පරිනාමවාදය තෙරුම්ගැනීම (ආගම නොව විද්‍යාව පදනම්කරගෙන) – re-bloging again with permission

මේ ලිපිය ඉදිරියේදී වෙනස්විය හැකිබැවින් (රචකයාගේ කාලවේලා සීමිත බව නිසා ඔහු විසින් ඉදිරියේදී ලිපියට අළුතින් කරුනු අඩංගු කිරීමට බලා පොරොත්තුවේ) අලුත්ම ලිපිය බැලීමට පහත සබැඳියාවට යන්න.

http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution

Understanding Evolution – Prasad

This post is a response to http://si.archaeology.lk/?p=1210 (මයෝසීන යුගයේ සිට මානව පරිණාමය)

ගවේශනය මත පදනම් නොවී, හුදෙක් ශ්‍රද්ධාව මත පිහිටා සිටිමින්, නූතන විද්‍යාවෙ ජෛව පරිණාම වාදයට (Theory of Evolution) එරෙහි වන ආගමික අන්තවාදීන් ගේ කඨොර ශබ්දය නිතර ඇසෙන මෙවන් වකවානුවක, පෘතුවියේ සහ ජීවයෙ ඉතිහාසය පිලිබඳ විද්‍යාත්මකව විස්තර කෙරෙන මෙවන් ලිපියක් (see the link above) ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. ඒ ලිපියට බොහෝ තුති!

ඉහත ලිපිය ගැන මට ඇත්තෙ ඉතා සුලු ඌන පූරනයක් පමනි. එම ලිපියේ ඇති පහත සඳහන් වැකිය වෙනස් ආකාරයකට ලියවුනේ නම් ඉතා අගනේය.

/* … ඔවුන් නූතන මානවයා දක්වා පරිණාමය වූ ආකාරය…*/

ඉහත වාක්‍යයෙන් සහ ඉහත ලිපියේ අග කොටසේ ඇති සමහර වාක්‍ය වලින් ගම්‍ය විය හැකි එක් වැරදි අදහසක් නම්, ජෛව පරිණාමයෙ අවසන් අනර්ග ප්‍රතිපලය මිනිසා (homo sapiens sapiens) බවයි.

මිනිසා මෙන්ම, හැලි වඳුරාත්, ගල් ඉබ්බාත්, ගස් ගෙම්බාත්, කුම්බාලවාත්, පසැඟිල්ලාත්, ඇමීබාවාත්; අද දවසෙ අපගේ පරිසරය අප සමග බෙදා හදා ගන්නා සියලු වර්තමාන සත්වයෝත්, වසර බිලියන ගනනක පරිණාමයෙ ප්‍රතිපලවේ. මිනිසා මෙන්ම මේ සියලු සත්වයෝ තම තමන්ගේ පරිසර පද්ධති වල වර්තමාන තත්වයන්න්ට ගැලපෙන සේ මනා ලෙස හැඩ ගැසුන අංග සම්පූර්න සත්වයෝ වෙති. මිනිසා ඔවුන් අතරින් විශේෂ වන්නේනම්, ඒ මෙවා ලියන ඔබත් මමත් මිනිසුන් වීම නිසා පමනි. “අංගසම්පූර්න සතුන්” යන යෙදුමෙන් මා අදහස් කලේ, මෙම සතුන් වර්තමාන පාරිසරික තත්වවලට කදිමට ගැලපෙන බව මිස, එම සතුන් පරිණාමයවී අවසන් බවක් නොවේ. පරිණාමය යනු දැන් “අවසන්වී” ඇති දෙයක් ලෙස වැරදි අදහසක්ද වේ. මා කීමට උත්සාහකල වැදගත් දෙය නම් මිනිසා පරිණාමයේ “අග්‍ර ඵලය” සහ සෙසු සතුන් යනු පරිණාමයේ අතුරුපල ලෙස හඳුන්වන අර්ථකතනය ජෛව විද්‍යාත්මකව වැරදි බවයි. “පරිණාමිකව, සියලු සත්වයෝ එක සමානයෝය.”

