Category Archives: මගේ අත්දැකීම්

සුබ නත්තලක් සහ සුබ නව වසරක්

ඇමරිකාව සෙකියුලර් (රාජ්‍ය තාන්ත්‍රිකව අනාගමික) රටක් බැවින් හෝ අන්‍ය ආගමික ව්‍යාපාර හිමියන් නිසා හෝ එකිනෙකාටආචාරශීලීවීමට නිසා හෝ සුබ නත්තලක් (Merry Christmas) කීම සහ සතු‍ටුදායක නිවාඩු කාලයක් වේවා (Happy Holidays) යන දෙක අතර විශාල විවාදයක් ගොඩ නැගී ඇත. ආගමික නායකයින් සහ සමහර මාධ්‍ය ආයතන මෙය ක්‍රිස්තියානි ආගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යැයි අවලාද නගති. කෙසේවෙතත් ‍රැකියා කරන්නන්හට වැඩිපුර නිවාඩු නැති රටක්වුවත් මේ දිනවල සියලුම ආයතනපාහේ නිවාඩුවට වසා දැමේ. එවැබින් සතු‍ටුදායක නිවාඩුවක් කීමෙන් කාගේවත් ආගමික හෝ අනාගමික භාවය මතුකිරීමක් නොකිරීම සිදුවේ.

කෙසේවෙතත් නත්තල් සමරන ඔබ සැමට සුබ නත්තලක් සහ මගේ බ්ලොගයට පැමිණි ඔබට 2011 සුබ සහ සාර්ථක නව වසරක් වේවායැයි පතමි.

මෙය බොහෝ විට ඇමරිකාවේ සිට ලියන අවසාන බ්ලොග සටහන විය හැක. දෙසැම්බර් 29දා නැවතත් ලංකාව බලා පිටත්වීමට බලාපොරොත්තුවෙමි. පසුගිය දින කිහිපයේදී එම ගමනට සූදානම්වීම නිසා බ්ලොගය ලිවීමටවත් අනිකුත් බ්ලොගයන් කියවීමටවත් ඒ තරම් ඉස්පාසුවක් නොතිබිණි. ඉදිරි වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේදීද, ශ්‍රි ලංකා නැනෝ ටෙක්නොලොජි ආයතනයේදීද ‍රැකියාවකිරීමට බලාපොරොත්තුවෙමි. කොයිතරම් කාලයකටද යන්න තීරණය කිරීම කාලයාට සහ රටක් ලෙස ශ්‍රි ලංකාවටද භාරකරමි.

ප්‍රතිචාර 9

Filed under මගේ අත්දැකීම්, සිංහල

මගේ කතාවෙන් බිඳක්

බ්ලොග් ලියන සහොදරවරුන් දෙදෙනෙක් මම මගේ තාත්තාගැන ලියන්නේ නැත්තේ ඇයි කියා අසාතිබුණා. ඒවාගෙම පහත ලිපිය කියවූ තවත් සහෘදයෙක් මම මගේ තාත්තාගැන ආඩම්බරවියයුතුයි කියා මට ලියා තිබුණා. මගේ තාත්තාගේ තිබෙන හැකියාවන්ගෙන් කාලක්වත් මට නැහැ කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ.

මම ඔහුගැන ඉතාමත් ආඩම්බරයි නමුත් මගේ චරිතයේ හැටියට මම මගේ තාත්තා වගේම බොහෝදේ පිටතට නොපෙන්වන කෙනෙක්. ඔහු ළඟදී අසනීපවුණා. මේ නිසාම ලංකාදීප පත්තරේ දෙවරක්ම ඔහුගැන ලියා තිබුණා. මේ පසුගිය ඉරිදා ලංකාදීපයේ (2010-10-31) තිබුණු ලිපියක්.

————

Here is the link : http://www.lankadeepa.lk/Section/sandella/2010/10/31/02.htm

සුගතපාල සෙනරත් යාපා ගේ කතාව

මං පාසල් යන කාලයේදීම මගේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවුණා’ මේ නිසා බොහෝම පසුගාමී කොල්ලෙක් විදියටයි මං දවස ගතකළේ’ පාසලේ මට පෙම්වතියකුත් සිටියා’ නමුත් මගේ මේ පසුගාමීකම නිසාම ඇය මාව අත්හැරලා බොහෝම කාර්යය ශූර කොල්ලෙක් යාළුකර ගත්තා’ මෙන්න මේ මගේ ආදර කතාව තමයි පසුකලෙක මං ‘හන්තානේ කතාව’ නමින් චිත‍්‍රපටයකට නැඟුවේ”

‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයේ නිර්මාතෘ සුගතපාල සෙනරත් යාපාගේ පාසල් ජීවිතයේ මිහිරිම වේදනාවේ මතක සටහනකි ඒ’ හන්තානේ කතාව’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමත් සමගම මෙරට නව රැල්ලක සිනමාවේ පුරෝගාමියා ලෙසට පිළිගැණුනු ඒ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවාවයි මෙවර සැඳැල්ල කතාබහට එක්කර ගන්නේ’ ඔහු ප‍්‍රථමයෙන්ම සඳහන් කළේ ඔහුගේ කලා දිවියේ ආරම්භයයි’

”මගේ කලා ජීවිතය ආරම්භය පැල්මඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය’ ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නා කාලයේදී මං රඟපෑමට යොමුවුණා’ අද ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන රාජා සුමනපාල හා නිශ්ශංක දිද්දෙනිය සමගත් එදා පාසල් වේදිකාවේ මං රඟපෑවා’ මේ දෙන්නා හිටියේ මට ඉහළ පන්තිවල”

ඔබ කලාකරුවෙකු වීමට පවුල් පසුබිමත් බලපෑවාද?

ඔව්’ ‘හතර මහා නිධානය’” හතර කේන්දරේ’ වැනි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කළ” ‘සුන්දර බිරිඳ’” ‘සමාජෙ අපි ඔක්කොම සමානයි’ ආදී චිත‍්‍රපට වල රඟපෑ ඇල්’ එම්’ පෙරේරා කලාකරුවා මගේ ඥාති සහෝදරයෙක්’ ඇමතිවරයෙකුව සිටි චිත‍්‍රපට නළු වී’ ටී’ ජී’ කරුණාරත්න සහ කවියෙකු” නළුවෙකු වූ කිංස්ලි දිසානායකත් මගේ ඥාතීන්’ ඇත්තම කියනවා නම් ඒ ඥාතීන්ගෙන් නළු උණ බෝවුණ නිසා තමයි මටත් නළුවෙක් වෙන්න හිතුනේ

ඊළඟට?

මට රැකියාවක් ලැබුණා වෙන්නප්පුවේ ‘ශ්‍රී ලංකා’ සිනමා ශාලාවේ’ රාජකාරිය ටිකට් කවුන්ටරයේ’ මට ලැබුණු හොඳම රැුකියාවයි කියලා හිතාගෙන රාජකාරියෙන් පස්සේ චිත‍්‍රපට බැලූවා’ සිංහල” දෙමළ” හින්දි” ඉංගී‍්‍රසි චිත‍්‍රපට බැලූවා විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයෙන් රූප රාමු පෙළගැසෙන්නේ කොහොමද කියලත් හොඳට සොයා බැලූවා’ මේ අතරේදී තමයි මට කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකාර රැකියාව ලැබුනේ’

කොහොමද ඒ යුගයේ තොරතුරු?

මගේ මේසයට යාබද මේසයේ සිටියේ ජී’ඞී’එල්’ පෙරේරා නම් මහත්මයෙක්’ ඔහුත් කලාවට පිස්සු වැටුණු කෙනෙක්’ අපේ කතා බහෙන් පසුව තමයි ජී’ඞී’එල්’ පෙරේරාගේ ‘කලා පෙළ’ නමින් සංවිධානය බිහි වුණේ’ මෙහි ලේකම් සහ භාණ්ඩාගාරික මම’

එයින් බිහිකෙරුණු නිර්මාණ?

