Category Archives: මාධ්‍ය

මාධ්‍ය වන්දිභට්ටකරනයවීම, නිදහස සහ මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව ජනමාධ්‍ය කිසිවක් නොකීමගැන පසුගියදාක බීබීසීවෙත පවසා තිබිණි. මෙය කොතරම් උත්ප්‍රාසය දනවන සිදූවීමක්දැයි මට සිතිණි. කොයි ආංඩුවක් පත්වී තිබුණද පළිගැනීම් සිදුවේනම් එය අනුමතකළ නොහැක. විශේෂයෙන් යහපාලනය සඳහා පත්කරනලද මෛත්‍රී පාලනයකදී එවැන්නක්වේ නම් එය කිසිසේත්ම අනුමත කළනොහැක. කෙසේවෙතත් මහින්ද මහතා මේ පිළිබඳව දීර්ඝ ප්‍රකාශයක්කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුහු එම සිදුවීම්ගැන කිසිම පැමිණිල්ලක් කර ඇතැයිද නොදනිමි.

ඒත් සමගම මගේ සිතට නැගුණු සිතිවිල්ල වූයේ තමා වැපිරුදේ ඔහු දැන් නෙලාගන්නවා නොවේද යන්නයි. ඔහුගේ පාලන වසර 10තුළ මාධ්‍ය පාලනය විවිධාකාර ලෙස සිදුවිය. ලසන්ත වික්‍රමතුංග වැන්නවුන් ඝාතනය විය, එක්නැලිගොඩලා අතුරුදහන්විය, සමහරුන් ගුටිකෑමට ලක්විය, සමහරුන් රට හැරගියහ, සමහරුන් නඩුහබවල පැටලිණි, සමහර මාධ්‍ය ආයතන ගිනිබත්විය, සමහර ආයතනවලට රහස් පොලීසිය කඩා වැදිණි, සමහර ආයතනවලට මැරපහරදීම් සිදුවිය, සමහර පත්තර තම හිතවතුන් විසින් මිලදීගන්නා ලදි, රජයේ මාධ්‍ය තනිකරම වන්දිභට්ට සේවකයින්ගෙන් පුරවා ඒවායේ ගුණාත්මකභාවය බිංදුවට වැටිණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මාධ්‍ය ක්‍රියාවන්ට 100%ක්ම මාගේ එකඟතාවයක් නැත. එනමුත් ඔහු කෲර ලෙස ඝාතනයවියයුතු නොවීය. එලෙසම එම ඝාතනය සඳහා අද මේ වෙනතුරු කිසිම පරීක්ෂණයක් අවසන්වී වරදකරුවන් සොයාගෙන නැත. මෙය රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට රටේ නීතියගැන ඇති විශ්වාසය පලුදුවන්නකි. එයට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බීබීසීයට ප්‍රකාශකළේකවුද ලසන්ත කියන්නේ“, “ඇයි ඔබ ඒයාගැන අහන්නේයනුවෙනි (මෙම වීඩියෝව මෙතැනින් බැලිය හැක). තම ප්‍රතිවාදීන්ගැන එවැනි පිළිවෙතක් අනුගමනයකළ සහ වසර 10ක් තිස්සේ එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට මාධ්‍ය පුරුදුකළ ජනනායකයෙකු ඊට වඩා දෙයක් බලාපොරොත්තුවීම තරමක් හාස්‍ය දනවනදෙයකි.

අළුත් ජනාධිපතිවරයාට යහපාලනය ගෙන ඒමට මහඟු හැකියාවක් ඇත. ඔහුට ඡන්දය ලැබී ඇත්තේ පක්ෂ, පාට, ජාති, ආගම්භේදයකින් තොරවය. මේ සමගම පරණ වරදකරුවන් එතුමා සමග හේත්තුවිම් සිදුවෙමින් පවති. එබැවින්දෝ සමහර වරදකරුවන් සෙවීමට හදිස්සියක් පවතින බවක් පෙනේ. මේ සියල්ල අතරතුර මාධ්‍ය පැරණි වන්දිභට්ට මානසිකත්වයෙන් මිදීමට නොහැකිව සිටින බවක්ද පෙනේ. තණකොළ පොල්කට්ටකින් වසාතැබූකළ කහපාටට හැරේ. නමුත් පොල්ක‍ටුව ඉවත්කළ පසු නැවත කොළපාටට හැරීමට ටිකකලක් ගතවේ. එය තේරුම්ගෙන දේශපාලකයින්, පොලිසිය, සහ මාධ්‍ය හොඳ සුසුමක් ගෙන තම පරික්ෂණය මනාව පවත්වා සාක්ෂි සහිතව වරදකරුවන් ඉදිපත්කිරීම යහපාලනයේ දිගුපැවත්මට හේතුදායකවෙනවා නොඅනුමානය

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, මහින්ද රාජපක්ශ, මාධ්‍ය, සමාජීය, සිංහල