එක්තරා කාල සීමාවකදි පැවතුන පරිසර තත්වයන්ට සරිලන ගුනාංග තිබුනද, කාලයෙ ඇවෑමෙන් වෙනස් වූ පරිසර සාධක සමග පැවත්මට නොහැකිවූ නිසා අප අතරින් වියෝ වූ බොහෝ සත්ත්ව විශේෂ වෙති. මෙම වාක්‍යය කියන විටම ඩයිනසෝරයන් මතක් වුවද, එතරම් ඈත කාලවල නොව, මෑත ඉතිහාසයෙ මිනිසුන් දන්නා, දැක ඇති, ෆොටො පවා ගෙන ඇති, තස්මේනියානු ව්‍යාඝ්‍රයා[1] (Tasmanian Tiger) මෙන්ම, අපි වැඩිපුර ගනන් නොගන්නා ගෙම්බන්, මාලුවන්, කෘමීන් සත්ත්ව විශේෂ දිනපතා (මෙය ලියන මොහොතේද) සදහටම වඳවී යයි. අද දවසෙ පරිසරට ගැලපෙන සතා හෙට දවසේ තත්වයන් නිසා ඊට නොගැලපීමට ඉඩ ඇත. ප්‍රශ්නය වන්නෙ අද/හෙට යනුවෙන් කියන මේ තත්ව ඇත්තටම අවුරුදු සියදහස් ගනනින් මැනීමට සිදුවන නිසා, පරිණාමය යනු අපෝහනය කලයුතු සංසිද්ධියක් මිස, කෙටි කලක් තුල නිරීක්ෂනය කල හැක්කක් නොවීමයි. එනමුත් “ස්වභාවික වරනය” (Natural selection) නම් කෙටිකලක් තුල එතරම් සංකීර්න නොවන සතුන් අරභයා නම් නිරීක්ෂනය කල හැකිය. සංකීර්න සතුන් සම්බන්දව “පරිණාමීය” වෙනස්කම් හා අලුත් සතුන් ඇතිවීමනම් (speciation)  “මේ කපේදී” නිරීක්ෂනය කල නොහැක්කකි.

පරිණාමය යනු එදත් අදත් හෙටත් දිගටම සිදුවන, ඉතා සරල සංකල්ප කිහිපයක් ඉවසීමෙන් අවබෝධ කරගත් විට, ඔනෑම කෙනෙකුට ලේසියෙන් පසක්වන, ස්වාභාවික සංසිද්දියකට ඩාවින් සහ ඔහුගෙ සංකල්පය වැඩිදියුනු කල පසුකාලීන විද්‍යාඥයන් දුන් නමක් පමනි.

අප මේ පරිණාමය ගැන ලියන කියවන මොහොතේද, අප වටා ඇති සමස්ත ජෛව පද්ධතියම, පරිණාමය වෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ අග්‍ර පලය homo sapiens sapiens නොවේ, හැලි වඳුරාත් නොවේ, ගල් ඉබ්බාත් නොවේ.

අද අප මිනිසාගෙ ‘සතෙක් වශයෙන්’ වැදගත් කම මනින මිමි අනුව ගත්කල ජෛව ඉතිහාසය තුලද අපට වඩා “හොඳ” සතුන් අඩුම වශයෙන් එකෙක් හෝ සිටි බවට සාධක ඇත. නියන්ඩ්‍රතාල් මානවයා වර්තමාන මිනිසාට වඩා ශරීර නිර්මායෙන් “හොඳ” (‘good’ is a very relative term) බවට පොසිල සාධක ඇත. මොලයෙ ප්‍රමානය ගත්කල එය වර්තමාන මිනිසාට වඩා තරමක් ලොකු බවත් පෙනේ. අවාසනාවට නියන්ඩ්‍රතාල් වරුන් සහ සේපියන් වරුන් එකම පරිසර පද්ධතියේ එකම සම්පත් පරිබෝජනය සඳහා තරඟ කල සතුන් වූහ, මෙම සටනින් සේපියන්වරු ජයගත්තේ නියන්ඩ්‍රතාල් වරුන්ට වඩා සේපියන්වරු ආක්‍රමනශීලි වු නිසා බව කියැවේ.

සඳහන් කල යුතු තවත් වැදගත් කරුනක් නම්, ආක්‍රමනශීලිත්වය, රලු පරලු බව යනු ස්වභාවික වරනයේදී විශෙෂ ධනාත්මක-හැකියාවක් ලෙස සඳහන් වීම හැමවිටම නිවැරදි නැති බවයි. ජීවියා (Oraganism) කේන්ද්‍ර කොටගත් ඩාවින් මොඩලයට වඩා සාර්ථක ලෙස පරිණාමය විස්තර කිරීමට රිචර්ඩ් ඩොව්කින්ස් (Richard Dawkins) ප්‍රමුක විද්‍යාඥයන් ප්‍රචලිත කල “ජානය” කෙන්ද්‍ර කොටගත් මොඩලයට (Gene centric model of evolution) හැකිවී ඇත. ආදරය, කරුනාව, සහජීවනය, පරාර්ථකාමය යන “මානව” ගුනාංග ස්වභාවික වරනයෙදී හොමෝ සාපියනස් වරුන් ඇතුලු තවත් බොහෝ සතුන්ට ධානාත්මකව බලපෑවෙ කෙසේද සහ එම ගුනාංග අපගේ ජානගත “හැකියාවන්” බවත් මෙහිදි විස්තර කෙරේ.

මගේ මෙම සටහන මෙතනින් අවසන් නැත. කාල වේලාව ලැබෙන විටක මෙම ලිපියට අලුතින් කරුනු එක්කිරීමට බලාපොරොත්තු වෙමි.

