දාගැබ් මහ වැව් බැන්දේ ඒලියන්ස්ලාය පුතේ

1990 ගණන්වලදී අපේ ආර්ථිකය මංසන්ධියක් පසු කළායැයි මට සිතේ. එතෙක් කෘෂිකාර්මික ආර්ථිකයක්ව තිබු ශ්‍රි ලංකාව සේවා ආර්ථිකයක් බවට පත්වීම 90 දශකයේදී සිදුවිය. ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන අපේ රට තුළ ප්‍රධාන අපනයනය බවට පත්විණි. ලංකාවේ සිට ඇමරිකාවට පැමිණ දෙවැනි දිනයේදීම පොත් බැගයක් ගැනීමට ‍ටුසොන් නගරයේ වොල්මාර්ට් එකෙදී මගේ සිතගත් බැගය නිෂ්පාදනය කර තිබුණේ ශ්‍රි ලංකාවෙදී බව දු‍ටු මගේ ඇ‍ඟෙහි හිරිගඩු පිපිණි. ඒ මා සිතතුළ ඇතිවූ යම් ආඩම්බරකමටයැයි මට සිතේ. එතැන් පටන් ඇදුම් කඩයකට ගොඩවෙන හැමවිටම විවිධාකාර ඇඳුම් මසා ඇත්තේ ලංකාවේද යන්න සොයා බලන්නට මම අමතක නොකළෙමි. ඒම ලේබල් දු‍ටුවිට සිතෙහි යම් දුකක්ද ඇතිවූයේ සන්නාලියන්ගේ දුක්ගැන මා යම් දුරකට දැන සිටි බැවිනි. මගේ නැදෑවන අක්කලා කිහිපදෙනෙක්ම ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටි අයය.

ජනාධිපතිව සිටිකාලයේදී ආර්. ප්‍රේමදාස මහතා කෙරෙහි මාගේ සිතේ පැහැදීමක් නොතිබිණි. නමුත් නැවත හැරී බලන විට මගේ ජීවිතකාලය තුළ සිටි නායකයින් අතරින් රාමුවට පිටතින් සිතූ එකම නායකයා ඔහුයැයි මට සිතේ. ඒතැන් පටන් සිටි හැම නායකයාම ඔහුගේ ආකෘතිය විවිධාකාර නම් යොදා පාවිච්චිකරන අයුරු පෙනේ. පරණ රාමුවෙන් පිටතට පැමිණි නව නායකයින් ප්‍රේමදාස රාමුවේ හිරවී ඇත.

ඕනැම කර්මාන්තයක් වැඩි ලාභ තකා පිරිවැය අඩුකර ගැනීමට ලාභදායි කම්කරුවන් සොයායැම නිතර අසන්නට ලැබෙන දෙයකි. එය දැන් අපේ ඇඟලුම් කර්මාණතයට සිදුවන්නේ අසල්වැසි බංගලාදේශය වැනි රටවලින් ලාභ ශ්‍රමය සොයා ගත හැකි බැවිනි. ඇගලුම් කර්මාන්තය තුළ විශාලලෙස ‍රැකියා කපාහැරීම් පසුගිය වසර කිහිපය තුළ සිදුවී ඇති බව පාර්ලිමේන්තුවතුළදීම පසුගිය දිනක කථාවිනි.

කෙසේවෙතත් අපි දැන් සංචාරක කර්මාන්තයට සූදානම් වෙමින් සිටියි. නගර අලංකාරය සහ කැසීනෝ ව්‍යාපාරය දියුණුකිරීම පටන් ගෙන ඇත. සංචාරක කර්මාන්තය යනු සංකීර්ණ කර්මාන්තයකි. එයට දේශීය මෙන්ම විදේශිකයන්ද, හුදු විනෝදය තකා මෙන්ම අධ්‍යාපනය තකා සැරි සරන්නෝද අයත්වෙති. අපේ රට සැරසෙන්නේ මින් එක කොටසකට පමණක්යැයි මට සිතේ. එම කොටස දැනට තායිලන්තයට සිදුකර ඇති දේ අපේ රටට සිදු කරන්නට වැඩිකල් ගත නොවනු ඇත. රටේ වැඩිදෙනෙකු වෙළඳපොළ මත සියල්ල තීරණය විය යුතුය යන මතයේ සිටිති. සමහරක් දැ එසේ විය යුතුවුවද සමහරක් දැ එසේ නොවිය යුතුය. එය වෙනත් මාතෘකාවකි.