‘සාමා’” ‘මෙහෙව් ලෝකෙක’ ආදී නාට්‍ය වේදිකාවට ගෙන ආවා’ ලැබුණු ආදායමෙන් රුපියල් 250 ක් මං ළඟ තිබුණා’ මේ මුදලත් යොදවලා ‘සාමා’ නාට්‍ය චිත‍්‍රපටයකට නඟමු කියලා මං යෝජනා කළා’ ඒ අනුවයි අපි සමූපකාර ක‍්‍රමයට ‘සාමා’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ’ අධ්‍යක්‍ෂවරයා ජී ඞී එල් පෙරේරා’

ඔබගේ දායකත්වය කොහොමද?

එක අංශයක් කියලා නැහැ’ ‘සාමා’ චිත‍්‍රපටයේ එන ‘වනන්තරේ ගල් අරඹේ විමානෙක’ ගීතය මගේ රචනයක්’ ගායනය කළේ තී‍්‍ර සිස්ටර්ස් සාමාජික මල්ලිකා පෙරේරා’ ඇගේ ප‍්‍රථම ගීතය’ සංගීතය ජයතිස්ස අලහකෝන්’ දෙනවක හාමිනේ” ලියෝනි කොතලාවල” ධම්ම ජාගොඩ” එල්සන් දිවිතුරුගම’ පී’ඞී’ මයිල්ලෑව” බුද්ධි වික‍්‍රම සිනමාවට හඳුන්වා දුන්නේ එම චිත‍්‍රපටයෙන්’

ඔබත් සිනමාවට ශිල්පීන් පිරිසක් හඳුන්වා දුන්නා නේද?

ඔව්’ ඒ මගේ ‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයෙන්’ නළු නිළියන් තෝරාගැනීමේ පරීක්‍ෂණයට 4200 ක් විතර ඇවිත් හිටියා’ ඒ අතරින් විජය කුමාරණතුංග” කලන්” සමන්ති ඇතුළු පිරිසක් තෝරා ගත්තා’ විජය කොණ්ඩය දිගට වවලා තිබුණා’ ඔහුගේ චරිතයේ හැටියට කොණ්ඩය කැපුවා’ කලන් හරිම දඟයෙක්’ ඔහුට හොඳ අනාගතයක් තියෙන බව මට දැනුණා’ විජය ධර්ම ශ්‍රී මහත්තය මට විශාල සහයෝගයක් දුන්නා’ සමූපකාර ක‍්‍රමයට 1968 දී මේ චිත‍්‍රපටයේ වැඩ පටන් ගත්තා’

ඊළඟට මොකද කළේ?

චිත‍්‍රපටයේ වැඩකටයුතු අවසන් කළායින් පසු විදේශීය තානාපති කාර්යාල වල පුස්තකාල වලට ගිහින් සිනමාවට සම්බන්ධ පොත් කියවන්න පටන් ගත්තා’ ඒ දැනුම ලබනකොට සිනමාවට භාෂාවක් තියෙන බව අවබෝධ වුණා’ හන්තානේ කතාවටත් වඩා යමක් කළ හැකියි කියා හිතුණා’ ඒ අනුව තමයි මං ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය නිර්මාණය කළේ’

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත්?

චරිත දෙකයි රඟපෑවේ’ සමන් බොකලවල සහ ගාමිණී ගනේගොඩ’ මේ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ’ දෙබස් එක වචනයක්වත් නැහැ’ හඬට තිබුනේ සංගීතය සහ පරිසරයේ ශබ්ද පමණයි’ කාලය විනාඩි 17 යි’ කළු සුදු’ හන්තානේ චිත‍්‍රපටය සමග ප‍්‍රදර්ශනය කළා’

‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුනේ කොහොමද?

ඒ කාලේ චිත‍්‍රපට සංස්ථාවක් තිබුණෙත් නැති නිසා ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපට තරගයකට යවන්න කවුරුත් උනන්දු වුනේ නැහැ’ කලා මණ්ඩලයේ සභාපතිවරයාව සිටි චාර්ල්ස් අබේසේකර මහත්මයාට මං මේ කෙටි චිත‍්‍රපටය පෙන්නුවා’ ඊට පස්සෙ මේ ගැන පැහැදිලා එතුමා මේ චිත‍්‍රපටය අරගෙන ගියා ඉන්දියාවේ 4 වැනි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කරන්න’

එදා පැවති ඒ සම්මාන උළෙල ගැන කෙටි විස්තරයක් කළොත්?

රටවල් 40 කින් නිර්මාණ 114 ක් ඉදිරිපත් කර තිබුණා’ ඒ උළෙලේ සභාපතිවරයාව සිටියේ භාරතයේ මහා සිනමාකරු සත්‍යජිත් රායි’ මෙතුමාගේ තීරණයට අනුව රජත සම්මානය මට හිමිවුණා’ භාරතයේ මිර්නාල් සෙන්ට හිමිවුනේ තුන්වැනි ස්ථානය’

සම්මානය ගන්න ඉන්දියාවට ගියාද?

ඒ වනවිට මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියේ’ ඒ නිසාද දන්නෙ නැහැ ඉන්දියාවට යන්න අවසර දුන්නේ නැහැ’ පැවති රජයේ යූ’බී’ වන්නිනායක මුදල් ඇමතිතුමාට කරුණු පැහැදි කර දීලා ඉන්දියාවට යන්න අවසර ලබා ගත්තා’

සම්මානයත් දෝතින් අරගෙන ගුවන් තොටුපොලෙන් මව් රටට ගොඩ බහිනකොට සුගතපාල සෙනරත් යාපා කියන සම්මානනීය සිනමාකරුවා පිළිගන්න රතු පළස් එලා තිබුණාද?

මොන පිස්සුද? රජය වෙනුවෙන් වත්” සිනමා කර්මාන්තය වෙනුවෙන් වත් කවුරුත් ඇවිත් හිටියෙ නැහැ’ මාව පිළිගන්න ඇවිත් හිිටියේ අපේ ගෙදර අය විතරයි’

ගෙදර අය කිව්වෙ?

මගේ බිරිඳ හේමලතා සහ ඥාතීන්’

හේමලතා කොහොමද හමුවුනේ? (මගේ අම්මාගේ නම සෝමලතා, හේමලතා කියන්නේ අම්මගේ අක්කග ලිපිය ලියු කෙනාට ඇහුන හැටි වෙන්න ඇති)

හන්තානේ කතාව චිත‍්‍රපටය කරන කාලේ මං නතරවෙලා හිටියේ ගණේමුල්ලෙ අපේ අක්කලාගේ ගෙදර’ මේ ගෙදර ඉස්සරහින් උදේ හවස ගියා ගලහිටියාව සෙන්ට‍්‍රල් එකේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්’ අපේ අක්කගෙ දුවත් එක්ක තමයි ගියේ’ මමත් එයාගෙ මුහුණු බලනවා’ එයත් බලනවා’ හිනාවෙනවා’ එච්චරයි’ හැබැයි මං නම අහගත්තා’ නම සෝමලතා කිව්වා’

ඊට පසුව එයා ඇතුල් වුණා හෙද විද්‍යාලයට නර්ස් කෙනෙක් වෙන්න’ ඔය අතරේ මං අසනීපවෙලා රෝහලේ නතර වුණා’ අනේ ඊට පස්සෙත් හේමලතා හැමදාම ආවා මාව බලන්න රෝහලට’ මෙන්න මේ කරුණාවන්තකමට මං කැමති වුණා’

”මං කැමතියි ඔයාව කසාද බඳින්න”

”අම්මලාගෙන් අහන්න’”

ඔන්න ඔහොම තමයි හේමලතාගෙයි

සුගතපාලගෙයි විවාහය තීන්දු වුනේ’

හොඳයි ආදරණීය හේමලතා සමග රජත මයුර සම්මානය රැගෙන ගෙදර ගියාම කොහොමද සිංහල සිනමා කර්මාන්තයෙන් ලැබුණු ප‍්‍රතිචාර?

