Category Archives: රසායනික

කිරි සහ කැකිරි

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණකල ජනතාවට වෙඩිතබා මරාදැමීම ඡන්දයක් ළඟ එනවිට නොකළයුතු දෙයකි. එනිසාවෙන් ඇතිවූ ජනතා කම්පනය අමතකකිරීමට ඔවුන්ව ඊළඟ මාතෘකාවට යොමුකළ යුතුව ඇත. නිකම් මාතෘකාවකින් එය කළනොහැක. බඩට සහ හිතට එකවර පහරදියයුතුය. මුස්ලිම් ව්‍යාපරිකයින් මෙරටට ගෙන්වන කිරිවල වසවිස තිබීම එවැන්නකි.

මෙම කථාවේ විශාල අඩුලුහුඬුකම් ඇත. එමනිසාවෙන් මෙය තේරුම්ගැනීමට මට නොහැක. පහත සඳහන් කරුණු කිසිම පිළිවෙළක් නැතිව මා සිතට නැගුණුදෑය.

මාගේ මුහුණුපොතේ පහත ස්ටේටස් අප්ඩේට් දැමූවෙමි.:

Status 1:
නවසීලන්තයේ හරක් තණකොළ කනවිට ඒවායේ ඇති විෂ රසායන උන්ගේ ශරීරය හරහා උන්ගේ කිරිවලටද ඉන් අනතුරුව කිරිපිටිවලට යන මුත්, කිසිම පාලනයක් නොමැතිව කෘෂිරසායන පාවිච්චිකරන ලංකාවේ හරකුන්ගේ ශරීරය හරහා ලංකාවේ නිපදවන කිරිර්පිටිවලට විසරසායන ඇතුළු නොවන හේතුව කුමක්ද? (පිළිතුර ඊළඟ ස්ටේටස් අප්ඩේඑකෙන් බලාපොරොත්තුවන්න)
Status 2:
කාර්මික තාක්ෂණ ආයතනය (අයි.ටී.අයි.) තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ආයතනයකි. අලුත් තාක්ෂණ සහ පර්යේෂණ ඇමතිතුමා ජාතික හෙල උරුමයේ නායකතුමාය. එතුමාගේ පක්ෂයේ ලොකු කකුලක් කාර්මික තාක්ෂණ ආයතයේ නව සභාපතිතුමලෙස පත්වී සති දෙකකි. කාර්මික තාක්ෂණික ආයතනයට අනුව කිරිවල ඩී.සී.ඩී. ප්‍රමාණය තීරණය කිරීමට හයි පර්ෆොර්මන්ස් ළිකුයිඩ් ක්‍රොමැටොග්‍රැ‍ෆි (එච්.පී.එල්.සී) පාවිච්චිකර ඇත. එච්.පී.එල්.සී. සංඝටක වෙන්කර ගැනීමට පාවිච්චිකරන උපකරණයකි. එහි සංඝටක අඳුනාගැනීමේ හැකියාව පාවිච්චිකරන ලද ඩිටෙක්ටරය මත රඳා පවතී. එච්.පී.එල්.සී. භාවිතයෙන් සංඝටක පැහැදිලිව වෙන්කරගැනීම මතද ඩී.සී.ඩී. ප්‍රමාණයේ නිරවද්‍යතාවය රඳාපවතී. හාල්වල ආසනික් නැතිබව කීවේද කාර්මික තාක්ෂණ ආයතනයයි. හෙල උරුමයට අනුව හාල්වල ආසනික් ඇත. එසේනම් පිදුරුකන අපේ වැස්සියන්ගේ කිරිවල ආසනික් ඇතැයිකියා කාර්මික තාක්ෂණ ආයතනය දැන් කියයිද?
——
අඹෙවෙල කිරි සමාගමේ වෙබ් අඩවියට අනුව ඔවුන් කිරි ලීටර් මිලියන 2ක් දක්වා කිරිපිටිකිරීමට ඉලක්කයක් ඇත. නවසීලන්ත කිරි එලෙදෙනෙකු දිනකට කිරි ලීටර් 17ක් පමණ නිෂ්පාදනය කරයි. ඒ සඳහා තන්කොළ කිලෝ ග්‍රැම් 17ක් සහ වතුර ලීටර 50ක් පමණ පරිභෝජනය කරනුලැබේ. ලංකාවේ කිරි එළදෙනුන් සඳහ එම ඉලක්කම් මම නොදනිමි. තණකොළ වැවීමට මාස 3ක් අවශ්‍යය. මේ සියලු දත්ත සලකා බැලුකල ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණය නිපදවීමට එළදෙනුන් සහ තෘනභූමි අපට ඇතැයිද මම නොදනිමි.