මේ දිනවල කඩුල්ල බැලූවිට මා ඉතාමත් ආශාවෙන් ගිය තැනක්වන පොළොන්නරුවෙහි පින්තූර දක්නට ලැබේ. ඒවා දු‍ටු මා අතීතයේ අතරමං විණි. අපගේ මුතුන් මිත්තන් මෙවැනි නිර්මාණ කරන්නට ඇත්තේ කිහිපවතාවක් සාදා කඩා බිඳදමා නැවත ගොඩනැගීමෙන් විය නොහැක. වාරිමාර්ග ව්‍යාපෘති, කළා කෘති, දැවැන්ත පිළිම සහ ගොඩනැගිලි සාර්ථක ලෙස ඉඳිකීරීමට, ඒවා සැලසුම් කිරීමට සහ වහල් සේවය යොදවා හෝ ඒවා ගොඩනැගීමට නායකත්වක්දීමට හැකි මිනිසුන් (හෝ පිට සක්වලින් පැමිණයියයන්) අපේ රටෙහි සිට ඇත.

එවැනි මිනිසුන් සිටිනවායැයි විශ්වාසය තිබු නායකයින් විශාල ව්‍යාපෘතිවලට අනුබල දී ඇත. අද අපට එවැනි නායකයින් නොමැත. අද මහා ව්‍යාපෘතිවලය චීන සැලසුම්කරුවන්, ඉන්ජිනේරුවන්, කම්කරුවන් පැමිණේ. රුසියාවෙන් පැමිණ තෙල් හාරනු ලැබේ. රටේ ඇති මිනිරන්වැනි ස්වාභවික සම්පත් හාරා කැබලිකොට පිටරටට විකිනනු ලැබේ.

ග්‍රැෆීන්

ග්‍රැෆයිට් සහ කාබන් නැනෝ ටියුබ්ස්

මිනිරන් (ඉංග්‍රිසියෙන් ග්‍රැෆයිට්) සෑදී ඇත්තේ මෙවර භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලද ග්‍රැෆීන් නම් රසායනික ද්‍රව්‍යයේ ස්තර එකමත එක තබා තැනෙන ත්‍රිමාණ ආකෘතියකිනි. වෙනත් වචනවලින් කියතොත්, මිනිරන්වලින් ග්‍රැෆීන් ස්තර වෙන්කළ හැක. ග්‍රැෆීන් රෝල්කර කාබන් නැනෝටියුබ්ස්ද, ග්‍රැෆීන් ගුලිකර ෆුලරීන්ද (බකියි බෝල්ස්ද) තැනිය හැක. මා මෙහි ලියා ඇතිපරිදි එය ලෙහෙසියෙන් කළනොහැකිවුවද ඒවා කිරීමට හැකියාව ඇති ශ්‍රි ලාංකිකයින් ඇත. වසර කිහිපයකට ඉහතදී කරනලද සමීක්ෂණයකින් 2009 වසරේදී ඩොලර් මිලියන 200ක්වන කාබන් නැනෝටියුබ් සඳහා ඇති ඉල්ලුම 2020දී ඩොලර් බිලියන 9ත් පසුකර යන බව කියැවේ. නමුත් එවැනිදේ අපගේ වෙළඳපොළ පඬිවරුන්හට පෙනෙන්නේ නැත. ඔවුනට අනුව ඇමෙරිකාව වැනි බටහිර රටවලින් ශ්‍රි ලාංකිකයින් නැවත පැමිණෙන්නේ ඇමෙරිකානු ආර්ථිකය කඩාවැටී ඔවුනට රක්ෂා නැතිවීම නිසාය.