‘සුගතපාල ලිපිකාරයෙක්” ලිපිකාරයො දන්නවද සිනමාව”’’ ඉහළ පෙලේ අධ්‍යක්‍ෂවරයෙක් එහෙම කිව්වා’ ‘හන්තානේ කතාව බලන්න ටිකට් එකක් ගන්නවට වඩා හොඳයි ඒ සල්ලි වලින් බල්ලන්ට සුදු ආප්ප අරන් දෙන එක”’ මහා සිනමාකරුවන්ට කඬේ ගිය පත්තරකාරයෝ මගේ මූණටම කියන්න පටන් ගත්තා’ නවකයෙකුට නැගී සිටින්නට විචාරයක් කෙරුනේ නැහැ’

ඊට පස්සෙ?

‘පෙම්බර මධූ’ සහ ‘ඉන්දුට මල් මිටක්’ යන චිත‍්‍රපට නිර්මාණය කළා’ පෙම්බර මධූ චිත‍්‍රපටයට සුඛාන්තය සහ දුඛාන්තය කියැවෙන අවසානයන් දෙකක් තිබුණා’ දර්ශනයෙන් දර්ශනයට මාරු කරමින් ඒවා තිරගත කළා’ මා හිතන විදියට චිත‍්‍රපටයකට අවසානයන් දෙකක් ඇතුළත් කළ ලෝකයේ එකම චිත‍්‍රපටයත් පෙම්බර මධූ’

ඊළඟට?

රජයේ චිත‍්‍රපට අංශයට බැඳිලා රජයේ වැඩ පිළිවෙල් ඇතුළත් වාර්තා චිත‍්‍රපට හැදුවා’ ඒවා නිර්මාණශීලීව කළ නිසා ජාත්‍යන්තර සම්මානයට පවා පාත‍්‍ර වුණා’ මෙහෙම සම්මාන ගන්නකොට ඊළඟට පත්වුණු ආණ්ඩු කල්පනා කළා ඒ ඒ ආණ්ඩු වලට මං කඬේ ගියා කියලා’ ඒ නිසා රජයේ සේවයේ යෙදී සිටියදී පෞද්ගලික චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම මට තහනම් කළා’

දැන් මොකද කරන්නේ?

අතීත පීඩනය නිසාද දන්නෙ නැහැ මගේ වම් අතත්” වම් පාදයත් පණ නැතුව ගියා’ දැන් නම් තරමක් සුවයි’ බිරිඳත්” සුභානි ගංගා දුවත් මාව හොඳින් බලා ගන්නවා’ මුදිත දර්ශන පුතා රැුකියාව කරන්නේ ඇමෙරිකාවේ’ ඒ වෙනුවට අපේ බෑනා ඒ’ රොහාන් පියදාස මගේම පුතෙක් විදියට මට කරන සත්කාරයට පිං දෙන්න  ඕනෑ’

ඔබේ හිතවතුන් ආවද ඔබව බලන්න?

කුරේ” කරුණාරත්න” නිශ්ශංක ධර්මරත්න” හයසින්ත් විජේරත්න ආවා මාව බලන්න’ එච්චරයි’

දුරකථනය : 0112 958196

කතාබහ: අමරදාස සිල්වා

—–

මම පාසැලේ පළවැනි පංතියේ ඉන්නකාලෙත් ඔහු කම්කරු දෙපාර්තමෙන්තුවේ ලිපිකරුවෙක්. පාසැල් ඇරිලා මාව ඉස්කෝලෙන් අරගෙන ඔහුගේ කන්‍තෝරුවට ගිහින් ඉන්නවා මට තාම මතකයි. ඔහුගේ මෙම පසුබිම මට බලපාපු හැටි වෙනදිනයකදී ලියන්නම්.

ප්‍රතිචාර 10

Filed under මගේ අත්දැකීම්, සිංහල

කාලකණ්ණි අවජාතකයෝ

උසස් අධ්‍යාපන ඇමති සහ එම නියොජ්‍ය ඇමතිතුමා පිළිවෙලින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් හැදුන්වීමට යොදාගත් පදදෙකක් මාතෘකාවට යොදා ගතිමි.

අවිශිබමගැන මගේ ඇති ස්ථාවරය වෙන සටහන්වල ලියා ඇත. එසේම විශ්ව විද්‍යාලවල ඇති සැබැ ගැටලුගැනද, පුද්ගලික විශ්ව විද්‍යාල හරි පදනමක් ඇතිව ස්ථාපනය කිරීමට විරෝධතාවයක් නැති බවද යම්තාක් දුරට මින්පෙර ලියා ඇත.

විශ්ව විද්‍යාල සිසුන්තුළ ඇත්තේ නිශ්ශබ්දව සිටින බහුතරයකි. එයට අමතරව සිසුන් සුළුපිරිසක් ‍රැග්, ඇන්ටි-‍රැග් වශයෙන්ද, නේවාසික, ගෙදර සිට පැමිණෙන වශයෙන්ද, දේශපාලනිකවද බෙදී ඇත. මා පේරාදෙණිය වි.විද්‍යාලයේ සිටිකාලය තුළ සිසුන් කිසිම විටෙකවත් ගැටී නැත. එවැනි ගැ‍ටුමක් ඇතිවීමට අවස්ථාවක් නිර්මාණයවුවහොත් එය වැලැක්වීමටද විශාල පිරිසක් විය.

ජයවර්ධනපුර වි.විද්‍යාලය වරක් පිටතින් පැමිණි මැරයන් පිරිසක් පහරදීමෙන්පසු අනිකුත් වි.විද්‍යාලවලටද එවැනි පහරදීම් පටන්ගෙන ඇත. නවක වධයට විරුද්ධ සිසුන් විසින් මෙය පටන් ගැනුනද දැන් ආංඩුවෙ ඇමතිවරු පවා සිසුන්ට පිටතින් පැමිණෙන මැරයන් යොදා පහර දෙති. මෙම මැරයන්ට අමතරව නිතිය ක්‍රියාත්මක කිරීමේ මුළාවෙන් ශ්‍රි ලංකා පොලිසියේ නිලධාරින්ද විශ්ව විද්‍යාල සිසුන්හට පහරදෙති. වැටලීමෙන් සහ කඩාවැදීමෙන් පිළිතුරු සොයන අවිශිබම මෝඩ පිළිවෙත් අනුමතකරනවායැයි මින් අදහස් නොකරමි. සිසුගැ‍ටුම් නිසා රුහුණු වි.විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මිය ගියද දැන් ඒගැන කතාකරනා කිසිවෙකුද නොමැත. සිසු ගැ‍ටුම් පිළිබඳව ආංඩුව අවිශිබම වෙත ඇගිල්ල දික්කරන අතර අවිශිබම ආංඩුවට ඇගිල්ලදික් කරයි. එසේත්නැතිනම් උපකුලපතිතුමා හාමුදුරුවරුන්ට ඇඟිල්ල දික්කරන අතර හාමුදුරුවරු උපකුලපතිතුමාට ඇඟිල්ල දික්කරති.