ප.ලි. :

[1]. Tasmanian Tiger යන්න “තස්මෙනියානු කොටියා” ලෙස නොව “තස්මෙනියානු ව්‍යාඝ්‍රයා” ලෙස පරිවර්තනය කලේ ඇයිදැයි ඔබට ප්‍රශ්නයක් නැගුනේ නම්, ඊට හෙතුව මෙතැනින් බලා දැනගන්න. -> http://en.wikipedia.org/wiki/Kotiya

[2] වත්මන් මිනිසා නියන්ඩ්‍රතාල් මානවයා ගෙන් පැවත එන බවට වැරදි අවබෝධයක් සමහර දැන උගත් පුද්ගලයන් අතර පවා තිබෙන්නේ කුමක් නිසාද යන්න ඔබට මේ ලිපිය කියැවූ පසු පසක්වූයේ නම්, මගේ ලිපියේ අරමුනු එකක් අතිසාර්ථක වී ඇත. හෝමො සේපියන්ස් ගනයේ නොවන, ආදිවාසි මානවයන් ගැන කියැවෙන විටම අපට සිතෙන්නේ “ඔය කියන්නෙ අපට පෙර සිටි පරිණාමිකව “නොදියුනු” වඳුරෙක් ගැනයි” යනුවෙනි. “හෝමො සේපියන්ස් සේපියන්ස්” යනු පරිණාමයෙ අවසන් අග්‍රඵලය බවට සිතා සිටින අහංකාර උද්දච්ඡ බව ඊට හේතුවයි. පරිණාමීය ගසේ කිසිම තැනෙක සිටි සහ සිටින සතෙක් “නොදියුනු” සතෙක් නොවේ. අද දවසෙ පරිසර තත්වයන්ට ගැලපෙන සේපියන්ස් මිනිසා මෙන්ම, ඊට පෙර සිටි මානවයන්ද එදා දවසේ පරිසර තත්වයන්ට ගැලපුන “දියුනු” සත්වයන් වූහ.

නියෙන්ඩ්‍රතාල්වරුන්ගෙන් අපි පැවතනොආවද, පරිණාමීය ගසේ නියෙන්ඩ්‍රතාල්වරුන්ට සහ අපිට පොදු මුතුන්මිතෙක් සිටි බවට සැකනැත. සේපියන්වරු සහ නියෙන්ඩ්‍රතාල්වරු යනු දේපල සඳහා ගහ මරාගත් ලඟ ඥාතීන් වේ.

ඒ දවස් වල සිටි මානවයන් පරමාණු බලාගාර නොතැනූ බව සබෑය. එක වෙනම කතාවකි. තව අවුරුදු 250,000කට පසු අලුත්ම බලශක්ති ප්‍රභවයක් සොයගන්නා ඉදිරි දවසේ මානවයන් (සේපියන්ස්ලා නොවේ), ගින්දර භාවිතය සොයාගත් මුල්ම මානවයාට අපි අද දවසෙ දක්වන සැලකිල්ලට වඩා වැඩි සලකිල්ලක් පරමාණු බලාගාර තැනූ සේපියන්ස්ලාට දෙනු ඇති. ඒ අධ්‍යාත්මිකව ඔව්න් අපට වඩ ඉදිරියෙන් සිටිනු ඇති බැවිනි.

සේපියන්වරු යනු පරිණාමීය ගසේ එක් අත්තක ඉන්නා සංකීර්නම සහ බුද්ධියෙන් වැඩි සත්වයෙක් බව සැබෑය. පරිණාමීය ඉතිහාසයෙ “රන් අකුරින්” ලියැවෙන ප්‍රථමයක් ඔවුන්ට හිමිවී ඇත. එනම් තමන් වාඩිවී සිටිනා පාරිසරික තාප්පයට තමන් විසින්ම “කෙලවාගෙන” (“කෙලියා නේද පින්වත තාප්පෙට!”) වඳවී යාමෙ හැකියාව ලැබූ ප්‍රථම සත්ව කොට්ටාශය ඔවුන් වීමයි.

මෙවා ලියන මාගෙ මේ ව්‍යායාමය, කවදා හෝ දවසක අපි තාප්පයට කෙලවා ගැනීමෙ අවදානම අඩු කිරීමෙ පරම පවිත්‍ර චෙතනාවද, නින්ද නොයැමේ රෝගයද (insomnia) මිශ්‍රවීමෙන් තැනුනකි.

සමහර අදහස් මා සොරාගත් තැන්

වැඩිදුර කියැවීම්

වැඩිදුර නොයන නොකියැවීම්

විරුද්ධ සංකල්ප ඇත… ඒවාද කියැවීම යෙහෙකි. ඉහත සඳහන් “නොකියැවීම්” වලින් පහත සඳහන් කියැවීම් වෙනස් වන්නෙ “නොකියැවීම්” වල ඇත්තෙ එල්බගත් මතාවද (Dogma) පමනක් වීමය.

Read the opposite views too when they make sense

Disclaimer:

මම රිචර්ඩ් ඩොව්කින්ස් සරන නොගියේ වෙමි! නමුත් ඔහු වෙනුවෙන් කඩේ යමි.