පසුගිය වසර 15තුළ විද්‍යා උපාධිධාරීන් 30000ක්වත් අඩුම තරමින් අප රටෙහි බිහිවී ඇත. ඔවුනව මෙවැනි කර්මාන්තයකට යොමුකරගැනීමට අපහසුතාවයක් නැත. අපගේ විශ්ව විද්‍යාල තුළ විෂය නිර්දේශය “අලුත් වෙළඳපොළට හැඩගැසිය යුතුය”යන මතය දරනා පඬිවරුන්හට මේ දේය කිවහැකිය. ග්‍රැෆයිට් සහ දියමන්තිගැන ඉගෙනගෙන ඇත්නම් (සාමාන්‍යයෙන් උසස්පෙළට සහ විද්‍යා උපාධියේ පළමු වසරතුළදී මෙය ඉගෙන ගනු ලැබේ) ඉතිරිය තේරුම් ගැනීම අපහසුනොවේ. විශ්ව විද්‍යාලයක් යනු කුඩා දරුවන්හට හෝ හැට පැන්න නාකීන්හට කුක්කු පොවන තනපටක් නොවේ. විද්‍යා උපාධියක් හරිහැටි හදාරා ඇමරිකාවට, එංගලන්තයට, සහ අනෙකුත් රටවල් විශාල ගණනකට පැමිණ පශ්චාත් උපාධි හැදැරීමේ හැකියාවක් ඇත්නම් ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් ඔබහට සිදුවිය යුතු සේවාව ඉ‍ටුවී ඇත. විෂය නිර්දේශ වෙනස්විය යුතුනැත යන්න මින් අදහස් නොකරමි. වෙනස්විය යුත්තේ විශ්වවිද්‍යාලයට නොගිය නමුත් විශ්ව විද්‍යාල පාගාදමන්නට තැත්කරන්නන්ගේ උවමනාවටවත්, ගම්බදින් පැමිණෙන උපාධීධාරින් හට ‍රැකියාදීමට අකමැති ඉතා කුඩා කොටසක්වන කොළඹ ප්‍රභූ පෙළැන්තියටවත් ඇති උවමනාවට නොවේ.

එවැන්නන් පතුරවන මත්වාදයන්හී පැටලී සිටින විශ්ව විද්‍යාලවලින් බිහිවන්නද, සැබවින්ම රටේ සියල්ලන්ගේම උන්නතිය ගැන සිතන (අධ්‍යාපන ඇමතිතුමා කියන පරිදි වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට නොගිය) අයද, ඉතාකුඩා පිරිසකගේ උවමනාවන් මත වෙළඳ පොළ හැසිරවීමට ආණ්ඩුව පොළඹවන්නන් දෙස බලාසිටින කාලය අවසන්කළයුතුය. නව අදහස් ගලා ඒමට ඉඩදීමට සහ ප්‍රේමදාස රාමුවෙන් පිටතට ආණ්ඩුව පැන්නවීමට උත්සාහකළයුතුය. ජංගී මැසීම නවත්වා, ජංගි ගලවා දෙකට නැමෙන්නට සිදුකරන කාලයක් ගෙන එන නායකයින්ටද, අපගේ මිනිසුන්හට ඇත්තේ අග්ගලා ගුළිකිරීමේ සහ ගංජා සුරුට්‍ටු රෝල් කිරීමේ හැකියාවන් පමණක්යැයි සිතන නායකයින්ටද අතීතය මතක්කොටදී රට වෙනතකට ගෙනයාමට කාලය පැමිණ ඇත.

පින්තූර

http://www.hanwhananotech.com සහ http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html

Advertisements

ප්‍රතිචාර 12

Filed under අධ්‍යාපනය, ආර්. ප්‍රේමදාස, ආර්ථිකය, ඇඟලුම් කර්මාන්තය, කාබන් නැනෝටියුබ්ස්, ග්‍රැෆයිට්, ග්‍රැෆීන්, දේශපාලනික, මිනිරන්, විද්‍යා, විශ්ව විද්‍යාල, සංචාරක කර්මාන්තය, සමාජීය, සිංහල

12 responses to “දාගැබ් මහ වැව් බැන්දේ ඒලියන්ස්ලාය පුතේ

  1. arunishapiro

    නිර්මාණශීලී ලාංකිකයෝ ලංකාවේ අද දිනයේ ද ඉන්නවා. ඒ අය ස්ව උත්සාහයෙන් කටයුතු කරන කොටසක් නිසා, විදේශීය ආධාර නොලබා, දේශීය ගරු නම්බු නොසොයා තනිවම ජීවිකාවක් හොයන අය නිසා වැඩි ජනතාවක් හඳුනා ගන්නෙ නැහැ.