මෙයට අමතරව විශ්ව විද්‍යාලයෙන් උපාධිලබා ගිය මිනිසුන් (සමහර බ්ලොගකරුවන් පවා) උපාධියෙන් තමන්හට වැඩක් නොවූබව කියන්නේ එම උපාධිය නිසා තමා සිටිනා තැනද අමතකකරමිනි. නැවතත් විවිධාකාර හේතුදෙමින් ආංඩුව විශ්ව විද්‍යාල වසාදමමින් පවති. මගේ ජීවිතයේ වසර 3ක් (2 1/2 විශ්ව විද්‍යාලය ඇතුළුවීමට පෙර) විශ්ව විද්‍යාල වසා දැමීමනිසා කාලකන්නිවී ගියේය. මගේ අත්දැකීමේ හැටියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීථයේ රසායන විද්‍යා උපාධිය මා ඇමරිකාවට ගෙන ඒමටද ඇමෙරිකාවෙදී අනිකුත් සිසුන් සමග කරටකර සිටිමින් ආචාර්ය උපාධිය නිම කිරීමටද, ඉන් ඔබ්බට මාලද පර්යේෂණාත්මක අත්දකීම්වලටද රුකුලක්විය. එහි අඩුපාඩු නොමැතිබවක් මම මින් නොකියමි. නමුත් ඒවා නිවැදිකිරීමට හෝ ඒය වැඩිදියුණු කිරීමට හැක්කේද ඉන් රුකුලක් ලැබූ ඔබටමය. ඒ සඳහා ඔබ යමක් කරනවාද?

දැන් ඇතිවී ඇති තත්වයට සියලූම පාර්ශවයන් එකහා සමානව වගකිව යුතුය. ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ, ඒවාට සම්බන්ධයක් නොමැති, නවකවදයට ලක්වන සහ එයට විරුද්ධ, නේවාසික සහ ගෙදර සිට පැමිණෙන සිසුන් සියල්ලම (කාගේ හෝ පෙළබීමක් ඇතිව හෝ නැතිව) ගුටිකෙල ගැනීම, ආචාර්යවරුන්ට පහරදීම, විශ්ව විද්‍යාල ගොඩනැගිලි සහ උපකරණවලට අලාභ හානීවන ආකාරයට හැසිරීම නැවත්විය යුතුය, එවන් ක්‍රියාවන් හෙළාදැකිය යුතුය. අර කණ්ඩායම මට ගැහුවා හෝ ගහන්න මාන බලනවා එබැවින් මා ඔවුන්හට පහර දිය යුතුය යන මානසිකත්වයෙන් මිදිය යුතු කාලය මේ මොහොතයි.

මෙයට අමතරව සිසුන් සමග ඇතිවී ඇති ගැටලු උසස් අධ්‍යාපන ඇමතිවරු දෙදෙනා ඔවුන්ගේ නායකත්වය පෙන්වමින් විසඳිය යුතුය. විශ්ව විද්‍යාල සිසුන් දෙමව්පියන් හරහා පාලනය කළහැකි වයසක පසුවන මිනිසුන් නොවන බව තේරුම්ගතයුතුය. මිනිසුන්ට මිනිසුන් හැටියට සලකා ඔවුන්හට නිග්‍රහවන ආකාරයේ සහ තම තනතුරුවලට නොසරිලන ආකාරය භාෂාව හසුරවමින් කිසිමදෙයක් නිරාකරණය කරගතනොහැකිබව තෙරුම් ගතයුතුය. සිසුන්හට පෞද්ගලික බස් ලබාදීම යටිකුට්ටූ ආකාරවලින් නවතාදැමිමෙන් ඔවුන්හට වසරක් පාසායන විනෝද ගමනකටවත් බසයක් ලබාගැනීමට නොහැකිවනුඇත. ඒය තවත් සිසු අසහනය වැඩිකිරීමට මග පැදීමකි. පහේ පංතියෙ ළදරුවන් ලෙසින් නොහැසිරී තම ප්‍රශ්න විසඳා ගතයුතු බව දෙපාර්ශවයම තේරුම්ගත යුතුය.

අවසානයේදී ආචාර්යවරුන්ද තම කටයුතුවල යෙදීම පමණක් නොකර විශ්ව විද්‍යාල තුළ ඇතිවී ඇති තත්වයට සම්බන්ධවීමට කාලය පැමිණ ඇත. විවිධාකාර සිසු කණ්ඩායම්වල පැති නොගෙන සියලුම සිසුන්, සිසුන් හැටියට සලකා ඔවුන් සහ පාලකයින් අතරද, ඔවුනොවුන් අතරද ඇතිවීඇති ගැටලුවලට විසඳුම් සොයන අතරමැදියන්වීමට කාලය පැමිණ ඇත. එසේ නොවුණහොත් ජනතා විමුක්ති පෙරමුණේ අතකොළුවක්වන අවිශිබම කියනා නිසාම නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින්ද සිසු ගැ‍ටුම් තුළින්ද කිසිවෙකුත් නොදැනම ආචාර්යවරුන්හට ‍රැකියාකිරීමට විශ්ව විද්‍යාල පද්ධතියක් ඉතිරි නොවනුඇත.

ප.ළි.: රටේ නීතියට යටත්වියයුතු වැරදි කල අයට දඬුවම් නොදියයුතු බවවත්, විශ්ව විද්‍යාල සිසුන්හට සාමකාමිව දේශපාලන කටයුතුවල මෙන්ම විරෝධතාවයන් දැක්වීමටද අයිතියක් නැතැයි කියාවත් මෙම සටහනෙන් අදහස් නොකෙරේ.

එක් ප්‍රතිචාරයක්

Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, විශ්ව විද්‍යාල, සිංහල, සිසු ගැ‍ටුම්

මැද පිලිවෙතට විරුද්ධව ඇති චෝදනා

මැද පිලිවෙතට මැයින් මා විසින් ලියන මෙම බ්ලොගයට විරුද්ධව චෝදනා දැක ඇත. ඒවාට පිලිතුරු සැපයීමට කාලවේලාව සීමිතය. ඒබැවින් ඉදිරියේදී පහත සඳහන් චෝදනාවලට පිලිතුරු ලිවීමට බලා පොරුත්තුවෙමි.

1. එල්ඹගත් මතයක සිට එය තහවුරුකිරීමට මැද පිලිවෙත නමින් ලිවීම

2. මා සුදු හම ඇති ඇමරිකානුවන් මෝඩයින් ලෙස හදුන්වන බව

මා ලියනලද සියල්ලක්ම හරි යැයි මම නොකියමි. එසේම යම් අයෙකු විරුද්ධ මතයක් ඉදිරිපත් කළහොත් එයට ඇහුන්කන්දීමටද, මගේ මතය වැරදියි නම් එය පිළිගැනීමටද, යම් අයෙකුට මගේ වරදක් සිදුවුවහොත් සමාව අයැදීමටද මම පසුබට නොවෙමි.

ලිපිවල ලියාඇතිදෑ ගෙන ඒවා ඉන් ඔබ්බට ඇද මා ජාතිවාදියෙකු ලෙස හෝ අන්තවාදියෙකු ලෙස හන්වඩුගැසීමටදරන උත්සාහයන්ට මට එකඟවිය නොහැක. මගේ ජීවිතයගැන නොදන්නා බැවින් එය සිදුවනවා වියහැක. නමුත් මම සාමාන්‍යයෙන් පම්පෝරිගසන කෙනෙකු නොවෙමි. එබැවින් ලිපිවල ඇතිදෑ ඉන් ඔබ්බට ඇද අසාධාරණ චෝදනා කිරීමෙන් වැළකීසිටින මෙන් කරුණාවෙන් ඉල්ලමි.

කෙළින්ම මූණට නොකියා වහෙන් ඔරෝ ලෙස මෙවැනි චෝදනා කිරීමගැන චොදනා කරන්නන් ලජ්ජාවිය යුතුබවද සිතමි.

ප්‍රතිචාර 2

Filed under මගේ අත්දැකීම්, සිංහල

ඇමෙරිකන් ඉඩියට්(ස්), අධ්‍යාපනය, සහ ලුවිස් බ්ලැක්

ඇමෙරිකන් ඉඩියට් නමින් ග්‍රීන් ඩේ නම් පන්ක් රොක් (Punk rock) සංගීත කණ්ඩායම ගයනා ගීතයක් ඇත. මෙම ගීතය අඩංගු තැටියට හොඳම රොක් ඇල්බමයට ලැබෙන ග්‍රැමී සම්මානයද හිමිවිය.