බොහෝ පුද්ගලයන් ආගමික වන්නේ මක් නිසාද? ජීවිතය සහ අප වටා ඇති සියල්ල ගැන අපට පැහැදිලි උත්තර නැත. විද්‍යාව මෙම කෘතිම ප්‍රශ්න වලට උත්තර නොදෙයි. විද්‍යාව යනු දැනුම සහ නොදනුම අතර මායිමෙ සිටිමින් දැනුම ගොඩ නගන එක් ක්‍රමවෙදයක් පමණි. උත්තර නැති ප්‍රශ්න මිනිසා භීතියට පත්කරයි. රෑට නින්ද නොයයි. හෙට මට වන්නෙ කුමක්ද? මගෙ අඹු දරුවන්ට නරකක් වෙයිද? මා මල පසු සොහොන් කොතේ කවුරුන් හෝ දුක් ගීයක් ලියයිද? උත්තර නැති මේ ප්‍රශ්න සමග ජීවත්වීම අසීරුය. බිය දැනෙයි. දාඩියද දමයි. කුමක් හෝ පිලිතුරක් අත්‍යාවශ්‍යයි. වැඩිය නොහිතන හෝ හිතන්නට කාලවේලා නැති අය, සරල ආගමික වත් පිලිවෙත් මගිනුත්, තරම්ක් හිතන අය ආගමික දර්ශනවාද මගිනුත් ලබා ගන්නේ මේ සැනසීමයි. තම ආගමික දර්ශනවාද විද්‍යාව සමග සසඳා කිරා බැලීමත්, විද්‍යාවෙන් ආගමික දර්ශනවාද ඔප්පු කිරීමේ උත්සාහයත්; අනෙක් අතට විද්‍යාව යනු හිස් සංකල්ප ගොඩක් බව පවසමින් තම ආගමික දර්ශනය ඔසවා තැබීමත් එකම කාසියෙ දෙපැත්ත වේ. මේ දෙකම නොදන්නාදේ පැවතීමේ භීතිය මැඩ ගැනීමට කරන දේය.

උත්තර නැති මේ ප්‍රශ්නවලට එදා පටන්ම (මානව ඉතිහාසයේ අපි දන්නා මුල සිටම) උත්තර දුන්නෙ ආගමයි. වඩාත් නිවැරදිව කියනවානම් පූජකයායි (සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව-වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය). පූජකයාගෙන් අසා, නොදන්නා ප්‍රශ්නවලට උත්තර සොයා දැනගෙන, ටීවී එක බලා, පාන් කාලක් කා නින්දට යන අහිංසක පුද්ගලයන්ගෙන් කාටවත් හිරිහැරයක් නැත. ඔවුන් සඳහා සේවය කිරීමට සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, හිටි-ගමන්-ආවේස-වී-දේව වරම්-ලබන-අල්ලපු-ගෙදර-ස්ත්‍රිය (from here onwards known as hidevage) යන සියල්ලත්; ඔවුන්ගෙ පැවත්ම සහතික කරන ආගමික ආයතනත්; මේ සමාජයේ පැවත්මට අති මහත් සේවාවක් කරයි. (ඔවුන් නොමැතිව මැරුනහම පාංසුකූලයක් දෙන්නේ, අවසන් ආලේපය කරන්නෙ, මලගිය ප්‍රානකාරයන් අප පසුපස විත් කරදර කරන විට ඒ මල පෙරේතයන්ට අවශ්‍ය අඩුම කුඩුම දී, පිරිතක් කියා, දේවාශීර්වද ලබා, මල පෙරේතයන් එලවා දමන්නේත්, විභාග පාස් වෙන්නට, රැකියාවක් ලබාගැනීමට, විවාහය ඉක්මන් කර දෙන්නට බෝධි පූජා කර දෙන්නේත් වෙන කවුද?)

සාධුවරයා, හාමුදුරුවො, ලෙබ්බෙ, පාස්ටර්, කපුවා, යකැදුරා, hidevage යන අයගෙන් නොදන්නා කරුනු අසා දැනගන්නා අහිංසක පුද්ගලයන් ගෙන් කාටවත් කරදරයක් හානියක් නැත. එනමුත් තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා “ඉන්ටලෙක්චුවල්” ප්‍රබුද්ධයන් තරමක් භයානකය.

පරම සත්‍යය ඇත්තෙ මෙතැනයි. මෙන්න පොත! මෙතැන ඔක්කොම විස්තරකර ඇත. අපි මේකෙන් කොපි මෙච්චර විකුනලා ඇත. මේක දෙවියන් (වහන්සේ) විසින් කෙලින්ම ආවේසවු පුද්ගලයන් හරහා ලියවා ඇත, අපෙ ශාස්තෘවරයා විසින් වදාල; අච්චර, මෙච්චර කාලයක් මුඛ පරම්පරාගතවද, ඉන්පසු පුස්කොල පොත් පරම්පරගතවද, දැන් නවීන තාක්ෂනයෙන් මුද්‍රනය කොට, හාර්ඩ් කවර් (hardcover) වර්ශියන් එකෙන්ද ඇත! මේ විදිහෙ මාර්කටින් සහිතව පරම සත්‍යයෙ නොයෙකුත් වර්ශියන් විකිනේ.