    මගේ නංගි උසස් පෙළ ඉවරවෙලා කරන්න දෙයක් නැතිව ඉන්න කොට මං එවිට සිටි වැන්කුවර් නගරය වෙත ගෙන්න ගත්ත. මගේ අතේ තිබිච්ච ශිෂ්‍යත්ව සල්ලියෙන් ඉතුරු කරගත්ත ටිකකින් එයාව ප්‍රමුඛ විලාසිතා නිර්මාණ පාසැලකට යැව්වා. මොකද එයාට ඊට දක්ෂතාවය හා ආසාව තිබුණු නිසා. අද ලංකාවේ ඉන්න එයා පිටරටින් එවන අකෘති මහන සන්නාලිනියක් වෙනුවට නිර්මාණ තමන් විසින් ම කරන, තමන්ගේ ම කියා ව්‍යාපාරයක් අයිති, අනිත් දෙතුන් දෙනෙකුටත් රස්සාවල් දෙන්න හැකියාව ඇති කෙනෙක්. එයා තනිකරම ඉදිරිපත් කරන්නෙ ලංකාවේ පාරිභෝජකයාට අවශ්‍ය දෑ පමණයි. පිටරට පටවන්න නෙමෙයි.

    නමුත් අප සමාජයේ ඇති සමහර දුර්මත නිසා එයාට ඇති ගෞරවය අනිත් රැකියා අයට ඇති ගෞරවයට වඩා අඩුයි. පවුලෙන්ම වුනත් එයාගෙ සපෝට් එකට ඉන්නෙ මම විතරයි!

    ඒ වගේම නුදුරු අනාගතයක මේ දුර්මත වෙනස් වන්නට ඉඩ ඇති ආකාරයක් පහුගියදා දැනගන්න ලැබුණ. ඒ. ටී. ආරියරත්නයන්ගේ දියණිය වන චාරිකා ආරියරත්න නැමති නීතිය උගන්වන මහාචාර්යවරියත් ඇයගේ සැමියා වන උපාලි මාරසිංහ නැමති සුප්‍රසිද්ධ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාත් තමන්ගෙ දියණිය සිංගප්පූරුවේ විලාසිතා නිර්මාණය ඉගෙන ගන්න පාසැලකට යැවූ බව දැනගන්න ලැබුණ.

    ලංකාවෙන් විලාසිතා නිර්මාණයේ ඉන්න අය ඉඳ හිටෙක පිටරට සම්මාන ලබා කීර්තියට පත්වෙලා තියනවා. නමුත් ඒ අය හයි ක්ලාස් අය අතර විතරක් ප්‍රසිද්ධිය ලබන්නෙ සමහර විට එයාල කරන නිර්මාණ අඳින්න පුළුවන් වෙන්නෙත් ඒ වගේම අයට පමණක් නිසා ද වෙන්නැති!

    කෙසේ වෙතත්, හෙමින් හෙමින් අපේ අයත් නැඟිටින්න උත්සාහයක් ගන්න නිසා රජය විසින් කරලා දෙනකම් බලා නොසිට අපි (පිටරට ඉන්න අය) ලංකාවේ අයට දැනුම, ධෛර්යය හා ගෞරවය අතින් යම් උදව්වක් දෙනවා නම් ඒකත් ලොකු දෙයක්. එතකොට පිටරටින් එවන ආකෘති නිමි බවට පත්කරන රූකඩ වෙනුවට ලංකාවටත් ස්ව නිර්මාණ බිහිකරන කට්ටියක් ලොවට දායාද කරන්නට හැකියි.

  2. අරුනි

    ඔබ හා එකඟ වෙමි නමුත් පසුගිය කාලයේ අපේ රටේ එකම ගැලවීම සංචාරක ව්‍යාපාරයයැයි කියමින් ලියූ කියූ පඬිවරුන්ට සමහර වෙළඳපොළවල් නොපෙනෙනේ ඔවුන් අපගේ රටේ මිනිසුන්ගැන දකිනා අයුරු නිසායැයි පෙන්වාදීමටයි මට අවශ්‍යවූයේ. රටේ ආර්ථික ප්‍රතිපත්තියට කෙළින්ම බලපෑම්කරන මෙම පඬිවරුන් අපගේ මිනිසුන්හට කළහැක්කේ අඩුකුසලතා (low skilled) වැඩ පමණක්යැයි සිතුවද සමහර පැරණි රජවරුන් එසේ නොසිතන්නට ඇතැයි මම සිතමි.
    ප.ලි.: තමන්ගේ නංගිට උදවුකරන්න අක්කා මිසක් වෙන කිසිවෙකුවත් සුදුසු නැතයිද සිතමි

  3. සන්චාරක කර්මානතය ගැන මටනම් තවම ලොකු බලාපොරොත්තුවක් නැහැ. සංචාරක ව්යාපාරය වැට කොටු ගසා සමාජ සන්සතාවෙන් ඉවත් කර, වෙලද කලාපයක් තුල පමණක් පැවැත්විය හැකි වියාපාරයක් නොවෙයී. සංචාරක කර්මාන්තය දියුනු වීමටනම් නීතීය සහ සාමය හෝ අවමවශයෙන් අනුමානකල (predictable) හැකි සමාජ සංස්තාවක් තිබිය යුතුයී. සන්චාරකයන් තවමත් “පුක හෝදන්නේ නැති පර සුද්දන්” මිසක සංචාරකයන්ට උසස් කොට සලකන්න, ඒ අයට අවංකවම සේවයක් සපයන්න හැකි ආකාරයේ සංස්කෘතියක් අපිට නැහැ.
    ඇමරිකාවේ මේ වෙනකොට හයීස්කූල් සමත් වූ ප්රමාණයට වඩා උපාදිය සමත් වූ ප්රමාණය වැඩියී. “අලුත් වෙලද පොල” තවදුරටත් පවතින්නේ දැනුම මත නොවෙයී. නිර්මාණශීලීත්වය මතයී. අහම්බෙන් නිර්මාණශීලී වුනු උදවිය ලංකාවේ ඇති බව සැබෑයී. ඒ සමහරු තවමත් ලංකාවේම ජීවත් වෙන බවත් සැබෑයී. නමුත් ඒ “කොකිස් අච්චුවෙන්” ලමුන් හදනා අද්යාපන ක්රමය නිසා නොවෙයී..

  4. කොලු

    සංචාරකයින්ගෙන් ඒක්තරා ආකාරයක සංචාරකයින් පමනක් ඇදගැනීමට දරන උත්සාහයක් ලෙස පෙනෙන්නේ එබැවිනි.

    කොකිස් අච්චුවෙන් හදනා අධ්‍යාපනය වෙනස්කිරීමට නම් මිනිසුන්ගෙන් හැකියාවන් ගැන විශ්වාසය තබන රටක් අවශ්‍යය.

  5. නවීන්

    මාත් පරිඝනක ඉන්ජිනේරුවරයෙක්.. මගේ යාළුවන් සියල්ලන්ම මේ දවස් වල ලංකාව ඇත හැර විදෙස් ගත වෙන්න උපරිම උත්සාහය ගන්නව..

    මේ අය යොදාගෙන හොද පරිඝන වැඩසටහන් නිර්මාණය කරානම් ලංකාවේ දියුණුව වැඩි ඈතක නෙවෙයි…

  6. @ නවීන්
    සමහරවිට ඔබ පුදුම වේවී. මමනම් ලංකාවට නැවත එන්න තමයි බලාපොරොත්තුව. ඒත් රට හැරයාම හෝ නොයැම යම් අයෙකුගේ අයිතියයි. ලංකාවේ දේශපාලන නායකයින්ට මෙන්ම ව්‍යාපාරික නායකයින්ට ඇස් ඇරවිය හැක්කේද අපටම පමණයි.

  7. I’m also in the IT field and I never leave our beloved motherland and contribute as much as possible to developement of country innovatively.

  8. ඉතාම වැදගත් හා කාලීන ලිපියක්…
    ලංකාවේ නිර්මාණශීලී අදහස් ඇති පුද්ගලයන්ගෙන් අඩුවක් නැහැ.නමුත් නව නිර්මාණ කරුවන්ට ඇති පෙලබවීම ඉතාම ශෝචනීයයි.අපේ රටේ පේටන්ට් බල පත්‍රයක් ලබා ගන්න විදින්න ඕන දුක දක්කකම නව නිර්මාණ කරුවන් බොහොම අධය්රමත් වෙනවා.එකට අවශ්‍ය පෙලබවීමේ අඩුවක් මම දකිනවා….

    කාබන් නැනෝ ටියුබ්ස්‌ ,බකි බෝල් ගැන ලොකු නෑ කමක් තියෙන පාඨමාලාවක් තමා material science and engineering .මොරටුව විශ්වවිද්‍යාලයේ හදාරන්න පුළුවන්.ලෝකයේ අනාගතේ ලොකු දුරක් අපි රැගෙන යන්න පුළුවන් නැනෝ තාක්ෂනය හා අපි සම්බන්ධ උනොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වේවි.රජයට ඇගිල්ල දික් කරනවා වගේම ව්‍යවසායකත්වය නැනෝ තාක්ෂනය හා සම්බන්ධ උනොත් අවශ්‍ය සම්පත් රටේම තියෙනවා….
    බොහොම ස්තුතියි…

    • Thank you very much

      මෙතෙක් කල් පිලිතුරක් නොදීම ගැන කනගා‍ටුවෙමි. නැවත ලංකාවට පැමින මාහට කල හැකිදෙයක් කිරීමට වෙරදරමින් සිටිමි. ඒගැනත් ලිවීමට ඇතිදෑ බොහෝවුවද ශ්‍රි ලාංකික ක්‍රමයට නැවත හැඩ ගැසීමට සටන් වැද ඇති බැවින් කාලවේලා හිඟවී තිබිණි. මෙම ලිපියේ දෙවැනි කොටස ලෙස මාගේ නව අත් දැකීම් ලිවීමට බලා පොරොත්තුවෙමි.

      • ලෝකයේ කාලෙන් කාලෙට ඇතිවන විවිධ නබුරුතා අනුව නැනෝ තාක්ෂනය අනාගත ලෝකයේ ගාමක තාක්ෂණයක් වනු නොඅනුමානයි.මෙය පරිගණක විද්‍යාව ඇති කල පෙරලිය මෙන්ම සුවිශේෂී පෙරලියක් කරනු ඇත. බුද්ධිය හා දැනුම සමග ව්‍යවසායකත්වය පදනම කරමින් රටේ රැකියා උත්පාදනයට නිෂ්පාදන ක්‍රියාවලිය යොමු වීමට කාලය එලඹ ඇත.මෙවැනි පසු බිමක් තුල ඔබගේ උත්සාහය අගය කරමි.
        සුබ පැතුම්…!!!

  9. ඔබ හා ඒකඟ ෙවමි. රටක සංවර්ධනය රට ෙකාන්ක්‍රිට් වනාන්තරයක් කිරීම යැයි සිතා සිටින බල්ලන් මරා ෙහා් ෙඩාලර් හම්බ කරන්න ෙපාර බදින අමන නායකයන් ෙත්රුම් ගත යුතුයි අාසියාෙව් අාශ්චර්්‍යයට කලින් ෙම් රට ෙපරදිග ධාන්‍යාගාරය බවට පත් වුෙන් කැසිෙනා් වලින් ෙනාව ස්වාභාවික කෘෂිකර්මාන්තය තුලින් බව ෙලාකයම ෙලඩ කරවන අාහාර ෙවනුවට ෙලාකයම සුවපත් කරවන ස්වාභාවික කෘෂිකාර්මික නිශ්පාදන ෙලාකයට දිය හැක. ඔබ ෙග් උත්සාහයට ජය ෙව්වා !!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )