අපේ සිවිලිමට නැග, ශබ්ද කරමින් දඟලමින් සිට්නවාට අමතරව හිටිගමන් පහලට වැක්කෙරෙන්නට මුත්‍රා කරන, දවාලක හමුවුනේ නම් මැරෙන්නට පොල්ලකින් ගහන්නට රෑට සිතෙන (නමුත් දවාලට එහෙම ප්‍රානඝාත නොකරමි ) උගුඩුවාත් (Asian Palm Civet), නිවාඩු දවසකවත් උදේට නිවීසැනසිල්ලෙ නිදා ගැනීමට නොදී, උදේ පාන්දරම ලවුඩ් ස්පීකර් දමන, දවාලක වැඩියේ නම් තට්ටය පැලෙන්නට දෙන්න හිතෙන (දවාලට එහෙම අකුසල කර්ම නොකරමි) අපේ පංසලේ හාමුදුරුවෝත් (Sri Lankan Buddhist Monk), දවසකට හත් අට වතාවක් උපරිම ශබ්දයෙන් ලවුඩ් ස්පීකර් දමන පල්ලියේ ලෙබ්බේත් (Naturalized Middle-eastern Imam) , මග දිගට වෙට්ටු දමා කාර්යාලයට යන ගමන එපා කරවන, නමුත් රෑ කල කාර් එක කැඩී මහ පාරෙ අතරමන් වූ විට, ලඟට විත් උදව් කොට, මුදල් ගන්නෙත් නැතුව ගරාජ් එකක් කරා රැගෙන යන නාඳුනන ත්‍රී-වීල් මල්ලිලාත්; (Homo sapiens sapiens thrishawdrives).ඇතුලු මෙකී නොකී සියලු සත්වයෝ සමග ලෝකයෙ කුඩා ඉඩ බෙදා හදාගෙන ඉන්නට හැකි ක්‍රමයක් ලෙස නිර්-ආගමික හර පද්ධතිය අගයමි. මට වැරදී ඇත්නම් නොදන්නා කමට කමත්වා.

ප්‍රතිචාර 5

Filed under අධ්‍යාපනය, ආගමික, පරිණාමවාදය, විද්‍යා, සිංහල