Don’t wanna be an American idiot
Don’t want a nation under the new media
And can you hear the sound of hysteria?
The subliminal mind fuck America

Welcome to a new kind of tension
All across the alienation
Where everything isn’t meant to be okay

Television dreams of tomorrow
We’re not the ones who’re meant to follow
For that’s enough to argue

Well maybe I’m the faggot America
I’m not a part of a redneck agenda
Now everybody do the propaganda
And sing along to the age of paranoia

Welcome to a new kind of tension
All across the alienation
Where everything isn’t meant to be okay

Television dreams of tomorrow
We’re not the ones who’re meant to follow
For that’s enough to argue

Don’t want to be an American idiot
One nation controlled by the media
Information age of hysteria
It’s going out to idiot America

Welcome to a new kind of tension
All across the alien nation
Where everything isn’t meant to be okay

Television dreams of tomorrow
We’re not the ones who’re meant to follow
For that’s enough to argue

ලුවිස් බ්ලැක් ඇමෙරිකානු විහාසකයෙකි. ඔහුගේ විහාසක ශෛලය ඉතා තරහහින් කතාකරන්නේකුට සමානය. කෙසේවෙතත් ඔහු පසුගිය දිනක ඇමෙරිකානු පොදු පාසැල් ගැන ඩේලි ශෝ විත් ජෝන් ස්‍ටුවර්ට් නම් රූපවාහිනී වැඩසටහනට කරනලද විකටාංගයක් පහත සබැඳියාවෙන් බැලිය හැක. මේ සඳහා ඔහු පාදක කරගත් සමීක්ෂණයද පහතින් බැලිය හැක. ඇමරිකන් ඉඩියට් සිංදුවත් මෙම සමීකශනයත් ලුවිස් බ්ලැක් විසින් හොඳින් ගලපා මෙම විකටාංගය කොට ඇත. එයට අමතරව මේදිනවන අනිකුත් රූපවාහිනි නලිකාවන්ගේ තිරගතවූ වැඩ සටහන් කිහිපයද ඔහු විහුළුවට ලක් කරයි.

ලුවිස් බ්ලැක්ගේ විකටාංගය බැලීමට මෙතැන ඔබන්න – http://www.thedailyshow.com/watch/tue-october-5-2010/back-in-black—education-crisis

PISA සමීක්ෂණය

එම වීඩියෝව විහිළුව තුළින් යම් සත්‍යක්ද හෙළි කරයි. මාගේ යහළුවෙකුගේ අදහසවූයේ ඇමෙරිකානු සිසුන්ගේ සිතේ විශ්වසනීයත්වය වැඩිවීමට එක හේතුවක්විය හැක්කේ මේ පරම්පරාව මිස්ටර් රොජර්ස් නේබර්හුඩ් රූපවාහිනි වැඩසටහන බලා හැදීවැඩුණු දෙමාපියන්ගේ දරුවන්වීම බවයි. එම රූපවාහිනි වැඩසටහන තුළින් දරුවන්ට යමක් වැරදුනද, “ඔබට කරන විධිය හොඳයි” ආදී වශයෙන් ධනාත්මකව වැරගැන්වීම් කිරීමට පුරුදුවූ කරවූ බව කියැවේ. මම මෙම වැඩසටහන දැක නැති බැවින් ඒය සහත්‍යදැයි නොදනිමි. මගේ කුඩා කාලයේදී එවැනි පුහු වැරගැන්වීම් මට ලැබී නැත. ලමුන් සැදීම ගැන මට ඇත්තේ මගේ දෙමවුපියන් මා සෑදු අත්දැකීම පමනක් නිසා ඒ ගැනද මම නොදනිමි.

කෙසේ වෙතත් ලුවිස් බ්ලැක් කියනා ආකාරයේ කිසිම දෙයක් නොදන්නා හිතේ විශ්වසනීයත්වය ඉතිරීයන ඇමරිකන් ඉඩියට්ස්ලා මටද හමුවී ඇත. වට පිට බැලූකල මෙවන් අය ඇමෙරිකානු දේශපාලනය තුළද ඇත. වරක් එවැන්නෙකු ජනාධිපති පදවිටද පත්වුවා මතකය. නමුත් දැන් හතු පිපෙන්නාසේ එවන් දේශපාලකයන් ඇතිවෙමින් පවතී. උදාහරණයක් ලෙස: බදු වෙනස්කිරීමට කතාකරන ඔවුහූ බදුගැන කියා තිබෙන්නේ කුමන සංශෝධනයේද කියාවත් නොදනියි. ඒ දු‍ටු මට මෙය මතක් විණි.

නිව් යොර්ක් ටයිම්ස් හි මොරීන් ඩවුඩ් මේ සමහර අයගේ නම් සහිතව ලිපියක්ද ලියා තිබිණි. http://www.nytimes.com/2010/10/20/opinion/20dowd.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, ඇමෙරිකන් ඉඩියට්, ග්‍රීන් ඩේ, දේශපාලනික, පබා, මගේ අත්දැකීම්, ලුවිස් බ්ලැක්, සමාජීය, සිංහල

I the idiot සහ පබාගේ ආරක්ෂකයෝ

සමහර අය අනුමාන කරතිබූ පරිදි මා මෝඩයෙකු යන්නටද හෝ කවුදෝ මගේ සටහනකට ලියා තිබු පරිදි කොහේදෝ යන පිස්සෙක් කියා මා හැඳින්වීමගැනද මම එකඟ වෙමි. පභාගේ ආරක්ෂකයින්ගේ වීරයෙකුවී සිටි ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් මහතා කියූදෙයක් (පහත විඩියෝවේ ඇති පරිදි) මතක්වේ.

මා හොඳිම දන්නා දන්නාදෙයක් ඇත. එනම් මා අති විශාල ප්‍රමාණයක් දේ නොදන්නා බවයි. මාගේ සටහන් තුළ මා ඥානවන්තයෙකු ලෙස හන්දුන්වා ගැනිමටහෝ මා ඉතා බුද්ධිමතෙකු ලෙස හන්දුන්වාගැනීමට මා උත්සාහකර නැත. එසේ සිදූවී ඇත්නම් මගේ හද පතුලින් නැගෙන සමාවභජනය කරමි.

සියලු වැඩිහිටියන් 6දෙනෙකුගෙන්ම 1 අයෙකු මානසික රෝගවලින් පෙළෙන බව මගේ යහළුවෙකු දිනක් මා සමග කිවේය. මෙම පුවත සත්‍යදැයි මා සොයා බලා නැත. නමුත් මගේ යහළුවා සමග කර ඇති 1000ක් පමණ සංවාද සියල්ලක්ම පාහේ සත්‍ය බැවින් ඔහු කීදේ සොයා නොබලා මම පිළිගනිමි. කෙසේ වෙතත් මා කොහේදෝ යන පිස්සෙකු වීමට 15%ක පමණ සම්භාවිතාවක් ඇත.

මම සමාන්‍ය මිනිසෙකු වෙමි. මා පිස්සෙකු ලෙස හෝ මෝඩයෙකු ලෙස හැන්දින්වීමය ඔබට ඇති අයිතියට මම ගරුකරමි. ඔබ හරිද වැරදියිද යන්න කාලයා විසින් නිගමනය කරනු ඇත.