නවසීලන්ත හරකුන්ගේ සහ ලාංකීය හරකුන්ගේ ජෛව රසායනය මහා විශාලවෙනස්කමක් නොමැත. ලංකාවේ ඩී.සී.ඩී. නොයොදනා බැවින් එය අපේ කිරිවල නැත. එනිසාවෙන් අපේ කිරිවල කිසිම අපද්‍රව්‍යක් නොමැතිලෙස හැසිරීම විද්‍යාත්මක හැසිරීමක් නොව දේශපාලනික හැසිරීමකි. කවදාත් සුපුරුදු දේශපාලඟයින්ට කිරි ජනතාවට කැකිරි මෙතනදීද ලැබීඇති බව පැහැදිලිය

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, රසායනික, විද්‍යා, ශ්‍රි ලංකා රාජ්‍ය සේවය, සමාජීය, සිංහල, සෞඛ්‍ය

විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි

දර්ශනවාදය මිනිසාගේ ආරම්භයතරමට පැරණියැයි සිතිය හැක. ආරම්භයේ පටන්ම දර්ශනවාදය මිනිසාත් විශ්වයත් අතර ඇති සම්බන්ධය සොයායැමට වෙරදරයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේවවාදී ආගම් සහ විවිධාකාර ස්වාභාවික විද්‍යාවන් ආරම්භවිය. පැරණි දර්ශනවාදීන්වන ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැන්නවුන්ගෙන් විද්‍යාවට සිදුවූ සේවයද නොසලකාහැරිය නොහැක. මධ්‍යකාලීන යුගය දක්වා විද්‍යාවත් දර්ශනවාදයත් අතර එතරම් වෙනසක් නොතිබිණි.

17 වැනි සියවසේදී යුරෝපයේ පැවති සමාජය පල්ලියවිසින් බුද්ධිශෝධනය කරනලද්දක් බැවින් එහි ස්වාභිමාණය නිසා ආගම සහ විද්‍යාව අතර ආරවුල් ඇතිවිය. ප්ලේටො සහ ඇරිස්ටෝටල්ට අනුව පෘථිවිය කෙන්ද්‍රකරගත් ග්‍රහලෝක පද්ධතියක් එකල තිබු ආගම්වලට එකතුවීතිබිණි. ගැලිලියෝ විද්‍යාත්මක නිරීක්ෂණ තුළින් එය වැරදිබව වටහාගැනීම සහ සුර්‍යා කෙන්ද්‍රකරගත් ග්‍රහ මණ්ඩලයක් ඉදිර්පත්කිරීම මෙම ආරවුලේ මුලාරම්භයවේ. ආගම සමග මෙන්ම විද්‍යාව සහ දර්ශනවාදය අතර ආරවුලක ආරම්භයද තරමක්දුරට මෙයවිය හැක. එතැන්පටන් විද්‍යාවතුළ සිදුවූ වේගවත් දියුණුවනිසා විද්‍යාවත් දර්ශනවාදයත් අතර කැපීපෙනෙන වෙනස්කම් ඇතිවිණි.

දේවාගම්වාදය මෙන් නොව දර්ශනවාදයත් විද්‍යාවත් දැනුම ලබාගැනීමට තාර්කිකමය මගක් භාවිතාකරති. නමුත් මේසඳහා භාවිතාකරන ක්‍රමවේදයන් හාත්පසින්ම වෙනස්ය. දර්ශනවාදය පුද්ගලබද්ධ ආකෘතියක් භාවිතාකරමින් දැනුම සෙවීමට ප්‍රමුකතාවයක්දේ. මෙහිදී විශ්වයතුළ හා සමාජයතුළ තනිපුද්ගලයෙකුගේ වැදගත්කම උකහාදැක්වීමක් සිදුවේ. එමනිසාම දර්ශනවාදින් සහජාවබොධයෙන් ලැබෙන නිගමනයකට පැමිණ ඒය සනාථකිරීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත්කරයි. ඔවුහු බොහොවිට ලෝකය මෙසේ වියයුතුය යන මතය ඉදිරිපත්කරති.