ඩොව්කින්ස් තම ජාන කේන්ද්‍රිය පරිණාම මොඩලය හරහා අපට දෙන්නෙ පරම සත්‍යය සොයන, භීතියට පත් අපගෙ “ඉන්ටලෙක්චුවල්” මොල වලට සරිලන ඉක්මන් පිලිතුරු සමූහයකි. තමන් විසින් විග්‍රහකොට ආගමික දර්ශනවාද ඇසුරෙන් අලුත් දැනුම් ගොඩනගනා “ඉන්ටලෙක්චුවල්” ප්‍රබුද්ධයන් භායනක කතා කියති. නවීන විද්‍යාව මානව ප්‍රශ්න විසඳා නොමැති බවත්, පරිණාමවාදය පාසැල් පොතින් ඉවත් කල යුතු බවත්, මානව සංහතියට විනකරන අදහස් සහිත රාජ්‍යයන්ට ඉහලින් ගොස් පරමානු බෝම්බ දැමිය යුතු බවත්, මගීන් පිරුන ගුවන් යානා පැහැරගෙන ඒවා මිනිසුන් පිරුනු ගොඩ නැගිලි තුලට පැදවිය යුතුබවත්, මේ අදස් වලින් සමහරකි. ඩොව්කින්ගෙ මතවාද එසේ භයානක නොවේ

භයානක ආගමික දර්ශන හරහා ගොඩ නැගෙන දැනුම් (knowledge systems) සහ හර පද්ධතීන්ට (value systems) වඩා, ඩොව්කින්ස්ගෙ ජාන කේන්ද්‍රිය මොඩලය හරහා ගොඩ නැගිය හැකි නිර්-ආගමික (secular) හර පද්ධතිය මට පෙනෙන හොඳම විසඳුමයි. ඩොව්කින්ස්ගේ ජාන කේන්ද්‍රීය පරිණාම මොඩලය පුරවන හිස්තැන නම් මෙයයි. ඩොව්කින්ස් කර ඇත්තේද, සංකීර්න හේතු සමුදායක් සරල තනි හේතුවකට ඉක්මනින් ඌනනය කොට, අර ආගමික දර්ශනවාද හරහා සත්‍යය සොයන නොඉවසිලිමත්, භීතියටපත් මොලවලට ගැලපෙන reductionist approach එකක් බවත් ඔහුගෙ තර්කය ඩාවින්-මූලධර්මවාදයක් බවටත් සමහරු කරන චෝදනාවට මම (අකමැත්තෙන් නමුත්) යම්තාක් දුරට එකක වෙමි. එබැවින් මම  රිචර්ඩ් ඩොව්කින්ස් සරන නොගියේ වෙමි! නමුත් ඔහු වෙනුවෙන් කඩේ යමි. ඒ සියලු සත්වයන්ගේ හිත සුව පිනිසය. බහුජන හිතාය, බහුජන සුඛාය!

නොයෙකුත් අදහස්, ආකල්ප හා අවශ්‍යතා සහිත මිනිස් සමූහයාත්, හැලි වඳුරාත්, ගල් ඉබ්බාත්, ගස් ගෙම්බාත්, කුම්බාලවාත්, පසැඟිල්ලාත්, ඇමීබාවාත්, අපේ සිවිලිමට නැග, ශබ්ද කරමින් දඟලමින් සිට්නවාට අමතරව හිටිගමන් පහලට වැක්කෙරෙන්නට මුත්‍රා කරන, දවාලක හමුවුනේ නම් මැරෙන්නට පොල්ලකින් ගහන්නට රෑට සිතෙන (නමුත් දවාලට එහෙම ප්‍රානඝාත නොකරමි ) උගුඩුවාත් (Asian Palm Civet), නිවාඩු දවසකවත් උදේට නිවීසැනසිල්ලෙ නිදා ගැනීමට නොදී, උදේ පාන්දරම ලවුඩ් ස්පීකර් දමන, දවාලක වැඩියේ නම් තට්ටය පැලෙන්නට දෙන්න හිතෙන (දවාලට එහෙම අකුසල කර්ම නොකරමි) අපේ පංසලේ හාමුදුරුවෝත් (Sri Lankan Buddhist Monk), දවසකට හත් අට වතාවක් උපරිම ශබ්දයෙන් ලවුඩ් ස්පීකර් දමන පල්ලියේ ලෙබ්බේත් (Naturalized Middle-eastern Imam) , මග දිගට වෙට්ටු දමා කාර්යාලයට යන ගමන එපා කරවන, නමුත් රෑ කල කාර් එක කැඩී මහ පාරෙ අතරමන් වූ විට, ලඟට විත් උදව් කොට, මුදල් ගන්නෙත් නැතුව ගරාජ් එකක් කරා රැගෙන යන නාඳුනන ත්‍රී-වීල් මල්ලිලාත්; (Homo sapiens sapiens thrishawdrives).ඇතුලු මෙකී නොකී සියලු සත්වයෝ සමග ලෝකයෙ කුඩා ඉඩ බෙදා හදාගෙන ඉන්නට හැකි ක්‍රමයක් ලෙස නිර්-ආගමික හර පද්ධතිය අගයමි. මට වැරදී ඇත්නම් නොදන්නා කමට කමත්වා.