කෙසෙ වෙතත්, මෙ සියලූම සාකච්ඡාවන්ට මුල්වූයේ මගේ “පරිණාමවාදය පිළිනොගන්නා පරිණාමය නොවු වඳුරන්වෙත ලියමි” ලිපියයි. සාරංශයක් ලෙස පරිණාමවාද පිළිනොගන්නා අයට ඩිඩිටි සහ මදුරුවා උදාහරණයට අමතරව අප හොඳින් දන්නා හෝ අඩුමතරමින් අසා ඇති බැක්ටීරියාවන්ගෙන්ද උදාහරණ ඇතිවෙමින් පවත්නා බව පෙන්වාදීමත්, එවැනි පරිණාමවාදය පිළිනොගන්නා අයට මේ දිනවල ඇමෙරිකාවේ 48වැනි තැනට කුඩාම ප්‍රාන්තයතුළ ප්‍රසිද්ධියට පත්ව ඇති ක්‍රිස්ටීන් ඔඩොනෙල් වැනි අයද ඇති නිසා තනියක් නොමැති බව පෙන්වාදීමත්ය.

එම ලිපියට පිලිතුරක් ලෙස අරුණි ශපිරෝ “මැද-පිළිවෙතට-පිළිතුරක්” මැයෙන් ලිපියක්ද එයට පිලිතුරක් ලෙස මා විසින් “අරුණී ශපිරෝ සමග සැමවිටම එකඟ විය නොහැක” මැයෙන් ලිපියක්ද ලියන ලදී. කෙසේවෙතත් අරුණිගේ ලිපියට යටින් ඇය මාහට පිළිතුරු දී ඇත. එහි කියා ඇති දැ කොයිතරම් සත්‍යදැයි සොයා බැලීමට මෙය ලියමි.

අරුණි: ජනප්‍රිය ප්‍රසිද්ධ මාධ්‍යය වලින් වඩා අහන්නට ලැබුණු පලියට යමක් පිළිගැනීම වෙනුවට විචාරයට කෙනෙකුව හුරු කිරීම තවත් අරමුණකි. පත්‍රයක හෝ අන්තර්ජාලයේ හෝ වාර්තා චිත්‍රපටියකින් හෝ විශ්ව විද්‍යාල දේශනයක දී හෝ කියා දුන් පළියට යමක් සත්‍යය දැයි විචාරය නොකර පිළිගැනීම මෝඩකම වෙයි.

මම ඇය සමග එකඟවෙමි. නමුත් මින් අදහස් කරන්නේ මා කිසිම අවබෝධයකින් තොරව ඔබට ඊ කෝලෛගැන කියුවා යනන්නම්, එය වැරදිය. ඔබට මෙම උදාහරණයගැන කිවීමට පෙර මා කේටි කුරික් (තවත් විදියක පබා කෙනෙක්) මෙම පුවත විකාශනයකරනු දු‍ටුවෙමි. ඉන් පසු ඒගැන තවදුරටත් කියවා නීරස විද්‍යා තොරතුරු අයින් කර එය ලියුවෙමි. නමුත් මේගැන සියලු තොරතුරු ගූගලය මගින් ඔබට සොයා ගතහැක. ඒගැන කියවීමට පහත විකි ලින්ක්ස් දෙකෙන්ද හැකිය. කියවා බලා ඔබට නොවැටහෙන දෙයක් ඇත්නම් අසන්න.

http://en.wikipedia.org/wiki/Antibiotic_resistance

http://en.wikipedia.org/wiki/New_Delhi_metallo-beta-lactamase

http://myxo.css.msu.edu/

අරුණි: මා ලියන දෑ මා බලන පැති වලින් පමණක් නොව කොලූ හා Grey හා Stormcrow වැනි තවත් මා නොදැකි පැත්තකින් බලා ප්‍රතිචාර එවන අය නිසා මගේ මනස ද විකසිත වෙයි. එය මාගේ සතුටයි.

මා කතාබහේ දී ගන්නේ හැමදාම එක පැත්තක් නොවේ. යම් කාලයක එක පැත්තකට අදිනවා යයි පෙනෙන්නේ ඒ පැත්තට අනිත් අය උඩ පැන පැන ගහනවා හෝ උඩ පැන පැන අත්පොළසන් දෙනවා දකිද්දී ය.

ලිපියේ මුලික අදහසවූයේ පරිණාමවාදය විරුද්ධ අයට ඒ අය සමග විනාඩි 15වේ ප්‍රසිද්ධියට පත්වූ අයද සිටිනවා කීම මිසක් ක්‍රිස්ටීන් ඔඩොනෙල්ගේ දේශපාලනය විශ්ලේෂණය කිරීම නොවේ. නමුත් ඈ මෝඩකතා දහසක් පමණ කියා ඇතිනිසා ඒවාද පෙන්වීය. ඇය සමග අනික් පක්ෂයෙන් තරඟ වදින කෙනාගේ නමද මා නොදනිමි. අවශ්‍යනම් මට සොයාබැලිය හැක නමුත් මට අවශ්‍යතාවය නොමැත. එසේම අනික් කෙනාට ඡන්දය දිය යුතුය කියාද මම කිසිම තැනක කියා නොමැත්තෙමි.

අරුණි: “ඔබාමා රටේ ඉහළම ජනප්‍රියත්වයක් දරද්දී මා ඔහු නුසුදුසු යැයි කීවෙමි. ඔහු නිසා අනිකුත් කළු ඇමෙරිකානුවන්ට සිද්ධ වන අසාධාරණය ගැන කීවෙමි.”

“ඔබ ද ඇයගේ අතීතය ගැන තවමත් කතා කරයි”

ඔබාමා නුසුදුස්සෙකුබව ඔහු ජනාධිපතිවීමටත් පෙර යම්කෙනෙකුට කිව හැකිනම් එය කල හැකි ක්‍රම විශාල ගණනක් ඇත.
“back to the future” චිත්‍රපටියේ මෙන් අනාගතයට ගොස් නැවත පැමිණීමෙන්

“Terminator” චිත්‍රපටියේ මෙන් අනාගතයේ සිට පැමිණිමෙන්

“Medium” රූපවාහිනි නාට්‍යයේ මෙන් psychic වීමෙන්

Black eye peas මෙන් I got a feeling යැයි කියමින්

නමුත් මට වැටහෙන් ආකාරයටනම් එවැන්නක් ඔබකියන්නට ඇත්තේ ඔබාමාගේ අතීතයේ ඔහු කියූ කළදෑ ඔබට සිතෙන, වැටහෙන ආකාරයට විශ්ලේෂණය කිරීමෙනි.

ඇයට ඇය අකමැති Supreme Court තීරණයක් කියාගත නොහැකිවූයේ සතියකට ඉහත අතීතයේදීය.

“The true hypocrite is the one who ceases to perceive his deception, the one who lies with sincerity” – Andre Gide

———

When people are provided with a bad choice and a worse chose, people can chose the worse chose because they dislike the bad choice. I understand that. It is the feeble effort of justifying that choice which I don’t understand. I respect the right of people voting to elect whomever they want.

Applying a set of criteria towards one person (may be because he is a democrat, may be because he is black, may be because he is educated, may be because he will end up letting the bush tax cuts expire) and use a total different criterion for your sweetheart is what is usually called hypocrisy. I have express my feelings about hypocrites abundantly here.

මෙම විවාදය තවදුරට පවත්වාගෙන යාමට මට හැකිදැයි මම නොදනිමි. ඉදිරි සති කිහිපයේ මට ඉතා වැඩ අධිකය. නමුත් යම් අයෙකු ලියුවහොත් හැකි ආකාරයකට පිළිතුරු සපයන්නම්.

අමතක වීමට කලින් තවත්දෙයක් කිව යුතුය. I the Idiot is wrong way of saying it, it should be I am an idiot. මේ බව මම දනිමි. මගේ පාසැලේ ගුරුතුමෙකුට සදා තිබූ කතාවක් මතක්වී එසේ ලිවීමි. නමුත් යමකුට මගේ ඉංග්‍රීසි හොඳනැතැයි කියා ලිවීමට සිතේනම් ඒ සමඟද මම එකඟවෙමි. Because as an American would say “my English sucks ass brothers and sisters”!

ප්‍රතිචාර 2

Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පරිණාමවාදය, මගේ අත්දැකීම්, විද්‍යා, සමාජීය, සිංහල

සමාජ(ධන)වාදී චීනය සහ නොබෙල් සාම ත්‍යාගය

චීනය ගැන දැනටමත් මා කියවන බ්ලොග සටහන් දෙකක සටහන්වී තිබුණා. නමුත් මගේ අදහස් ඒවාට වඩා මදක් වෙනස් බැවින් ඉතා කෙටි සටහනක් තැබීමට සිතුණි.

1. චීන හිරකරුවෙකුට නෝබෙල් තෑග්ග දීම චීනයට දුන් කනේ පහරක් නොවන්නේ ඇයී?

2. සාම තෑග්ග හා කොමියුනිස්ට් චීන සමූහාණ්ඩුව

මාගේ කාර්‍යාලය චීන ජාතික රසායන විද්‍යාඥයෙකු සමග බෙදා ගනිමි. අප දෙදෙනා ඉතා හොඳ මිතුරො වෙති. රසායන විද්‍යා සහ අනිකුත් විද්‍යාවන්ට අමතරව අපගේ රටවල්වල, ඇමෙරිකාවේ සහ අනිකුත් රටවල දේශපාලනයද අපි සාකච්ඡා කරන්නෙමු. මේ සටහන ලියන අතරතුරද මදකට නවතා විද්‍යා සාකච්ඡාවක් කිරීමට සිදුවිය. දින කිහිපයකට ඉහතදී ඔහු කියනා තුරා නොබෙල් සාම ත්‍යාගය මෙවර දිනූ චීන ජාතිකයාට ලැබීමට යන බව මා දැන නොසිටියෙමි. ඉන් පසුව අරුනීගේ බ්ලොග් සටහනේද එම පුවත දක්නට ලැබිණි.

පසුගිය වසර කිහිපය තුළම ලොව වැඩිම් ආර්ථික වර්ධන වේගය තිබුණේ චීනයටයි. ඉතා මෑතකදි ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට ජපානය පසුකරයෑමට චීනයට හැකියාවක් ලැබිණි. පසුගිය දිනක අරුනි ලියා තිබූ චීනයට නොබෙල් ත්‍යාග වැඩිපුර නැත්තේ ඇයි යන්න මම මාගේ මිතුරාගෙන් ඇසීමි. මාවෝ විසින් සියලූම විද්වතුන් කුඹුරුවලට යැවීම නිසා චීනයේ විද්‍යාව වසර ගණානාවකින් පසුපසට ගිය හැවි ඔහු කීවෙය. නමුත් එවැනි පසුබෑමකට පසුව චීනයේ විද්‍යාව සහ තාක්ෂණය දියුණුවීමට පටන් ගෙන ඇත.

විද්‍යා හා ඉංජිනේරු විෂයයන්වල ආචාර්ය උපාධි සඳහා ඇමෙරිකානු විශ්ව විද්‍යාලවලට ඇතුළුවන විදේශීය සිසුන්ගෙන් 1/3ක්ම පැමිණෙන්නේ චීනයෙනි. පසුගිය වසර කිහිපයක් තිස්සේ එම උපාධි සඳහා ඇතුළුවන සුදු ඇමෙරිකානු පිරිමින් සංඛ්‍යාව අඩුවෙමින් පැවැතුණි අතර සුදු ඇමෙරිකානු ගැහැනුන් ගණන වැඩිවෙමින් පවතියි. කෙසේවෙතත් මෙසේ පිටරටින් පැමිණෙන සිසුන්ගේ රඳවා ගැනීම තවමත් ඉහළ මට්ටමක පවතියි. චීනය දැන් ඇමෙරිකානු සමාගම් එහි ගෙන්වාගෙන් ඇති බැවින් මෙම රඳවා ගැනීම අඩුවීමට පටන් ගෙන තිබේ.

2008/09 වසරතුළ තුළ චීනය විසින් ඉල්ලුම්කර ඇති ජාත්‍යන්තර පේටන්ට් සංඛ්‍යාව 30%කින් වැඩිවන අතරතුරදී, ජපානය මෙම වැඩිවීම 4%ක් පමණී. මෙයට අමතරම පසුගිය කාලයේදි සමහර ජපාන සමාගම් 20%කින් පමණ තම පර්යේෂණ වියදම් අඩුකරදිදී චීන සමාගම් එය 30%කින් පමණ වැඩි කොට ඇත. මේ පිළිබඳව ද ඉකොනොමිස්ට් සඟරාවේ පළවූ ලිපිය මෙතැනින් කියවන්න.

මෙයට අමතරව චීනය අප්‍රිකානු රටවල තම ආයෝජන කිරීම් මගින් නවීන අධිරාජ්‍යවාදයකට මුල පුරමින් පවතී. මේ සඳහා පාර කැපුයේ බටහිර ජාතීන්මය. අප්‍රිකානු රටවල තිබූ සහ තිබෙන බටහිර සමාගම මගින් සමහර අප්‍රිකානු රටවල ආංඩුපවා පෙරළීය. ඔවුන් එම රටවල් තුළ විව්ධාකාර ආරවුල් ඇතිකරමින් එම සමාගම්වලට ලාභය වැඩිකරගැනීමට පාර කැපීය. මෙනිසා බටහිර රටවල් කෙරෙහි තිබූ පිළිකුල භාවිතාකොට චීනය එම රටවල්වලට නවතම ආයොජකයෙකු ලෙස ඇතුළුවිය. ඔවුන් එම රටවල ආංඩු විසින් කරන මානව හිමිකම් හෝ අනිකුත් වැරදිගැන කතාකිරීමටවත් එම වැඩගැන ඇඟිලිගැසීමක්වත් නොකර තම අයොජනවල ප්‍රතිඵල නෙලමින් සිටී. චීනයේ සිටින අතිවිශාල ජනකායට ආහාර සැපයීමට ඔවුනට ඇති සශ්‍රික ඉඩකඩම් ප්‍රමාණය අඩුය. එබැවින් අප්‍රිකාව ඔවුන්ගේ ගොවිපළ බවට පත්වෙමින් පවතී. මේ මොහොතෙදී මෙම සඹඳතාවය අප්‍රිකානු රටවලටද වාසිදායක එකකි. අනාගතයේදී කුමන ආකාරයකට යයිදැයී කීමට මම නොදනිමි.

මෙයට අමතරව දකුණු ඇමේරිකානු රටවලටද චීනය ඇතුලුවෙමින් පවති. ආසියානු කලාපීය බලය ‍රැක ගැනීමට අවශ්‍යවන කරුණුද එකින් එක් කරමින් පවතියි. උදාහරණයක් ලෙස ඉන්දියාව වටා ඇති රටවල් කිහිපයකම චීන වරායන් මේවනවිටත් ඉඳිකරමින් පවතියි.