විද්‍යාව යමක් කෙසේ වියයුතුද යන්නවෙනුවට යමක් සිදුවූයේ/සිදුවන්නේ කුමනාකාරයටද යන්න පෙන්නුම්කරදේ. ඒසඳහා විද්‍යාත්මක සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත්කරයි. නිගමනයකට පැමිණෙන්නේ පර්යේෂණාත්මක සාක්ෂි පදනම්කරගෙනය. විෂයානුබද්ධ ආකෘතියක් භාවිතාකරමින් යථාර්ථවාදී ලෝකයක විවිධාකාරදේ අතර ඇති සහසම්බන්ධතාවයන් පෙන්නුම්කරදේ. විද්‍යාව ඉතාමත් තර්කානුකූලය, ඉතාමත් පිළිවෙළකින් යුක්තය එසේම මානව ශිෂ්ටාචාරට ඉදියට ගෙනයාමට දැවැන්ත මෙහෙවරක් ඉ‍ටුකර ඇත.

අර්තානුකූල දැනුම සෙවීම සඳහාද, විද්‍යාවේ සහ දර්ශනවාදයේ දෙකෙහිම ඉදිරි පැවැත්ම සඳහාද සහජීවනයකින් කටයුතු කළයුතුවේ. දැන් සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්වන විද්‍යාවත් දර්ශනවාදයත්, අතීතයෙදී එකිනෙකාගෙන් ඉගෙනගෙන ඇත. නව විද්‍යාත්මක සොයාගැනීම්මත පදනම්වෙමින් නව දර්ශනයන් බිහිවී ඇත. පරිණාමවාදය, හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මය එවැනි නිදසුන්ය.

ආදරය වැනි හැගීම ඇතිවන්නේ එන්ඩො‍ෆින් නමැති රසායනිකයන් නිසායැයි විද්‍යාඥයින් නොකියනමුත් එවැනි රසායනිකයින් පිටියුටරි ග්‍රන්ථිය මගින් එවැනි හැඟීම ඇතිවූ කලෙක නිකුත්වන බව කියති. එබැවින් අණු මගින් සියල්ල තේරුම් ගත නොහැකිද/හැකිද යන්න රසායන විද්‍යාඥයින් නොකියති. එනමුත් යම්දෙයක් සිදුවීමට මූලිකවන අණුවක් ඇතිනම් එය කුමක්දැයි සොයාගනිති. එසේම එම අණු කෘත්‍රිමව ශරීරයට ඇතුළුකිරීම මගින් ස්වභාවිකව ඇතිවන හැගීමට සමාන හැඟීමක් ශරිරයතුළ ඇතිකළ හැකිබව ඔවුහූ දනිති.

විද්‍යාව එතුළින් සොයාගත හැකි සියල්ල සොයා නිමකොට නැත. එබැවින් සැමවිටම විද්‍යාවේ අසම්පුර්ණතා පවති. මීට වසර 50කට පෙර සාමන්‍ය මිනිසුන්හට මහසයුරේ මැදසිට හෝ කාන්තාරයක මැදසිට දුරකථන ඇමතුමක් ලබාගැනීම හිනෙකින්වත් සිතිය නොහැක්කක්විය. නමුත් අද එය වෙනස්වී ඇත. සමහර විද්‍යාත්මක සොයාගැනීම් සඳහා පර්යේෂණ සැලසුම්කිරීම මෙන්ම ඒවා සාර්ථකව ක්‍රියාත්මකකිරීමද ඉතාමත් අපහසුබවද මෙහිදී සඳහන් කළයුතුය.

විද්‍යාව එහි ගමන ඉදිරියට ‍රැගෙන යන අතරතුර දර්ශනවාදය 18 වැනි සියවසේ සිරවී ඇත. නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කාලීන ප්‍රශ්න විසඳීමට හෝ සිදුවිය යුත්තේමෙයයැයි කීමට අලුත් දර්ශනයක් බිහිවී නොමැත. තාමත් ධනවාදය, සමාජවාදය කරපින්නාගෙන යන දර්ශනවාදීන් සාමය සහ නිදහස පතුරුවන්නට යන්නේ සමාගම්වල සිරකූඩුවල සිටය. බදුගැන කතාකරමින් ඡන්දය ඉල්ලන හෝ ඡන්දයදෙන කී දෙනෙකු ඇඩම් ස්මිත් හෝ කාර්ල් මාක්ස් කියවා ඇත්ද? කියවා තිබුණා නම් ඔවුන්ව පහසුවෙන් ‍රැවටිය හැකිවේද? ඇති නැති පරතරය වැඩිවන ලෝකයක, බලය සහ ධනය ඇති සුළුතරයක් විසින් පාලනයවන මානසිකත්වයෙන් මිදී නව විද්‍යා සහ තාක්ෂණික දැනුම භාවිතාකර අලුත් දර්ශනයක් ගොඩ නගා එතුළින් ළොවහි ප්‍රශ්න දකින්නට කාලය පැමිණ ඇතිබව දර්ශනවාදින්හට නොපෙනෙන්නේ ඇයි? ජෝන් රෝව්ල්ස් මේ සඳහා දරාඇති උත්සාහය ඉන් ඉදිරියට ගෙනයාමට අලුත් දර්ශනවාදීන්ට හැකිවේද?

ප.ළි.: විද්‍යාවතුළින් නොව දර්ශනයතුළින්ම පමණක් විශ්වයේ සැලැස්ම තේරුම් ගැනීමට හැකිද කියා කිවූ ඇය විද්‍යාව යන වචනය කොතරම් භාවිතා කොට ඇත්ද? එහි අරමුණ කුමක්විය හැකිද? විද්‍යාවතුළින් මෙය කළනොහැකිය යනමතයකට එල්බගෙන සිටීමටවඩා විද්‍යාවෙන් ඇතිකළ ඇතිකරන නව දැනුම උපයෝගීකර ගෙන විශ්වයේ සැලැස්ම් තේරුම්ගැනීමට උත්සාහ නොකිරීමට හේතුව දර්ශනවාදීන් පටන්ගන්නේ නිගමනයට පැමිණීමෙන් පසුව නිසාම වියහැකිය.

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, ආගමික, දර්ශනවාදය, පරිණාමවාදය, රසායනික, විද්‍යා, සමාජීය, සිංහල

ආචාර්ය ඇල්කෙමියාට පිලිතුරක්

ඇල්කෙමියා විසින් ලියු “නරියකු‍ගේ තප්පුලෑම හරහා සිදුවන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට විරුද්ධවීමේ මූලික පියවරද?” යන ලිපියට පිලිතුරකි

ඔබ මෙන්ම මමද රසායන විද්‍යාව පිලිබඳ උසස් උපාධියක් ඇත්තෙකි. නමුත් මම අපොස උසස් පෙල විභාගයේ කෘෂිකර්ම විශය හැදැරීමට සුදුසුකම් ලබා ඒ සඳහා නොගොස් පේරාදෙනිය වි.වි. මුදල් නොගෙවා රසායන විද්‍යා මූලික උපාධිය ලැබුවෙමි. ප්‍රේමදාස ජනාධිපති අපගේ ජීවිත සමග කල සෙල්ලම් නිසා එක වසරක් අයි කෙම් (I Chem) ද කලෙමි. එනිසා ඔබ ලද අත්දැකීම ගැනද මට අවභෝධයක් ඇත.

ඔබ මෙම ලිපියෙන් සහ මීට කලින් ලියු ලිපිවලින්ද, සමහර බ්ලොග කරුවන් සඳහා ඔබගේ අදහස් දැක්වීම වලදීද ශ්‍රි ලාංකික වි.වි. සිසුන් සියල්ලන්ම ඉතා බාල්දු කරන ප්‍රතිචාර මා දැක ඇත. ඔබට කැමති අදහසක් දැරීමට අයිතිය තිබුනද, ඔබ නොලද අත්දැකීමක් ගැන ඔබතුමා දරන්නේ ඉතාමත් අන්තගාමි අදහසක් යැයි මට සිතේ. මා කලින් ලියා ඇති පරිදි පෞද්ගලික වි.වි. පිලිබඳව මාගේ විරෝධයක් නොමැත. නමුත් ලංකාවෙ නොමිලේ සපයන වි.වි. අධ්‍යාපනය නිසා මුලු ලොව පුරා විද්‍යාවට සිදුවී ඇති සේවය ඉමහත්ය. අද ලංකාවෙ විද්‍යාඟයින් ලෙස ප්‍රචලිත (අපේ රට තුල හෝ පිටත්දී විද්‍යාවට කල සේවාවන් නිසා) සියල්ලන්ම පාහේ අපේ ජාතික වි.වි. පද්ධතියේ මූලික අධ්‍යාපනය හැදැරු අයවෙති.

ඔබගේ පාඨමාළාවට සියලූම දේශණ පවත්වන්නට ඇත්තේද මෙම වි.විද්‍යාලවල දැනට සේවය කරණ අචාර්යවරුන් බව මා හොඳින් දන්නා කරුණකි. ඔබ කියන පරිදි රසායන විද්‍යාවට ලංකාවේ වි.වි. වලින් කිසිවක් වී නොමැතිනම් ඔබ එම ඇඟිල්ල දික් කරන්නේ ඔබගේම ආචාර්යවරුන් වෙතය.

මෙයට අමතරව ඔබ වසර දෙකක් තිස්සේ සති අන්තවලදී පමණක් ඉගෙනගත් රසායන විද්‍යාව ඇතුලුව තව විද්‍යා විශයයන් ගනනාවක් මා පේරාදෙණියේදි වසර හතරක් තිස්සේ හදාරා ඇත. ඔබ පිලිගත්තද නැතද ඔබට අනිකුත් විශයන් උසස් පෙලට පසුව ඉගෙන ගැනීමට නොහැකිවීමේ අඩුපාඩුව දැනෙන අවස්ථා ඇතැයි මට සිතේ. රසායන විද්‍යාව මුලික විද්‍යාවක් බැවින් සහ බොහෝ පර්යේශණවල ඇති අනිකුත් විද්‍යාවන් සමග මිශ්‍රවීම නිසා මම එසේ සිතමි.

වි.විද්‍යාලය තුල නොයෙකුත් වර්ගයේ මිනිසුන් මට හමුවී ඇත. නමුත් මා සමග එකට උපාධිය කල, මහපොලින් භාගයක් ඉතුරු කොට දෙමව්පියන්ට යවමින් ඉගෙන ගත් සහොදර සිසුන්ද මා දැක ඇත. ඔවුන්ගේ උත්සාහය සහ කැපවීම සමහර විටෙක මට තිබුනාදැයි මම සැක කරමි. පත්තර, රූපවාහිනී ජලාවන්හි ජේ.වි.පී කාරයින්ගේ මගඩිවලින් ඔබ වැනි වි.වි. වලට නොගිය අය සියලූම සිසු ප්‍රජාව ගැන අවසාන තීරණය ගනියි. ජාතික වි.වි. පද්ධතියේ බොහෝ වැරදි ඇති බව මා මින් පෙර ලියා ඇත. නමුත් ඒවා නිවැරදි කරවීම සඳහා මම මට හැකි දේ කරමි. වි.වි. පශ්චාත් උපාදි ආයතන වල විශය නිර්දේශයන් අලුත් කිරීමට දායක වීම, යම් පර්යෙශණ කටයුතු සමග සම්බන්ධවීම ආදිය දේ කරමි. ඔබ කරන විවේචනවලට අමතරව කරන්නේ කුමක්ද?

මා අයි කෙම් කල කාලයේදි රසායන විද්‍යා ආයතනය විසින් පවත්වන ලද්දේ පාඨමාළාවන් දෙකක් පමණි. උසස් පෙල සිසුන් සඳහා මෙම එක් දින වැඩ මුළු කවදා පටන් ගත්තාදැයි මම නොදනිමි. උ.පෙ. ප්‍රශ්ණ පත්තරය සැදීම එක් අයෙකුට වගකීම භාරවුවද කන්ඩායමක් විසින් කරන කාර්‍යයකි. බොහොවිට වි.විද්‍යාලකදීනම් එම ආයතනයේ අනෙකුත් ආචාර්යවරුන් සම්බන්ධකර ගැනීම පිලිවෙතකි. මහාචාර්‍ය දැරණියගල මහතා හොරෙක්යැයි මම නොසිතමි. නමුත් ඔබගේ සටහනේ ඇති ප්‍රවෘත්ති පටයට අනුව, එම පුද්ගලයා කියන දෙයෙහි වරදක් නැත. ඔහු ප්‍රශ්ණ පත්තරය පිටවන බවක් කියන්නේ නැත. මෙම සිදුවීම ආචාර්ය ධර්ම පද්ධතියට (professional ethics) නොගැනපෙන බව මටද සිතේ. එහෙත් මෙම ආචාර්යවරයා වරදක් නොකරණු ඇතැයි මම සිතමි. උදාහරණයක් ලෙස පේරාදෙණිය වි.වි. රසායන විද්‍යා අංශය විසින් මෙම ප්‍රශ්ණ පත්තරය සාදන දිනක එම අංශය උ.පෙ. සිසුන් හට මුදල් අයකොට වැඩමුලුවක් පැවැත්වුවහොත් එයද ආචර්ය ධර්ම පද්ධතියට නොගැලපෙන බව මට සිතේ.

අවසාන වශයෙන් ඔබ බොහො විට උදම් අනන පරිදි ශ්‍රී ලාංකික ජාතික වි.වි. තුලින් ඇමෙරිකාවට පැමිණ බොහෝ වි.වි. තුල නම ‍රැන්දු සිසුන් 100කට වැඩි ප්‍රමාණයක් මට නම් කලහැක. නමුත් ඔවුන් කිසිම කෙනෙක් අයි. කෙම් පහත්කොට කථාකරණු මා දැක නැත.වි.විදයාල වලින් විදේශයන්ට පැමිණ ආචාර්‍ය උපාධිය හැදැරූ සහ හදාරමින් සිටින ප්‍රමාණය ඉතා විශාල බව ඔබද දන්නා කරුණකි. ඔබ ලංකාවේ ජාතික  වි.වි. පහත් කොට සලකන්නේ කුමක් නිසාදැයි මම නොදනිමි නමුත් ඔබ වැන්නවුන් එම ආයතනවල ඇති  වරදවල් නිවැරදි කිරීමට කිසිවක් නොකරන බවනම් අනුමාන කල හැක. ඒයට අමතරව ඔබ මෙම ප්‍රවෘත්තියෙන් පැමිණ ඇති නිගමනය සහ ජ.වි.පෙ. සොහොයුරන් හැමදේටම කියන “නිධහස් අධ්‍යාපනයට විනාශකරවා” යන සටන් පාඨයත් අතර විශාල වෙනසක නැතිබව මගේ හැඟිමයි.

ප්‍රතිචාර 17

Filed under අධ්‍යාපනය, මගේ අත්දැකීම්, රසායනික, සමාජීය, සිංහල

කොළඹ වරායේ විශ වායු සහ ජනතාව

පසුගිය දිනක කොළඹ වරායේ රසායනික ගින්නක් ගැන පුවත් පත්වල සහ රූපවාහිනී නාලිකා වල වාර්ථාවූවා. සිද්ධිය වූ දිනයේදී මේ ගැන වැඩි තොරතුරක් කිසිම තැනක සොයා ගත නොහැකිවුනත් මෙම ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ රස පරීක්ෂක වාර්ථාවක් ගැන පුවතක් දක්නට ලැබුණි.

ප්‍රවෘත්ති වාර්ථාවලට අනුව මුලින් රසායනික ගන්ධය දැන් විශ දුමක් ලෙස හදුන්වයි. මෙම සිද්ධියට පසු දින ඩේලි මිරර් පුවත්පතේ වරාය සාමාන්‍ය ආකාරයට වැඩ බවත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙකුට අනුව කන්ටේනරයක් තුල ඇතිවූ රසායනික ද්‍රව්‍යයක් වාතය සමග ගැටීමෙන් මෙම දුම් ඇතිවූ බවත් සඳහන්විය. නලින් අපොන්සෝ මහතාට අනුව කිසිම රසායනික ද්‍රව්‍ය ගන්ධයක්ද තිබී නැති නමුත් පත්තරවල මිනිසුන් මුහුන වසාගෙන් ලේන්සු ඔතා සිටින පින්තූර පල කර තිබිණි.

රසායන ද්‍රව්‍ය නැව්වලින් යවනවිට ඒ සඳහා ගතයුතු ආරක්ෂක ක්‍රියා මාර්ගයන් (safety procedures) රැසක් ඇත. එයින් ඉතාමත් වැදගත් වන්නේ බහාලනය තුල ඇත්තේ කුමන රසායන ද්‍රව්‍යක්ද සහ එවායේ රසායනික ගුණ මොනවාද යන්නයි. මෙම සිද්ධියට පසුව දින ගනනාවක් යනතුරුත් එම රසායනික ද්‍රව්‍ය කුමක්ද යන්න හෙලි නොකරන ලදී. පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව එය ට්‍රයික්ලොරෝඅයිසොසයනුරික් ඇසිඩ් නම්වු ඔක්සිකාරකයකි. එය ජලය සමග මිශ්‍රවීමෙන් ක්ලෝරීන් වායුව නිපදවේ. ඔක්සිකාරක සාමන්‍යයෙන් ඉතා අධික උශ්නත්වයකින් ක්‍රියාකරන බැවින් ගින්නක් හට ගැනීමට ඉඩ ඇත. නමුත් මෙවැනි රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවිට ඒවායේ ද්‍රව්‍යවල ආරක්ශිත දත්ත වාර්ථාව (material safety data sheet – MSDS) සපයන්නේ මෙවැනි අනතුරකදී ගිනිනිවන හමුදාවන්ට එම ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය කරුණු දැන ගැනීමට මෙන්ම, එම ද්‍රව්‍යන්ට නිරාවරණය වන සියලූමදෙනාගේ ආරක්ෂාව සඳහාය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත්ට අනුව මෙම ගින්න මැඩලීමට වැරදි ක්‍රමයක් භාවිතාකර ඇත. නමුත් ගිනි නිවන නිලධාරීන්ට MSDS ලභා දුන්නානම් මෙම ගින්න ඉතා ඉක්මනින් මැඩ පැවැත්විමට ඉඩ තිබිණි. සාම්පලයක් ලභා ගැනීමට ගුවන් හමුදා නිලධාරියෙකු යවා ඇත්තේ බහාලනය තුල තිබුනේ කුමක් දැයි වරාය නිලධාරීන් නොදන්නා නිසා විය හැකිය. එම නිලධාරියා එය තුලට යවා ඇත්තේ නිසි උපකරණ නොපලඳවා යැයි යන්න රෝහල් ගත කිරීමෙන් පැහැදිලිය. MSDS එකට අනුව මෙම රසායනික ද්‍රව්‍යට නිරාවරණය වීම නිසා වකුගඩු සහ අක්මාවට අනතුරු සිදුවිය හැක. මෙම සිද්ධියෙදී වරාය නිලධාරින් ක්‍රියාකල ආකාරයට අනුව මෙම සිද්ධිය යට ගැසීමට සහ එහි වරද අනුන් මත පැටවීමට තැත් කරණ බව පෙනේ. මෙවැනි අනතුරකදී එම වායුන්ට නිරාවරණයවූ මිනිසුන් ඉවත් කිරීමටවත්, එම රසායනික ද්‍රව්‍ය කුමක්ද යන්න කඩිනමින් සොයා බලා ඒ සඳහා පිලියම් යෙදීමටවත් මෙම නිලධාරීන් ක්‍රියා නොකල බවනම් පැහැදිලිය.

මෙම සිද්ධියෙදී වරාය අධිකාරියේ ඉහල නිලධාරින් ක්‍රියාකල ආකාරය ගැන සොයාබැලීමට බලධාරීන්ගේ අවධානය යොමුවෙවා සහ එම විශ වායූන්ට අනාවරණයවූ වරාය අසල ජීවත්වන සහ ගැවසුනු මිනිසුන්හට දීර්ග කාලීන අනතුරක් නොවේවා යන්න මගේ පැතුමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under දේශපාලනික, රසායනික, සමාජීය, සිංහල