Category Archives: විශ්ව විද්‍යාල

දාගැබ් මහ වැව් බැන්දේ ඒලියන්ස්ලාය පුතේ

1990 ගණන්වලදී අපේ ආර්ථිකය මංසන්ධියක් පසු කළායැයි මට සිතේ. එතෙක් කෘෂිකාර්මික ආර්ථිකයක්ව තිබු ශ්‍රි ලංකාව සේවා ආර්ථිකයක් බවට පත්වීම 90 දශකයේදී සිදුවිය. ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන අපේ රට තුළ ප්‍රධාන අපනයනය බවට පත්විණි. ලංකාවේ සිට ඇමරිකාවට පැමිණ දෙවැනි දිනයේදීම පොත් බැගයක් ගැනීමට ‍ටුසොන් නගරයේ වොල්මාර්ට් එකෙදී මගේ සිතගත් බැගය නිෂ්පාදනය කර තිබුණේ ශ්‍රි ලංකාවෙදී බව දු‍ටු මගේ ඇ‍ඟෙහි හිරිගඩු පිපිණි. ඒ මා සිතතුළ ඇතිවූ යම් ආඩම්බරකමටයැයි මට සිතේ. එතැන් පටන් ඇදුම් කඩයකට ගොඩවෙන හැමවිටම විවිධාකාර ඇඳුම් මසා ඇත්තේ ලංකාවේද යන්න සොයා බලන්නට මම අමතක නොකළෙමි. ඒම ලේබල් දු‍ටුවිට සිතෙහි යම් දුකක්ද ඇතිවූයේ සන්නාලියන්ගේ දුක්ගැන මා යම් දුරකට දැන සිටි බැවිනි. මගේ නැදෑවන අක්කලා කිහිපදෙනෙක්ම ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටි අයය.

ජනාධිපතිව සිටිකාලයේදී ආර්. ප්‍රේමදාස මහතා කෙරෙහි මාගේ සිතේ පැහැදීමක් නොතිබිණි. නමුත් නැවත හැරී බලන විට මගේ ජීවිතකාලය තුළ සිටි නායකයින් අතරින් රාමුවට පිටතින් සිතූ එකම නායකයා ඔහුයැයි මට සිතේ. ඒතැන් පටන් සිටි හැම නායකයාම ඔහුගේ ආකෘතිය විවිධාකාර නම් යොදා පාවිච්චිකරන අයුරු පෙනේ. පරණ රාමුවෙන් පිටතට පැමිණි නව නායකයින් ප්‍රේමදාස රාමුවේ හිරවී ඇත.

ඕනැම කර්මාන්තයක් වැඩි ලාභ තකා පිරිවැය අඩුකර ගැනීමට ලාභදායි කම්කරුවන් සොයායැම නිතර අසන්නට ලැබෙන දෙයකි. එය දැන් අපේ ඇඟලුම් කර්මාණතයට සිදුවන්නේ අසල්වැසි බංගලාදේශය වැනි රටවලින් ලාභ ශ්‍රමය සොයා ගත හැකි බැවිනි. ඇගලුම් කර්මාන්තය තුළ විශාලලෙස ‍රැකියා කපාහැරීම් පසුගිය වසර කිහිපය තුළ සිදුවී ඇති බව පාර්ලිමේන්තුවතුළදීම පසුගිය දිනක කථාවිනි.

කෙසේවෙතත් අපි දැන් සංචාරක කර්මාන්තයට සූදානම් වෙමින් සිටියි. නගර අලංකාරය සහ කැසීනෝ ව්‍යාපාරය දියුණුකිරීම පටන් ගෙන ඇත. සංචාරක කර්මාන්තය යනු සංකීර්ණ කර්මාන්තයකි. එයට දේශීය මෙන්ම විදේශිකයන්ද, හුදු විනෝදය තකා මෙන්ම අධ්‍යාපනය තකා සැරි සරන්නෝද අයත්වෙති. අපේ රට සැරසෙන්නේ මින් එක කොටසකට පමණක්යැයි මට සිතේ. එම කොටස දැනට තායිලන්තයට සිදුකර ඇති දේ අපේ රටට සිදු කරන්නට වැඩිකල් ගත නොවනු ඇත. රටේ වැඩිදෙනෙකු වෙළඳපොළ මත සියල්ල තීරණය විය යුතුය යන මතයේ සිටිති. සමහරක් දැ එසේ විය යුතුවුවද සමහරක් දැ එසේ නොවිය යුතුය. එය වෙනත් මාතෘකාවකි.

මේ දිනවල කඩුල්ල බැලූවිට මා ඉතාමත් ආශාවෙන් ගිය තැනක්වන පොළොන්නරුවෙහි පින්තූර දක්නට ලැබේ. ඒවා දු‍ටු මා අතීතයේ අතරමං විණි. අපගේ මුතුන් මිත්තන් මෙවැනි නිර්මාණ කරන්නට ඇත්තේ කිහිපවතාවක් සාදා කඩා බිඳදමා නැවත ගොඩනැගීමෙන් විය නොහැක. වාරිමාර්ග ව්‍යාපෘති, කළා කෘති, දැවැන්ත පිළිම සහ ගොඩනැගිලි සාර්ථක ලෙස ඉඳිකීරීමට, ඒවා සැලසුම් කිරීමට සහ වහල් සේවය යොදවා හෝ ඒවා ගොඩනැගීමට නායකත්වක්දීමට හැකි මිනිසුන් (හෝ පිට සක්වලින් පැමිණයියයන්) අපේ රටෙහි සිට ඇත.

එවැනි මිනිසුන් සිටිනවායැයි විශ්වාසය තිබු නායකයින් විශාල ව්‍යාපෘතිවලට අනුබල දී ඇත. අද අපට එවැනි නායකයින් නොමැත. අද මහා ව්‍යාපෘතිවලය චීන සැලසුම්කරුවන්, ඉන්ජිනේරුවන්, කම්කරුවන් පැමිණේ. රුසියාවෙන් පැමිණ තෙල් හාරනු ලැබේ. රටේ ඇති මිනිරන්වැනි ස්වාභවික සම්පත් හාරා කැබලිකොට පිටරටට විකිනනු ලැබේ.

ග්‍රැෆීන්

ග්‍රැෆයිට් සහ කාබන් නැනෝ ටියුබ්ස්

මිනිරන් (ඉංග්‍රිසියෙන් ග්‍රැෆයිට්) සෑදී ඇත්තේ මෙවර භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලද ග්‍රැෆීන් නම් රසායනික ද්‍රව්‍යයේ ස්තර එකමත එක තබා තැනෙන ත්‍රිමාණ ආකෘතියකිනි. වෙනත් වචනවලින් කියතොත්, මිනිරන්වලින් ග්‍රැෆීන් ස්තර වෙන්කළ හැක. ග්‍රැෆීන් රෝල්කර කාබන් නැනෝටියුබ්ස්ද, ග්‍රැෆීන් ගුලිකර ෆුලරීන්ද (බකියි බෝල්ස්ද) තැනිය හැක. මා මෙහි ලියා ඇතිපරිදි එය ලෙහෙසියෙන් කළනොහැකිවුවද ඒවා කිරීමට හැකියාව ඇති ශ්‍රි ලාංකිකයින් ඇත. වසර කිහිපයකට ඉහතදී කරනලද සමීක්ෂණයකින් 2009 වසරේදී ඩොලර් මිලියන 200ක්වන කාබන් නැනෝටියුබ් සඳහා ඇති ඉල්ලුම 2020දී ඩොලර් බිලියන 9ත් පසුකර යන බව කියැවේ. නමුත් එවැනිදේ අපගේ වෙළඳපොළ පඬිවරුන්හට පෙනෙන්නේ නැත. ඔවුනට අනුව ඇමෙරිකාව වැනි බටහිර රටවලින් ශ්‍රි ලාංකිකයින් නැවත පැමිණෙන්නේ ඇමෙරිකානු ආර්ථිකය කඩාවැටී ඔවුනට රක්ෂා නැතිවීම නිසාය.

පසුගිය වසර 15තුළ විද්‍යා උපාධිධාරීන් 30000ක්වත් අඩුම තරමින් අප රටෙහි බිහිවී ඇත. ඔවුනව මෙවැනි කර්මාන්තයකට යොමුකරගැනීමට අපහසුතාවයක් නැත. අපගේ විශ්ව විද්‍යාල තුළ විෂය නිර්දේශය “අලුත් වෙළඳපොළට හැඩගැසිය යුතුය”යන මතය දරනා පඬිවරුන්හට මේ දේය කිවහැකිය. ග්‍රැෆයිට් සහ දියමන්තිගැන ඉගෙනගෙන ඇත්නම් (සාමාන්‍යයෙන් උසස්පෙළට සහ විද්‍යා උපාධියේ පළමු වසරතුළදී මෙය ඉගෙන ගනු ලැබේ) ඉතිරිය තේරුම් ගැනීම අපහසුනොවේ. විශ්ව විද්‍යාලයක් යනු කුඩා දරුවන්හට හෝ හැට පැන්න නාකීන්හට කුක්කු පොවන තනපටක් නොවේ. විද්‍යා උපාධියක් හරිහැටි හදාරා ඇමරිකාවට, එංගලන්තයට, සහ අනෙකුත් රටවල් විශාල ගණනකට පැමිණ පශ්චාත් උපාධි හැදැරීමේ හැකියාවක් ඇත්නම් ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් ඔබහට සිදුවිය යුතු සේවාව ඉ‍ටුවී ඇත. විෂය නිර්දේශ වෙනස්විය යුතුනැත යන්න මින් අදහස් නොකරමි. වෙනස්විය යුත්තේ විශ්වවිද්‍යාලයට නොගිය නමුත් විශ්ව විද්‍යාල පාගාදමන්නට තැත්කරන්නන්ගේ උවමනාවටවත්, ගම්බදින් පැමිණෙන උපාධීධාරින් හට ‍රැකියාදීමට අකමැති ඉතා කුඩා කොටසක්වන කොළඹ ප්‍රභූ පෙළැන්තියටවත් ඇති උවමනාවට නොවේ.

එවැන්නන් පතුරවන මත්වාදයන්හී පැටලී සිටින විශ්ව විද්‍යාලවලින් බිහිවන්නද, සැබවින්ම රටේ සියල්ලන්ගේම උන්නතිය ගැන සිතන (අධ්‍යාපන ඇමතිතුමා කියන පරිදි වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට නොගිය) අයද, ඉතාකුඩා පිරිසකගේ උවමනාවන් මත වෙළඳ පොළ හැසිරවීමට ආණ්ඩුව පොළඹවන්නන් දෙස බලාසිටින කාලය අවසන්කළයුතුය. නව අදහස් ගලා ඒමට ඉඩදීමට සහ ප්‍රේමදාස රාමුවෙන් පිටතට ආණ්ඩුව පැන්නවීමට උත්සාහකළයුතුය. ජංගී මැසීම නවත්වා, ජංගි ගලවා දෙකට නැමෙන්නට සිදුකරන කාලයක් ගෙන එන නායකයින්ටද, අපගේ මිනිසුන්හට ඇත්තේ අග්ගලා ගුළිකිරීමේ සහ ගංජා සුරුට්‍ටු රෝල් කිරීමේ හැකියාවන් පමණක්යැයි සිතන නායකයින්ටද අතීතය මතක්කොටදී රට වෙනතකට ගෙනයාමට කාලය පැමිණ ඇත.

පින්තූර

http://www.hanwhananotech.com සහ http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html

ප්‍රතිචාර 12

Filed under අධ්‍යාපනය, ආර්. ප්‍රේමදාස, ආර්ථිකය, ඇඟලුම් කර්මාන්තය, කාබන් නැනෝටියුබ්ස්, ග්‍රැෆයිට්, ග්‍රැෆීන්, දේශපාලනික, මිනිරන්, විද්‍යා, විශ්ව විද්‍යාල, සංචාරක කර්මාන්තය, සමාජීය, සිංහල

කාලකණ්ණි අවජාතකයෝ

උසස් අධ්‍යාපන ඇමති සහ එම නියොජ්‍ය ඇමතිතුමා පිළිවෙලින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් හැදුන්වීමට යොදාගත් පදදෙකක් මාතෘකාවට යොදා ගතිමි.

අවිශිබමගැන මගේ ඇති ස්ථාවරය වෙන සටහන්වල ලියා ඇත. එසේම විශ්ව විද්‍යාලවල ඇති සැබැ ගැටලුගැනද, පුද්ගලික විශ්ව විද්‍යාල හරි පදනමක් ඇතිව ස්ථාපනය කිරීමට විරෝධතාවයක් නැති බවද යම්තාක් දුරට මින්පෙර ලියා ඇත.

විශ්ව විද්‍යාල සිසුන්තුළ ඇත්තේ නිශ්ශබ්දව සිටින බහුතරයකි. එයට අමතරව සිසුන් සුළුපිරිසක් ‍රැග්, ඇන්ටි-‍රැග් වශයෙන්ද, නේවාසික, ගෙදර සිට පැමිණෙන වශයෙන්ද, දේශපාලනිකවද බෙදී ඇත. මා පේරාදෙණිය වි.විද්‍යාලයේ සිටිකාලය තුළ සිසුන් කිසිම විටෙකවත් ගැටී නැත. එවැනි ගැ‍ටුමක් ඇතිවීමට අවස්ථාවක් නිර්මාණයවුවහොත් එය වැලැක්වීමටද විශාල පිරිසක් විය.

ජයවර්ධනපුර වි.විද්‍යාලය වරක් පිටතින් පැමිණි මැරයන් පිරිසක් පහරදීමෙන්පසු අනිකුත් වි.විද්‍යාලවලටද එවැනි පහරදීම් පටන්ගෙන ඇත. නවක වධයට විරුද්ධ සිසුන් විසින් මෙය පටන් ගැනුනද දැන් ආංඩුවෙ ඇමතිවරු පවා සිසුන්ට පිටතින් පැමිණෙන මැරයන් යොදා පහර දෙති. මෙම මැරයන්ට අමතරව නිතිය ක්‍රියාත්මක කිරීමේ මුළාවෙන් ශ්‍රි ලංකා පොලිසියේ නිලධාරින්ද විශ්ව විද්‍යාල සිසුන්හට පහරදෙති. වැටලීමෙන් සහ කඩාවැදීමෙන් පිළිතුරු සොයන අවිශිබම මෝඩ පිළිවෙත් අනුමතකරනවායැයි මින් අදහස් නොකරමි. සිසුගැ‍ටුම් නිසා රුහුණු වි.විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මිය ගියද දැන් ඒගැන කතාකරනා කිසිවෙකුද නොමැත. සිසු ගැ‍ටුම් පිළිබඳව ආංඩුව අවිශිබම වෙත ඇගිල්ල දික්කරන අතර අවිශිබම ආංඩුවට ඇගිල්ලදික් කරයි. එසේත්නැතිනම් උපකුලපතිතුමා හාමුදුරුවරුන්ට ඇඟිල්ල දික්කරන අතර හාමුදුරුවරු උපකුලපතිතුමාට ඇඟිල්ල දික්කරති.

මෙයට අමතරව විශ්ව විද්‍යාලයෙන් උපාධිලබා ගිය මිනිසුන් (සමහර බ්ලොගකරුවන් පවා) උපාධියෙන් තමන්හට වැඩක් නොවූබව කියන්නේ එම උපාධිය නිසා තමා සිටිනා තැනද අමතකකරමිනි. නැවතත් විවිධාකාර හේතුදෙමින් ආංඩුව විශ්ව විද්‍යාල වසාදමමින් පවති. මගේ ජීවිතයේ වසර 3ක් (2 1/2 විශ්ව විද්‍යාලය ඇතුළුවීමට පෙර) විශ්ව විද්‍යාල වසා දැමීමනිසා කාලකන්නිවී ගියේය. මගේ අත්දැකීමේ හැටියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීථයේ රසායන විද්‍යා උපාධිය මා ඇමරිකාවට ගෙන ඒමටද ඇමෙරිකාවෙදී අනිකුත් සිසුන් සමග කරටකර සිටිමින් ආචාර්ය උපාධිය නිම කිරීමටද, ඉන් ඔබ්බට මාලද පර්යේෂණාත්මක අත්දකීම්වලටද රුකුලක්විය. එහි අඩුපාඩු නොමැතිබවක් මම මින් නොකියමි. නමුත් ඒවා නිවැදිකිරීමට හෝ ඒය වැඩිදියුණු කිරීමට හැක්කේද ඉන් රුකුලක් ලැබූ ඔබටමය. ඒ සඳහා ඔබ යමක් කරනවාද?

දැන් ඇතිවී ඇති තත්වයට සියලූම පාර්ශවයන් එකහා සමානව වගකිව යුතුය. ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ, ඒවාට සම්බන්ධයක් නොමැති, නවකවදයට ලක්වන සහ එයට විරුද්ධ, නේවාසික සහ ගෙදර සිට පැමිණෙන සිසුන් සියල්ලම (කාගේ හෝ පෙළබීමක් ඇතිව හෝ නැතිව) ගුටිකෙල ගැනීම, ආචාර්යවරුන්ට පහරදීම, විශ්ව විද්‍යාල ගොඩනැගිලි සහ උපකරණවලට අලාභ හානීවන ආකාරයට හැසිරීම නැවත්විය යුතුය, එවන් ක්‍රියාවන් හෙළාදැකිය යුතුය. අර කණ්ඩායම මට ගැහුවා හෝ ගහන්න මාන බලනවා එබැවින් මා ඔවුන්හට පහර දිය යුතුය යන මානසිකත්වයෙන් මිදිය යුතු කාලය මේ මොහොතයි.

මෙයට අමතරව සිසුන් සමග ඇතිවී ඇති ගැටලු උසස් අධ්‍යාපන ඇමතිවරු දෙදෙනා ඔවුන්ගේ නායකත්වය පෙන්වමින් විසඳිය යුතුය. විශ්ව විද්‍යාල සිසුන් දෙමව්පියන් හරහා පාලනය කළහැකි වයසක පසුවන මිනිසුන් නොවන බව තේරුම්ගතයුතුය. මිනිසුන්ට මිනිසුන් හැටියට සලකා ඔවුන්හට නිග්‍රහවන ආකාරයේ සහ තම තනතුරුවලට නොසරිලන ආකාරය භාෂාව හසුරවමින් කිසිමදෙයක් නිරාකරණය කරගතනොහැකිබව තෙරුම් ගතයුතුය. සිසුන්හට පෞද්ගලික බස් ලබාදීම යටිකුට්ටූ ආකාරවලින් නවතාදැමිමෙන් ඔවුන්හට වසරක් පාසායන විනෝද ගමනකටවත් බසයක් ලබාගැනීමට නොහැකිවනුඇත. ඒය තවත් සිසු අසහනය වැඩිකිරීමට මග පැදීමකි. පහේ පංතියෙ ළදරුවන් ලෙසින් නොහැසිරී තම ප්‍රශ්න විසඳා ගතයුතු බව දෙපාර්ශවයම තේරුම්ගත යුතුය.

අවසානයේදී ආචාර්යවරුන්ද තම කටයුතුවල යෙදීම පමණක් නොකර විශ්ව විද්‍යාල තුළ ඇතිවී ඇති තත්වයට සම්බන්ධවීමට කාලය පැමිණ ඇත. විවිධාකාර සිසු කණ්ඩායම්වල පැති නොගෙන සියලුම සිසුන්, සිසුන් හැටියට සලකා ඔවුන් සහ පාලකයින් අතරද, ඔවුනොවුන් අතරද ඇතිවීඇති ගැටලුවලට විසඳුම් සොයන අතරමැදියන්වීමට කාලය පැමිණ ඇත. එසේ නොවුණහොත් ජනතා විමුක්ති පෙරමුණේ අතකොළුවක්වන අවිශිබම කියනා නිසාම නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින්ද සිසු ගැ‍ටුම් තුළින්ද කිසිවෙකුත් නොදැනම ආචාර්යවරුන්හට ‍රැකියාකිරීමට විශ්ව විද්‍යාල පද්ධතියක් ඉතිරි නොවනුඇත.

ප.ළි.: රටේ නීතියට යටත්වියයුතු වැරදි කල අයට දඬුවම් නොදියයුතු බවවත්, විශ්ව විද්‍යාල සිසුන්හට සාමකාමිව දේශපාලන කටයුතුවල මෙන්ම විරෝධතාවයන් දැක්වීමටද අයිතියක් නැතැයි කියාවත් මෙම සටහනෙන් අදහස් නොකෙරේ.

එක් ප්‍රතිචාරයක්

Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, විශ්ව විද්‍යාල, සිංහල, සිසු ගැ‍ටුම්