මෙයට අමතරව චීනය සතුව ඇති ඇමෙරිකානු ඩොලර් සංචිතයද ජපාන යෙන් සංචිතයද අතිවිශාලය. එබැවින් මෙම ආර්ථිකයන් දෙකම කඩාවැටීම චීනයට හිතකරදෙයක් නොවේ. ඇමේරිකාව සහ චීනය අතර වෙළඳ ඌනතාවයේ වැඩිවාසි තිබෙන්නේ චීනයටයි. මෙයට හේතුව ධනවාදී සංකල්පයමත පමණක්ම ‍රැඳීපවතින නිසා ඇමෙරිකාවේ නිපදවන දැ අධික මිලකින් යුතුවීමයි. මා ආචාර්ය උපාධිය අවසන් කර මෙම ‍රැකියාවට පැමිණෙන විට මගේ වැ‍ටුප අමෙරිකානු ෆොර්ඩ් මොටර් රථ සමාගමේ නට් තදකරන මිනිසෙකුට වඩා අඩුය. නමුත් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශන ලියැවිල්ලේ පරිදි “ජීවිතය, නිදහස සහ සතුට හඹායැමට ඇති අයිතිය” ගැන මාගේ විවාදයක් නොමැත. ඇමෙරිකානු ජනගණයේන් සියයට 15% ක් පමණ දුප්පතුන්ය. 35%ක් පමණ පහළ මධ්‍යම පාංතිකයින්ය. එබැවින් මෙම අධික මිලකින් යුත් භාණඩ මිලදී ගැනීමට ඇති හැකියාව අඩුවෙමින් පැවතෙන කාලයකදී චීනයේ අඩුමිලට නිෂ්පාදනය කරන බඩු ඇමෙරිකාවට ගෙන්වන වොල්මාර්ට් වැනි විශාල සමාගම් ඇතිවිය. චීනය සමග ගනුදෙනු කරන රටවල් වලට සාපේක්ෂව වොල්මාර්ට් සමාගම අටවැනි ස්ථානයේ සිටී. මෙසේ අඩුමිලට පැමිණෙන භාණ්ඩ ඇමෙරිකානුවන් මෙන්ම පිට රට සිට පැමිණි මා වැනි විදේශිකයින් සහ විදේශ සිසුන්ද මිලදී ගනි. මෙනිසා චීනයෙන් ඇමෙරිකාවට ගෙන්වන බඩු ප්‍රමාණය ඇමෙරිකාව විසින් චීනයට යවන බඩු ප්‍රමාණයට වඩා ඉතා විශාලය. ඇමෙරිකාව තුළ චීන විරෝදයක් ගොඩ නැගී සහ නැගෙමින් පවතින එක හේතුවක් වන්නේ මෙයයි. මෙයට අමතරව අඩුමිලට කම්කරු සැපයුම නිසා ඇමෙරිකානු සමාගම් චීනයේ නගරවලට ගොස් ඇත. මේසඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ පුහුණු ශ්‍රමය සැපයීමට චීන රජය කටයුතු කළේය. ඇම්රිකාවේ වරදින්ම සිදුවූ මේදෙය සාමන්‍යයෙන් ඇමෙරිකානුවන්හට තේරුම්ගත නොහැකිව පවතී. එමනිසා චීනයට විරොධය දැක්වීමට ඇමෙරිකාව පසුබට නොවේ. මේ දිනවල චීනයේ යුවාන් වල අගය වැඩිවීමගැන ඇමෙරිකාව විරෝධය ප්‍රකාශ කරන්නේද එබැවිනි. ජීවිතය නිදහස සහ සතුට හඹා යෑමේ අයිතිය ඇත්තේ ඇමෙරිකානුවන්ට පමණක්යැයි යන හැගීම ඔවුනට පවතී.

චීනයේ සමාජවාදයක් පවතිනවායැයි සිතීම තවදුරටත් වලංගුනොවේ. පසුගිය කාලවල ඇතිවූ ආර්ථික දියුණුව නිසා චීනයේ අලුත් පොහොසතුන්, ඉහළ මධ්‍යම පාංන්තිකයින් ඇතිවෙමින් පවති. නගරාශ්‍රිතව ජීවත්වන තරුණ ජනහගණය එදා ඇමෙරිකානුවන් ඇමෙරිකානු සිහිනය හඹා ගියාක් මෙන් අද චීන සිහිනය හඹා යයි. 1989ට පසු තරුණ කැ‍රැලි ඇතිනොවීමට මෙම තත්වයද එක් හේතුවකි. වසර 20කට පසු එම කැ‍රැළිගැන කතාකරන හෝ දැනුමක් ඇති තරුණ ජනගහනය අඩුවී ඇත. මෙයට අමතරව ආර්ථික ප්‍රතිපත්ති ලිහිල්වීම නිසා ඒවා සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා ධනවාදි ප්‍රතිපත්තීන්ට ඉතා කිට්‍ටුය. කෙසේවෙතත් මෙම තත්වය නිසා ඇමෙරිකාවෙ මෙන්ම චීනය තුල්ද දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය වැඩිවෙමින් පවති. ගිනී සංගුණකයට අනුව ඇමෙරිකාවත් චීනයත් (ලංකාවත්) මෙම පරතරය එක සමාන මට්ටමකට පැමිණ ඇත.

නගරාසන්නව පැවති එක පවුලකක එක ළමයා සංකල්පය නිසා චීනයේ ජනගහන වර්ධනය අඩාලවී ඇත. නමුත් එබැවින්ම චීන කාන්තාවන්ට වඩා පිරිමින් ගණන්ද වැඩිවී ඇත. එසේම පසුගිය වසර තුළ දැඩිලෙස ක්‍රියාත්මක කල පරිසරික නීති නිසා කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු කිරීමද අඩාල වී ඇත. එසේනම් ජනතාවට නිදහස නොදී සිටීමට චීන රජය ක්‍රියා කරන්නේ මන්ද? මගේ සිතිවිලිවලට අනුව බලය ඇති මිනිසුන් සාමාන්‍යයේ බලය රඳා පවත්වා ගැනීමට උත්සාහ කරති. එසේම ඉහළ සිට පහළටම රාජ්‍ය නිලධාරීන් දුෂිතය. රාජ්‍ය බලය ඇත්තේ මුදල් ඇති අයටය. එසේම පහළ නිලධාරින් පත් කරනුයේ ඉහළ නිධාරින්ගේ උවමනාවටය. බලය පවත්වා ගැනීම පහසුවී ඇත්තේ එබැවිනි. එයට අමතරම දැනට ඇතිවී ඇති දුප්පත් පොහොසත් පරතරය වැඩිවීම මත රට තුළ කැ‍රැලි ඇතිවීම වැළැක්වීමට පහසුම ක්‍රමය නිදහස පාලනය කිරීමයි. රටේ දියුණුවට වර්තමාන ආංඩුව කටයුතුකරමින් පවතියි. එබැවින් රට තුළ සාමකාමී සහ ස්ථාවරත්වය පවත්වාගත හැකි පහසුම ක්‍රමයද මෙයයි. මොහොතකට හෝ හෙට දින සිට ඡන්ද පවත්වා නිලධාරීන් පත්කර ගැනීම ඇරඹුවායැයි සිතන්න. එම ඡන්දවලට ඉදිරිපත්වන්නේ කවුරුන්ද? ජයගනු ඇත්තේ කවුරුන්ද? දැනට සිටින නිලධාරින්මය. කොලු කියනා ආකාරයට සංවර්ධනය සඳහා නිදහස අවශ්‍ය නොවේ. මේ බව පසුගිය දිනක ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා කථා කරනු මම දු‍ටුවෙමි. නමුත් නිදහස මිනිසුන්ගේ මුලික අයිතිවාසිකමක් බව මමද තරයේ විශ්වාස කරමි. කෙසෙවෙතත් චීනය කල යුතු මූලිකම කාරණය වන්නේ දුප්පත් පොහොසත් පරතරය අඩුකිරීමට විසදුම් සෙවීමයි. එමෙන්ම ඉතා ඉක්මනින් මහලුවෙමින් පවත්නා ජනගහනයට පිළිතුරක් සෙවීමද අවශ්‍යය.

අවසාන වශයේ මෙවර නොබෙල් සාම ත්‍යාගය චීනයට නිදහස් ගැන දුන් පහරක් වශයෙන් පෙනෙන්නේ බටහිර රටවල්වලට චීනය තර්ජනයක් වෙමින් පවතිනා නිසාය යන්න මගේ හැඟීමයි. මෙම ලිපිය කියවීමෙදී දැනට අපේ රටේ ඇති තත්වයන් සිහිවූවානම් එය සම්පූර්ණයෙන්ම අහම්බයකින් සිදුවූවකි.

පින්තූර ලබා ගත්තේ : The Economist, Wikipedia

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, චීනය, දේශපාලනික, නොබෙල් සාම ත්‍යාගය, මගේ අත්දැකීම්, විද්‍යා, සමාජීය, සිංහල