Advertisements

ප්‍රතිචාර 4

Filed under අධ්‍යාපනය, ආගමික, පරිණාමවාදය, විද්‍යා, සිංහල

4 responses to “පරිනාමවාදය තෙරුම්ගැනීම (ආගම නොව විද්‍යාව පදනම්කරගෙන) – re-bloging again with permission

  1. Actually article has already changed a bit in its original location. I corrected a few mistakes as well. For example it is not correct to say that Neanderthals had bigger brains than modern humans. I found that I was mistaken after reading few other sources. Neanderthal brain size is said to be equal to modern humans but was bigger than their contemporary Homo Sapiens (modern humans are Homo Sapiens Sapiens)

  2. Added and changed more content in the original article. Here is an example of such additions:

    පරිණාමය යනු එදත් අදත් හෙටත් දිගටම සිදුවන, ඉතා සරල සංකල්ප කිහිපයක් ඉවසීමෙන් අවබෝධ කරගත් විට, ඔනෑම කෙනෙකුට ලේසියෙන් පසක්වන, ස්වාභාවික සංසිද්දියකට චාර්ල්ස් ඩාවින් සහ ඔහුගෙ සංකල්පය වැඩිදියුනු කල පසුකාලීන විද්‍යාඥයන් දුන් නමක් පමනි. “පරිණාමවාදය මම නොපිලිගනිමි” යන ප්‍රකාශය කරන බොහෝ දෙනෙක් එසේ කරන්නෙ ශ්‍රද්ධාව මත පදනම් වූ සිය ආගමික මතයක් සමග පරිණාමවාදය නොපෑහෙන නිසාය. මෙම ප්‍රකාශයේ ඇති මූලික වරද නම්, ඔවුන් විද්‍යාවෙ ඇති සමහර “වාද” පිලිගැනීමටත්, ශ්‍රද්ධාව සමග ගැටෙන “වාද” පමනක් “මම නොපිලිගනිමි” යයි පැවසීමත්ය. ‘පරිණාම වාදය’ මොඩලය ගැන විවේචනය කරන්න ව්ද්‍යාව තුල කිසි බාධාවක් නැත. ව්ද්‍යාත්මක ක්‍රමවේදය තුල සිටිමින් ‘පරිණාම වාද’ මොඩලයෙ අඩුපාඩු ප්‍රශ්න කිරීම ඉතා හොඳ වැඩක්. ඊට වඩා හොඳ මොඩලයක් ඇත්නම් ඉදිරිපත් කිරීම ඊටත් වඩා හොඳ වැඩක්. හැබයි යමෙකුගේ ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමවේදයට වඩා වෙනස් නම්, තෝරාගත් විද්‍යාත්මක “වාද” කිහිපයක් හෝ විද්‍යාත්මක මොඩල කිහිපයක් හෝ විවේචනය කිරීමෙන් පලක් නැහැ. ඒ වෙනුවට ඔවුන්ට විද්‍යාත්මක ක්‍රමවේදය විවෙචනය කරන්න පුලුවන්. (question the methodology of creating knowledge itself, rather than models created using the methodology).

    පලමුව අවබෝධ කලයුතු සත්‍යය නම් විද්‍යාව තුල ඇත්තේ “සත්‍යයන්” නොව “මොඩලයන්” බවයි. විද්‍යාවෙ “දැණුම” සාපෙක්ෂ දනුමකි. විද්‍යාවෙ ඇති මොඩලයන් එම මොඩලය ඉදිරිපත් කල පුද්ගලයාගෙ සංස්කෘතියට සාපෙක්ෂ වේ. මේක වටහාගැනීම්ට සිංහලෙන් ලියවී ඇති මා දන්නා හොඳ පොතක් ඇත. ඒ නලින් ද සිල්වා ඇදුරු තුමා ලියූ “මගේ ලෝකය”. හැබැයි ඔබ නලින් ද සිල්වා ඇදුරුතුමා ලියූ පොත් කියවීම ‘මගේ ලෝකයෙන්’ නතරකරනවා නම් හොඳයි. ඒ එතුමා ඉන්පසු දර්ශනය සහ දේශපාලනය කලවම් කොට සෑදු ‘චින්තනය’ තුල ‘විද්‍යාව’ සාධාරන සාකච්ඡාවකට ලක් නොවීම නිසාය.

    විද්‍යාත්මක මොඩල තෙරුම් ගැනීමේදී පහත ඇති සරල නමුත් ඉතා වැදගත් සංකල්පය තෙරුම් ගත යුතුයි. පොල්ගෙඩිය කඩා අතහැරිය විට එය බිමට වැටෙන්නෙ ‘ගුරුත්වාකර්ශනය’ නිසාද? නැත! පොල්ගෙඩිය ඇතුලු ඕනෑම කෙංගෙඩියක් අතහැරිය විට බිමට වැටෙන නිසාය. ‘ගුරුත්වාකර්ශනය’ යනු මේ සංසිද්ධිය විස්තර කිරීමට තනාගත් විද්‍යාත්මක මොඩලයයි. ගුරුත්වාකර්ශනය නිසා පොල්ගෙඩි බිමට නොවැටේ. පොල්ගෙඩි බිමට වැටෙන නිසා ගුරුත්වාකර්ශනය මොඩලය විද්‍යාව තුල බිහිවේ.

    ජීවීන්ගේ සම්භවය, වරණය, අලුත් ජීවින් ඇතිවීම සිදුවන්නෙ ‘පරිණාමවාදය’ නිසාද? නැත! පොල්ගෙඩිය බිමට වැටෙනවා බලා සිටිනවා මෙන් ගෙදර හාන්සිපුටුවේ සිට නිරීක්ෂනය කල නොහැකි වුවද, ක්ෂෙත්‍රය තුල දැනට පවතින සාධක අනුව ජීවීන්ගේ සම්භවය, වරණය, අලුත් ජීවින් ඇතිවීම වැනි ක්‍රියාවලියක් මිහිමත සිදුවී ඇත. ‘පරිණාමවාදය’ යනු එම අපූරු සංසිද්දිය විස්තර කිරීමට විද්‍යාව තනාගත් මොඩලයයි. ඩාවින් මෙම මොඩලය ඉදිරිපත් කල අතර, බොහෝ දෙනෙක් ඉන්පසු එය වැඩිඩියුනු කොට මටසිලිටු කලහ.

    “මම පරිණාමවාදය පිලිගන්නේ නැත” යන ප්‍රකාශය ඔබ කලොත්, ඔබ ඇත්තටම කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියා තවදුරටත් ප්‍රශ්නකිරීමට සිදුවේ. ඔබ පිලිනොගන්නේ ජීවීන්ගේ සම්භවය, වරණය, අලුත් ජීවින් ඇතිවීම වැනි ක්‍රියාවලියක් මිහිමත සිදුවී ඇති බවට ඇති සාධකද? එසේ නොමැතිනම් එම ක්‍රියාවලිය විස්තර කිරීමට ඩාවින් තනාගත් මොඩලයද? ඔබගේ ප්‍රකාශය පහත ඇති සමාන ප්‍රකාශ සමග සසඳා බලන්න.

    (a) මම පොල්ගෙඩි අතහැරිය බිම වැටෙන බව විශ්වාස නොකරමි
    (b) පොල්ගෙඩි බිමවැටේ. නැමුත් එය නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශන මොඩලයෙන් හරියට විස්තර නොකෙරේ.

    ඇල්බර්ට් අයින්ස්ටයින් යනු (b) ප්‍රකාශය කල කෙනෙකි. ඔහු පොල්ගෙඩි බිම වැටෙන බව පිලිගත්තේය, නමුත් බුද ග්‍රහයාගේ අමුතු කක්ෂය නිව්ටන්ගේ මොඩලයෙන් විස්තර නොවන බවත් දැනසිටියේය. ඔහු අලුත්ම මොඩලයක් ඉදිරිපත් කලේය. එම මොඩලයෙන් බුද ග්‍රහයාගෙ අමුතු කක්ෂය පමනක් නොව, මයිකල්සන් සහ මොරෙලි පරීක්ෂනය විසින් පෙන්වාදුන් “ආලෝකයෙ සාපෙක්ෂ ප්‍රවේගය නිරීක්ෂකයාගෙ ප්‍රවේගයෙන් ස්වයායත්ත වනබව” (මෙය නිව්ටන් මොඩලය තුලදී උභතෝකොටික ප්‍රශ්නයකි) ද විස්තර කලේය.

    අයිසැක් නිව්ටන් ගේ ශ්‍රාස්ත්‍රීය භෞතික මොඩලයෙන් (classical mechanics) බුද ග්‍රහයාගෙ කක්ෂය, මයිකල්සන්-මොරෙලි පරීක්ෂනයෙ ප්‍රතිපල, වැනි දෑ විස්තරකල නොහැකි විය[2]. එපරිද්දෙන්ම, ජීවින්ගෙ ඉතිහාසය පිලිබඳ අප දන්නා සමහර දේ චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදී මොඩලයෙන් හරියාකාරව විස්තර නොවේ. මෙයින් ඩාවින් මොඩලය “බොරු” නොවේ. එහි නිරවද්‍යතාවය (accuracy) ජීවයේ සම්භවය සම්බන්ද අපි දන්නා සියලු දේ විස්තර කිරීමට ප්‍රමානවත් නොවන බව පමනක් කියවේ. විද්‍යාව තුල “ඇත්ත/බොරු” නැත. එහි ඇත්තේ නිරවද්‍යතාවය පිලිබඳ continuum එකක් පමනි. මෙම නිර්වද්‍යතා පරාසය (continuum of accuracy) තුල ඩාවින් මොඩලය ඉතා ඉහල තලයක තිබෙන බව පමනක් අපිට කිවහැක.

    නිරවද්‍යතාවය සීමිත බව අපට ඇස්පනාපිට පෙනෙන්නට තිබියදී පවා විද්‍යාත්මක මොඩලයකින් ප්‍රයෝජන ගැනීම නතරනොවේ. නිව්ටන් මොඩලයට වඩා නිරවද්‍ය අයින්ස්ටයින් මොඩලය ස්තාපිතවී දශක ගනනාවකට පසුව කල ඇපලෝ සඳ චාරිකා වල ගමන්මග ගනණය කිරීම් (trajectory calculation) සඳහා නිව්ටන් ගේ සමීකරන භවිතා කල බව කියැවේ. නිව්ටන්ගෙ සමීකරන වලින් ලැබෙන උත්තරවල වැරද්ද සඳ චාරිකාව වැනි කටයුත්තකදී ප්‍රශ්නයක් නොවේ. ඇපලෝ-11 චාරිකාවෙදී සඳ මතට ගොඩබැස්වූ ඊගල් මොඩියුලය (eagle module), අන්තිමට සිදුවූ වෙනත් ප්‍රශ්නයක් නිසා, බලාපොරොතු ස්තානයට සැතපුම් ගනනක් ඈතින් ගොඩබෑ බව කියවේ. එහම තිබියදී නිව්ටන් සමීකරනයෙන් වෙන මීටර කිහිපයක වැරද්ද ප්‍රශ්නයක් නොවේ.

    බුද ග්‍රහයාගෙ කක්ෂය, මයිකල්සන්-මොරෙලි පරීක්ෂනයෙ ප්‍රතිපල, වැනි දෑ නිව්ටන්ගේ කාලයේදී නිව්ටන් දැන සිටියේ නැත. එබැවින් ඔහු සිතාසිටියේ ඔහු භෞතිකත්වය පිලිබඳ සියලු ප්‍රශ්න විසඳුවා කියාය. කෙතරම් ශ්‍රෙෂ්ථ බුද්ධිමතෙකු වුවද අද අපි මේ කතාකරන විද්‍යාව පිලිබඳ දර්ශනවාදය නිව්ටන්ගෙ සන්තානයෙ තිබීනැත; එය ඔහුගේ චරිතාපදානයෙන් පැහැදිලිවේ. එය නිව්ටන්ගේ වැරැද්දක් නොව කාලයෙ වැරැද්දකි. මෑත කාලයෙ විසූ අයින්ස්ටයියින් පඬිතුමා, සිය මොඩලයෙන් භෞතිකත්වය පිලිබඳ සියලු ප්‍රශ්න නොවිසෙඳන බව දැනසිටියා පමනක් නොව. එසේ නොවිසඳුනු ප්‍රශ්න විසඳීම සඳහා වෙනත් විකල්ප මොඩල සොයන සෙසු පුද්ගලයන්ට සහාය වීමට සිය ජීවිතයේ ඉතිරි කාලය කැපකලේය. එය අයින්ස්ටයියින්ගෙ අමුතු හොඳක් නිසා නොව කාලයෙ හැටිය නිසාය. කෙසේ වුවත් එතුමා ලොවෙන් සමුගත්දීත් එම ප්‍රශ්නවලට පිලිතුරු ලැබුනේ නැත.

    විද්‍යාත්මක දැනුම වටා ඇති සංස්කෘතියේ දියුණුවටත්, විද්‍යාත්මක නොවන දැනුම් වටා ඇති සංස්කෘතීන් (non-sciences, pseudo-sciences, religious doctrines) වල නොදියුනු භාවයටත් හේතුව මෙයයි. විද්‍යාව සත්‍යය නොසොයයි, සිය මොඩල සත්‍යය ලෙස නොදකී. සත්‍යය යනු සාපෙක්ෂතාවයක් බව දනී. නවීන විද්‍යාවට මෙහෙවර කරන හැමදෙනෙකුම මෙම ස්තාවරයේ නොමැති බව සැබෑය. ඒ ඔවුන්ගේ වෙනස් සංස්කෘතිකමය පසුබිම් නිසාය. නිව්ටන්ලා එදා මෙන්ම අදත් සිටී. නමුත් ඔවුන්ගේ පෞද්ගලික ආකල්ප වලින් විද්‍යාවේ ආකල්ප අපොහනය නොකල යුතුය.

  3. පරිනාමවාදය දැන් බිඳ වැටි අවසානයි නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )