මයෝසීන යුගයේ සිට මානව පරිණාමය (re-bloging with permission)

http://si.archaeology.lk/ අඩවියේ පලවී තිබූ කැලණිය වි.විද්‍යාලයේ පී.ජි.වයි. කාන්චන විසින් රචිත “මයෝසීන යුගයේ සිට මානව පරිණාමය” නමැති ලිපිය එම අඩවියේ අවසරය සහිතව මෙසේ නැවත බ්ලොග් කරමි. මේ ලිපියේ අඩංගු කරුණුගැන ඔබගේ අදහස් එම අඩවියේ සටහන් කල හැකිබැවින් මෙම ලිපිය සඳහා අදහස් පලකිරීම විසන්ධිකර දමමි.

මයෝසීන යුගයේ සිට මානව පරිණාමය


australopithecus afarensis
පී.ජි.වයි. කාන්චන 
විශේෂවේදී දෙවන වසර උපාධි අපේක්ෂක,
පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

පෘථිවිය හා මිනිසාගේ සම්භවය පිළිබඳව නූතනය වන විට වැඩි අවධානයක් යොමු වීම ස්වාභාවික විද්‍යාඥයින්, මානව විද්‍යඥයින්, පුරාවිද්‍යඥයින් අතර පැහැදිලිව දැකගත හැකි කරුණකි. පෘථිවිය බිහිවීමත් සමඟම ජීවී ලෝකයට පදනම වැටුණු අතර, සත්ව ලෝකය නිර්මාණයත් සමඟ ඔවුන් ස්වාභාවික පරිසරයකට හුරු වූ ආකාරය සහ ඔවුන් නූතන මානවයා දක්වා පරිණාමය වූ ආකාරය වත්මනහි වැඩි අවධානයට ලක්ව ඇත. මිහිතලයේ බිහි වීමත්, ජීවින්ගේ බිහිවීම කුමන කාලයක සිදු වී ද යන්න පිළිබඳව භූඉතිහාසය තුළ විවිධ අවදි  පසු කරමින් අධ්‍යයනයකට ලක්කරන ආකාරය පෙනේ.

මානවයාගේ ආරම්භය කවරකාරයෙන්  සිදු වූයේ ද යන්න පිළිබඳව උනන්දුව ඈත අතීතයේ සිටම දක්නට ලැබේ. මෙහි ආගමික ඉගැන්වීම් ඔස්සේ මෙන්ම  භෞතිකවාදී ප‍්‍රවේශයන්ගේ නැඹුරුවක් ද දක්නට ලැබේ. මෙහි දී ආගමික මතයක් අභිබවා භෞතිකවාදීන් ඉදිරිපත් කළ මතය ඉස්මතුවෙන බවත් පෙනී යයි. පෘථිවිය ද සෑම ජීවියකුම ද ඔවුන්ගේ විකාශනය හා සම්බන්ධ  ඉතිහාසයක් හා අංග සම්පූර්ණ නිර්මාණයක් ලෙස අද පවත්නා ත්ත්වයන් සෑම කල්හිම නොපැවැති බවත් පිළිගන්නා දෙයකි. ඒ අනුව පෘථිවියේ බිහිවීම අදින් වසර  මිලියන 4,600 පෙර ද, ජීවීන්ගේ බිහිවීම අදින් වසර මිලියන 3,600 පමණ පෙර ද සිදු වූ බව දැනට අනුමාන  කරයි. මිනිසා ද අනෙක් ජීවීන් ද කාලයක් තිස්සේ පරිණාමය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද තිබෙන තත්වයට විකාශනය වූ බව මුලින්ම ප‍්‍රකාශ කළේ චාර්ල්ස් ඩාවින්ය. ඩාවින්ගේ මෙම චින්තනය උද්භිද විද්‍යාවෙහි, සත්ව විද්‍යාවෙහි, පුරාවිද්‍යාවෙහි, තුල්‍ය ව්‍යවච්චේදයෙහි, කායික විද්‍යාවෙහි, ගවේශණාත්මක මනෝවිද්‍යාවෙහි පවා පූර්ණ විප්ලවයක් ඇති කළේය(නෙස්තූර්හ් 1981:16). ජීවින්ගේ සම්භවය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මිහිතලය මත සිදු වූ ස්වාභාවික දේශගුණික විපර්යාසවලින් පරිභාහිරව ජීවී පරිණාමය සාකච්ඡා කිරීම අසීරුය. ජීවී ක‍්‍රීයාවලිය තුළ සිදු වූ සෑම වෙනසක් පිටුපසම යම්කිසි ස්වාභාවික ක‍්‍රියාවලියක් බැඳී පවතියි. පෘථිවියේ සහ ජීවින්ගේ සම්භවය මීට අවුරුදු මිලියන  4,600-3,600 කාලය තුළ සිදුවූවත් එය මානවයාගේ ආරම්භයත් අතර කාලීන වශයෙන් ඇත්තේ විශාල පරතරයකි. එබැවින් මිනිසා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී  මානව පරිණාමය  සීමාව තුළ විවිධ යුග සහ අවධීන් හැදෑරීම අත්‍යවශ්‍යය වෙයි. ලෝකයේ භූඉතිහාසය තුළ දැකිය හැකි ප‍්‍රධාන අවිධි හතරකි. භූ කාලසටහනට අනුව පහළින්ම පිහිටි ස්තරය ප‍්‍රාග් පොසිල යුගය (Precambrian era), ලෙසත් ඒ මත පිහිටි පාෂාණ ස්තරය සහිත යුග පිළිවලින් ආදී ජීවී යුගය (Palaeozoic), මධ්‍ය ජීවී යුගය, (Mesozoic), නූතන ජීවී යුගය  (Cenozoic) ලෙසත් හැන්වෙයි (ලගමුව 2000:54).

මෙහි දී නූතන ජීවී යුගය මානව පරිණාමය සම්බන්ධව තීරණාත්මක කාලවකවානුවකි. මිනිසාට සමාන කළ හැකි මුල්ම ජීවින්ගේ සාධක හමු වන්නේ  Cenozoic යුගය තුළ දී ය. මෙය අදින් වසර මිලියන 63 පමණ සිට ආරම්භ වී මෑතක් වන තුරුම පවතියි. ක්ෂිරපායින්ගේ යුගය ලෙස හදුන්වනු ලබන්නේ ද මෙම යුගයයි. කෙනොසොයික් යුගය තෘතීක සහ චතුර්තික ලෙස කොටස් දෙකකි. මෙහි තෘතීයික කාලවකවානුවේදී  පැලියොසීන්, ඉයොසින්, මයෝසින් ලෙස ද චාතුර්තික කාලයේදී  මයොසින්, ප්ලයියොසින්  ප්ලයිස්ටොසීන් සහ නූතන ලෙස අවධීන් කීපයක් හඳුනාගත හැකි වෙයි. මීට අවුරුදු මිලියන විසි හතරකට පෙර පැවැති මයෝසීන යුගය තුළ මිනිසුන් චිම්පන්සියන්  හා ගෝරිල්ලන් ආදිතමයන්  වූ වානරයින් අප‍්‍රිකාවේ  සහ ආසියාවේ ඇති වූහ. මෙම අවධියේදී ආදී වානරයින් බිහි වීම විශේෂ වෙයි. මීට වසර මිලියන පහකට පෙර ආරම්භ වන ප්ලයෝසීන වකවානුවේදී සාගර පරිසරය අද පවතින තත්වයට පත් විය. මිනිසුන්ට ආසන්න ජීවීන් බිහිවීම මෙම අවධියේදී කැපී පෙනේ(ලගමුව 2000:51).

කෙනොසොයික් යුගයේ චාතුර්තික අවධියේ  ”ප්ලයිස්ටොසීන” කාල වකවානුව මීට වසර මිලියන 2කට පෙර ආරම්භ විය. මේ කාලය තුළ මානවයා පහළ විම හා මිනිසා ශිෂ්ටසම්පන්න වීමට දරන උත්සාහයන්ගේ සාධක ලැබෙයි. මෙම කාලය තුළ මානවයා, පෘථිවිය හා ජීවීන් අතර අන්තර්  සම්බන්ධයක් ඇති බව පෙනේ.

මානව පරිණාමය සම්බන්ධයෙන් මයෝසීන කාල වකවානුව වැදගත් වන බව සඳහන් කළෙමු. මෙය මීට වසර මිලියන 25-5 අතර කාලයක් පැවැතුණි. මේ කාලය තුළ වියළි ස්වාභාවයක් ගත් අතර වැසි වනාන්තර ජලාධාර වැනි ප‍්‍රදේශයන්ට  පමණක් සීමා විය. වැසි වනාන්තර අඩු වූ අතර තෘණ ශාක වල වර්ධනයක් ඇති විය. කුර සහිත සතුන්ගේ විශේෂ සංඛ්‍යාව වැඩි විය. ඩ‍්‍රයපිතිකස් නම් මුල්ම මානවයා බිහි වන්නේ මයෝසීන යුගයේ අප‍්‍රිකාවේ වැසි වනාන්තර වලය. මොහු මානවයාගේ පුර්වජයකු වන අතර තුරු මුදුන්වල ජීවත් වෙමින් වනාන්තර වල සාමාන්‍ය ආකාරයට හැසිරමින් පළතුරු, කොලවර්ග, අල වර්ග සහ මල් වර්ග ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිත විය. තුරු මුදුන් වල සිට මෘදු ආහාර ගන්නා ලදී.

මීට අවුරුදු මිලියන විස්සකට පෙර තිබූ ලෝක සිතියමත් වර්තමානක ලෝක සිතියමත් අතර විශාල  වෙනසක් දක්නට ලැබෙයි. අප‍්‍රිකාව වටා සාගරය නිර්මාණය වූ අතර එය ආසියාව සමඟ සම්බන්ධ විය. මීට අවුරුදු මිලියන 18-16 අතර අපි‍්‍රකාව හා ආසියාව එකිනෙකට සම්බන්ධ වූ අතර ඒ හරහා සතුන් නිදහසේ ආපසු පැමිනීමත්  නැවැත ගමන් කිරීමත් සිදු විය. මෙය සතුන් අතර තරඟයක් ඇති වීමටත්, සත්ව විශේෂ ගණනාවක් නිර්මාණය වීමටත්, අලූත් පරිසර පද්ධතීන් නිර්මාණය වීමටත් හේතු විය. රාමපිතිකස් බිහි වන්නේ මෙම පරිසර පද්ධතිය තුළය. මොවුන් මීට අවුරුදු මිලියන  14-18 ත් අතර කාලය තුළ  අප‍්‍රිකාවේ ආසියාවේ යුරෝපයේ පැතිර සිටි බව පාකිස්ථානයෙන් සොයා ගත් පොසීල මඟින් සාක්‍ෂි සපයයි. තුරු මුදුන් වල ජීවත් වූ වානරයින් වර්ග තුනක් වූ අතර මොවුන් අතරින් රාමපිතිකස් (Ramapithecus) කුඩාම විය. සිවපිතිකස්  (Sivapithecus) රාමපිතිකස්ට බෙහෙවින් සමාන වූ අතර  මොවුන් අතරින් විශාලම වානර විශේෂය වුයේ  ගිගන්ටොපිතිකස් (gigantopithecus) විය. බොහෝ විද්‍යාඥයින් විසින් රාමපිතෙකස් ආදි හොමිනිඞ් මානවයෙක් සේ පිළිගනී.

ලෝකය තුළ සිදු වූ දේශගුණික හා භූතල වෙනස් වීම් මත මහද්වීප එකට යා වුණි. කලාප අතර සතුන්ගේ සංක‍්‍රමණයක් වූ අතර මේ හේතුවෙන්  අප‍්‍රිකාව තුළ විලෝපීයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. ඔස්ට‍්‍රලෝපිතිකස් බිහිවන්නේ මෙවැනි පරිසර ත්ත්වයක් තුළය. වැසි වනාන්තර අඩු වීම නිසා  ආහාර ගැනීමට ගස් වලින් බිමට බැසිමට ඔවුන්ට සිදු විය. රළු දේවල් කෑමට දත් සහ  හකු සැකැසුණු අතර  ඉක්මනින්ම විලෝපීයන්ට ගොදුරු විය. දෙපයින් නැගිටීමේ මුල් අවස්ථාව දක්නට ලැබෙන්නේ  ඔස්ට‍්‍රලෝපිතිකස්ගෙනි. මේ වන විට විද්‍යාඥයින් කර ඇති පර්යේශන වලින් ලැබී තිබෙන පොසිල වාර්තා වලට අනුව  මානව පරිණාමය ප‍්‍රධාන අවධි අවධි 4කින් සමන්විත බව මානව විද්‍යඥයින් පෙන්වා දෙයි.

  1. ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆන්සිස් අවධිය
  2. හෝමෝ හැබිලිස් අවධිය
  3. හෝමෝ ඉරෙක්ටස්  අවධිය
  4. හෝමෝ සේපියන් අවධිය (උඩවත්ත 2004:67).

1  ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆ්රෙන්සිස් අවධිය.
පොසිල වාර්තා අනුව  මානව ලක්‍ෂණ සහිත  මුල්ම ජීවීන් මීට අවුරුදු මිලියන  4කට පමණ පෙර  අප‍්‍රිකාවේ ජීවත් වූ බව පෙනී යයි. මානව පොසීලයක් මුල් වරට  1974 ඉතියෝපියාවේ  ”ඇෆර්” නම් ප‍්‍රදේශයේ  කරන ලද කැනීම් වලදී සොයා ගන්නා ලදී. අවුරුදු විසිපහක් පමණ වයස් වූ  ස්ත‍්‍රී මානවයකුගේ පොසීලයක්  වන මෙය “ලූසී” යනුවෙන් නම් කරණ ලදී.  මේ විශේෂයට අයත් පොසිල  ටැන්සානියාවේ “ලිටොලි”  නම් ගම්මානයෙන්ද හමු විය.

Australopithecus Afaransis මානවයාගේ තවත්   විශේෂ කිපයක් ඇති වූ බව  පොසීල සාක්‍ෂි වලින් අනාවරණය වෙයි.  මොවුන් සියල්ලම  ඔස්ට්‍රොලෝපිතෙසීනයන් ” ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ(පරිණාමය 2003:54).

Lucy
ලුසී (im.cour.of http://en.wikipedia.org/wiki)
  • ඔස්ට්‍රොලෝපිතෙසිනයින්ට  පොදු වූ ලක්‍ෂණ  කිහිපයකි.
  • උස අඩි තුන හමාරේ සිට පහ දක්වා වීම.  (මීටර් 1.07- 1. 52)  බර රාත්තල්  60-130 (කි.ග්‍රෑ. 27. 18- කි.ග්‍රෑ. 58.89 පූර්ණ දෙපා ගමන් විලාසයන්  සහ  සෘජු කාය විලාසයක් දැක්වීම.
  • හිසේ හැඩය වානරයකුගේ හැඩයට සමාන වීම.
  • කපාල ධාරිතාව 380cc-550cc  අතර වීම.
  • විශාල හනු හා  විශාල චාර්වක දත් තිබීම.
  • හිසේ පේශී හොඳින් වර්ධනය වී තිබීම.
  • ශාක භක්ශක වීම.

ඉහත ලක්‍ෂණ වලට අනුව ඔස්ට්‍රොලෝපිතෙසීනයන්ට වානරයන්ගේ මෙන් හිසක් ද  මානවයකුගේ මෙන් කඳක් ද තිබූ බව පෙනී යයි.  මොවන් අප‍්‍රිකානු සැවානා තෘණ බිම් ආශ‍්‍රිතව ජීවත් වී ඇත. මෙවැනි ස්ථානයක  දෙපයින් සිට ගැනීමට හැකි වීම නිසා ඔවුනට දුර සිටින  සතුරන් දැක ගැනීමටත්, ආහාර සොයා ගන්නටත් පහසු වන්නට ඇත (පරිණාමය 2003:58). අප‍්‍රිකානු මහද්වීපයෙන්  සොයා ගත් මෙම මුල්ම හොමිනිඞ් පවුලේ සාමාජිකයා වන්නේ “ටාවුන්ගේ බේබි” (tarwoung baby)ය.  මෙය ජොහැන්නස්බර්ග්  නගරයට සැතපුම් 200ක් පමණ නිරිත දෙසින් පිහිටි හුණු පතලකින් හමු විය. 1927 දෙසම්බර් 14 දින රේමන් ඩාට්  විසින් මෙය ටාවුන්ගේ බේබි ලෙස නම් කරන ලදී. රේමන් ඩාට් Austolopithecus Africanus ලෙස නම් කරන ලද්දේ මෙම හිස් කබලයි. 1949 පමන වන විට Austrolopithecusට අයත්  ෆොසිල තිහක් පමණ  දකුණු අප‍්‍රිකාවේ “ස්ටාර්ක් කොම්ක‍්‍රයි සහ මැකප්න්ස්ගාමී”යන ප‍්‍රදේශ වලින් සොයාගැනීමට හැකි විය(උඩවත්ත 2004:70). කැනීම් සාධක වලට අනුව  ඔස්ට‍්‍රලෝපිතිකස් විවිධ ඝන වලට බෙදා ඇත. විශාල ශරීරයක් හිමි Robustus සහ කුඩා ශරීරයක් හිමි Gracile ලෙසයි. ඒ අනුව මොවුන්ගේ කුඩා ශරීර ඔස්ට‍්‍රලෝපිතිකස් ගනයටත් විශාල ශරීර  පැරැන්ත්‍රෝපස්  ලෙසත් හඳුන්වනු ලබයි. පොදුවේ මොවුන් සියල්ල ඔස්ට‍්‍රලෝපිතිකස් ගණයට අයත් වෙයි.  උතුරු ටැන්සියාවේ “හාඩර්” නම් ප‍්‍රදේශයේ අවුරුදු මිලියන  4-3 දක්වා වූ කාලයට අයත්  ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆ්රෙන්සිස්ට අයත් පොසිල  හමු වී ඇත. මොවුන්ගේ ලක්‍ෂණ  මයෝසීන යුගයේ ජීවත් වූ ඩ‍්‍රයිපිතිකස් සහ රාමපිතිකස්ට සමාන වෙයි. ස්ත‍්‍රීන් කුඩා වූ  අතර පුරුෂයින් ප‍්‍රමාණයෙන් විශාලය (උඩවත්ත 2004:71-72).

2 හොමෝ හැබිලිස් අවධිය
හෝමෝ හැබිලිස් අවධිය  වසර මිලියන  5 සිට 2  දක්වා ප්ලයෝසීන අවධිය තුළ බිහි විය. මානවයාගේ ක‍්‍රමික වර්ධනයේ  මූලාරම්භය ලෙස සළකන්නේ මොහුය. හෝර්මෝ හැබිලිස්ගේ සාධක  මුලින්ම සොයාගෙන ඇත්තේ ටැන්සානියාවේ  olduvai gorge නම් ස්ථානයේ කරන ලද කැණීම් වලිනි. පසු කාලයේදී  එකී පොසීල කෙන්යාව, ඉතියෝපියාව  හා දකුණු අප‍්‍රිකාව  ආදී ප‍්‍රදේශ වලින්ද සොයා ගන්නා ලදී(wood 2005:80-81). මොවුන් Austolopithecus Afransis ගෙන් පරිණාමය වී ඇතැයි සැළකේ. Homo Habilis පරිණාමය වීමේදී සිදු වී ඇති වෙනස්කම් දෙකකි. එනම් දේහයේ ප‍්‍රමාණය  වැඩි වීම සහ  කපාල ධාරිතාව වැඩි වීමයි. මොහු හෝමෝ ගණයේ ප‍්‍රථම  සාමාජිකයා විය. Homo Habilisගේ පහත ලක්‍ෂණ දක්නට ලැබේ.

  • උස මීටර්  1. 5 පමණ විය.
  • කපාල ධරිතාව 700 ජජ  පමණ විය.
  • ගාත‍්‍රා හා කඳ සෘජුව  ඇවිදීම සඳහා වඩාත්  හොඳින්  අනුවර්තනය වී තිබීම.
  • නළල හිස පසුපසට ආනතව පිහිටි අතර අධි අක්‍ෂි වැටී හොඳින් වර්ධනය වී තිබීම.
  • හස්ත කෞෂල්‍ය වැඩි වීම.
  • සර්ව භක්‍ෂක වීම(පරිණාමය 2003:59-61).

හොමෝ හැබිලිස් ජීවත් වූයේ වියළි සැවානා තෘණ බිම් වලය. මොවුන්ගේ ආහාර වූයේ  මුල් වර්ග සහ අල වර්ගය. මානව පරිණාමයේ  මුල් වරට මෙවලම් භාවිත කර ඇත්තේ  Homo Habilis එබැවින් ඔහු “හැන්ඞ් මෑන්” ලෙස ද හඳුන්වනු ලබයි. ආයුධ සඳහා ගල් පතුරු  (flakes), තැළුම් ආයුධ  (choppers) භාවිත කර ඇත. මිටියක් ලෙස යොදාගත් අත් පොරොවක් වැනි  මෙවලමක් සහ ගල් ආයුධ රාශියක් කළ කැණීම් වලින් සොයාගැනීමට පුරා විද්‍යාඥයින්ට හැකි විය(උඩවත්ත 2004:73, පරිණාමය 2003:61).

ඉතියෝපියාවේ  ඕමෝ ප‍්‍රදේශයේ සොයා ගත් පොසිල  ටැන්සානියාවේ ඔල්ඩුවායි ප‍්‍රදේශයෙන්  සොයාගත් පොසිල වලට  සමානකම් දක්වයි.  ඉතියෝපියාවේ “හර්දාර්”  සොයා ගත් පොසීල  අතර  Homo Habilisට  අයත් පොසිල හමු ව තිබේ. මේවා වසර මිලියන  03  පමණ පෙර ජීවත් වූ  මානවයන් සේ සළකණු ලබයි. Austolopithecus හා Homo Habilis එකට ජීවත් වී ඇති බව  පෙනේ. මොවුන් සමඟ  හිපපොටේමස්  ඇටසැකිළි ද  හමු වී ඇත.  මේ සියළු කරුණු අනුව දකුණු අප‍්‍රිකාවේ සහ  නැගෙනහිර අප‍්‍රිකාවේ විසූ ආදී ඔස්ට‍්‍රලොපිතිකස් මානවයින්  වසර මිලියන  2-1.5 අතර ජීවත් වූ බවත්  ඒ අතරම හෝමෝ හැබිලිස් ද  එකට ජීවත් වී ඇත( උඩවත්ත 2004:74).

03 හෝමෝ ඉරෙක්ටෙස්  අවධිය

නැගෙනහිර සහ දකුණු අප‍්‍රිකාවේ අදින් වසර මිලියන 2ක් පමණ පෙර හෝමෝ හැබිලිස්  හෙවත් පූර්ව හෝමෝට පසුව හෝමෝ ඉරෙක්ටස් බිහි විය(උඩවත්ත 2004:74). දැනට වසර මිලියන  1.5-2.5ත් අතර  කාලයේදී Homo Erectus ජීවත් වූ බවට පොසිල සාධක  සාක්‍ෂි දරයි. මොවුන් උතුරු අප‍්‍රිකාව පුරාත්, දකුණු යුරෝපයටත්, දකුණු ආසියාවේ  ඉන්දුනීසියාව දක්වාත්  පැතිර ගිය බව පෙනේ. ජාවා, චීනය හා ජර්මනිය යන රටවලින් ද  Homo Erectus පොසීල  සොයාගෙන තිබේ.  ඒ නිසා මොහු ජාවා මිනිසා හීඩල්බර්ග් මිනිසා යන නම්වලින් ලැබේ.  Homo Erectus සතු ලක්‍ෂණ කීපයකි.

  1. අස අඩි 4-6 (මීටර් 1.2 -1.8) පමණ  වීම.
  2. කපාල ධාරිතාව 850 cc-1,350 cc පමණ වීම. හොමෝ ඉරෙක්ටස්ගේ කපාල ධාරිතාව  හොමෝ  හැබිලිස්  කපාල ධාරිතාවට වඩා  වැඩිය. නමුත් නූතන  මිනිසාගේ කපාල ධරිතාවට වඩා අඩුය. එබැවින් මොහුගේ  මොළය  හෝමෝ හැබිලිස්ගේ මොලටය වඩා  විශාල අතර නූතන මිනිසාගේ මොළයට වඩා කුඩාය.
  3. ගාත‍්‍රා සහ කඳ වඩාත් පහසුවෙන් ඇවිදින්නට  සකස් වී ඇත.
  4. යටි හනුව විශාලය.
  5. නළල පිටුපසට  ආනතව පිහිටා තිබීම සහ  අධි අක්‍ෂි කූප වැටී හොඳින් වර්ධනය වී තිබීම.
  6. පළල් නාසයක් තිබීම.
  7. කුඩා නිකට කෝණයක් තිබීම.
  8. හිසේ අස්ථි නූතන මිනිසාට වඩා  ඝනකමින් යුක්ත වීම.

මොහු විසින් භාවිත කරන ලද මෙවලම් Homo Habilies භාවිත කළ  මෙවලම් වලට වඩා  සංකීර්ණ විය. තියණු මුවහත් කැපුම් තල මෙවලම් (blades)  සතුරා මරා ගැනීමට, මරාගත් සතුන් මස්කර ගැනීමට,  පතුරු,  සූරන ආයුධ (choppers, flakes, scrapers) ආදිය භාවිත කළ බව පෙනේ. Homo Erectus  ප්ලයිස්ටොසින අවධියට අයත් වෙයි. මෙය ග්ලැසියර අවධිය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යුගයේදී ඇතිවූ උනුසුම්  විපර්යාස නිසා අන්තර් වාරණ කාලයක් පැවැතුණි. මෙය අදින් වසර 10,000 සිට වසර මිලින  1.8 දක්වා තිබී ඇත (උඩවත්ත 2004:74). අත්පොරව වැනි උපකරණ තනා ගැනීමට තරම් හැකියාවන්  Homo Erectus  හැකි විය.

ඉරෙක්ටස් මානවයා උග‍්‍ර මාංශ භක්‍ෂකයකු විය. මොවුන් දියුණු මෙවලම් භාවිතා කළ බැවින්  දක්‍ෂ දඩයම් කරුවකු විය. විශාල සතුන් දඩයම් කිරීමට  සහයෝගයක් අවශ්‍ය වූ බැවින්  මොවුන් නිශ්චිත ස්ථානයකට එනම්  ගල් ගුහාවක් හෝ විවෘත භූමියක  කණ්ඩායම් වශයෙන් සාමූහිකව ජීවත් වන්නට  ඇතැයි සැළකේ.  දැව භාවිතා කර වාසස්ථාන හදා ගත් බවද  සාක්‍ෂි ඇත. චීනයේ ලූංකුෂාන් ප‍්‍රදේශයේ පිහිටි චව්කෝඩියන්  (zhoukoudian) ගල්ගුහාවෙන් මොවුන් දඩයමින් ජීවත් වූ බවට  සාධක ඇත. පළතුරු සහ ඇට වර්ග ආහාරයට ගත් බව  චව්කෝඩියෙන් ගුහාවෙන් පළතුරු ලැබීමෙන් සනාත වේ.

මුල් වරට  ගින්දර භාවිතා කළ ජීවියා වන්නේද මොහුය. ආහාර වර්ග පුළුස්සා ගැනිම සඳහා  විශාල සතුන් මරාගැනීම සඳහා  එක් ස්ථානයකට කොටුකර තබාගැනීම සඳහා ද  මොවුන් විසින් ගින්දර භාවිත කර ඇත. එසේම Homo Erectus ආසියාවේ හා යුරෝපයේ සෞම්‍ය කළාපීය ප‍්‍රදේශ වලට පැතුරුණු බැවින් ශීත කාලයේ උනුසුම ලබාගැනීමට ගින්දර භාවිත කරන්නට ඇත. චව්කෝඩියන් ගල් ගුහාවේ  අඩි 23ක් පමණ යටින්  අළු හමු වීම නිසා ඔවුන් ගින්දර භාවිත කළ බව පිළිගැනීමට සිදු වේ. මොවුන් දැව භාවිතා කර නිවාස සකස් කර ගත් අතර  අතහැර දමන ලද වාසස්ථාන වලින් ශිලාමෙවලම් හමුවේ.මෙහි සාධක   නැගෙනහිර අප‍්‍රිකාවේ ඔලොර්ගෙසෙයිලි (olorgesailie) නම් ප‍්‍රදේශයෙන් හමු වී ඇත(පරිනාමය 2003:63). ජර්මනියේ මැන්හෙයිම්  (manheim) නගරයේ mapur ස්ථානයෙන් වසර 90,000 තරම් පැරැණි මානව අවශේෂ  රැසක් සොයාගෙන ඇත. හංගේරියාවේ වර්ටෙස්සෝල්ලෝ  (vertesszollo) නම් ස්ථානයෙන් සහ චීනයේ චව්කෝඩියන් ගල් ගුහාවේ හෝමෝ ඉරෙක්ටස්  සාධක හමු වී ඇත.

කොටියා,  දිවියා,  වලසුන්,  වැනි බළල් පවුලේ සතුන් මොවුන්ගේ ආහාර අතර විශේෂ විය.  චව්කෝඩියෙන් ගුහාවේ තිබී අලියන්, වල් ඌරන්, රයිනොසිරස්, ඔටුවන්, මීහරකුන්,  හා අශ්වයන්ගේ ඇටකටු  සොයාගෙන ඇත.  බාහිර කටුව සහිත මසුන්  ආහාර කොටස් ලෙස එකතු වී ඇත.  ඇඳුම්  භාවිත කිරීම,  කතා කිරීමේ හැකියාව, සන්නිවේදන හැකියාව,  ඔවුන් සතු වී ඇත.  භාෂාවක් ඇති වීමෙන්  කණ්ඩායමක සාමාජීකයන් අතර  මනා සන්නිවේදනයක් පවත්වාගෙන යන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

හෝමෝ ඉරෙක්ටස්  සම්පූර්ණ පොසිලයක් සොයාලෙගෙන  ඇත්තේ 1980 දශකයේ  මැද භාගයේ දී කෙන්යාවේ Lake Turkana වලදීය. මෙම පොසිලය අවුරුදු  12ක් පමණ වයැසැති පිරිමි  ළමයකුගේ යැයි විශ්වාස කෙරේ  (පරිණාමය 2003:65) හෝර්මෝ ඉරෙක්ටස්ට අයත්  පොසීල ලෝකයේ බොහෝ රටවල් වලින් සොයාගෙන ඇත. ග‍්‍රීසියේ පෙට්රාලෝ, ස්පාඤ්ඤයේ ටොර්රල්බාල්,ඇමිබෝනා,ප‍්‍රංශයේ ටෙරාඅමාටා, උතුරු අප‍්‍රිකාව, ඇල්ජීරියාව සහ  මොරොක්කෝව වැනි රටවල් වලින්ද  නැගෙනහිර අප‍්‍රිකාවේ ටැනිසානියාව, ඔල්ඩෝවායි ගෝර්ජ් ඉතියෝපියාවේ ඕමෝ සහ  අසාර් යන ප‍්‍රදේශ වලින් සොයිගෙන ඇත. මෙම සාධක වලට අනුව  හෝමෝ ඉරෙක්ටස් ඔස්ට‍්‍රලෝපිනිකඩට වඩා හෝමෝ සේපියන්ට වඩාත් සමීප බව පෙනී ගොස් ඇත(උඩවත්ත 2004:75-76).

හෝමෝ සේපියන් අවධිය
1. Homo Sepien  Nianderthalensis
මානව පරිණාමයේ ඊළඟ අවධිය ලෙස  ්‍යදපද ීැචසැබ  අවධිය සැළකේ. ප්ලයස්ටොසීන අවධිය  තුළ වූ රීස් හා වර්ම් යුගයන්හි  නියැන්ඩතාල් මානවයා  යුරෝපයට සම්ප‍්‍රාප්ත වීම සිදු වෙයි. දැනට වර්ෂ  500,000 පමණ පෙර Homo Erectus කාණ්ඩයකින් මොහු පරිණාමය වූ බව සැළකේ.  සේපියන් ආකාර කීපයක්  මේ කාලයේ ජීවත් වී ඇති බව  සාධක මඟින් තහවුරු වේ. ඉන් පළමුවැන්නා ලෙස සැළකෙන්නේ Homo Sepien  Nianderthalensis ය. මොහු Homo Sepien Nianderthalensis විශේෂය ලෙස සැළකේ. මොහු ජීවත් වූ කාලවකවානුව  ශීතලෙන් යුක්ත වීම නිසා  ශාරීරික වශයෙන්ද නියැන්ඩතාල්ගේ  ශරීරය ලොම් වලින් වැසි පැවැතුණි. අවුරුදු  35,000-75,000 කාලය අතර මොවුන් යුරෝපයේ  හා ආසියාවේ  ව්‍යාප්තව සිට ඇත. මිටි ශක්තිමත්ව වැඩුනු මානව කාණ්ඩයක් වන මොවුන්ගේ මොළය එකල ජීවත් වූ අනෙකුත් මානවයිනගේ මොළවලට වඩා විශාල විය.  පරිමාව නූතන මිනිසාගේ මොළයේ  පරිමාවට සමාන විය.

ඈත කාලයේ මුස්ටේරියන් යුගය යනුවෙන් හැඳින්වෙන ග්ලැසියර් යුගයේ  මුල් කාලයේ හෙවත් පූර්ව ශිලා  යුගයේ නියැන්ඩතාල් මානවයා ජීවත් වී ඇත. මේ යුගය පූර්ව ශිලා යුගය ලෙස හැදින්වෙයි. නියැන්ඩතාල් මානවයා යුරෝපයෙන් මැද පෙරදිගට  සංක‍්‍ර‍්‍රමණය වීම දැක ගත හැකි වන්නේ  ඉරාකයේ ලේවාන්ට්  (levant) හා උස්බෙකිස්ථානය  යන ස්ථාන වලින් අවශේෂ හමු වීමෙනි.  බෙල්ජියම,  ලිබියාව,  අප‍්‍රිකාව,  ආදි රටවලින්ද ඉරාකයේ ශනිදාර් ගල් ගුහාවේ කරන ලද කැණීම් වලින් ද  නියැන්ඩතාල් මානවයාගේ අවශේෂ සොයාගෙන ඇත.  ක‍්‍රි. ව. 1856 ජර්මනියේ නියන්ඩතාල් නිම්නයේ ඩූසල්ඩෝප් ගංගාව අසල පෙල් ඕහෝපර්  ගල් ලෙන තුළ කපාල කුහරයක් සහිත අස්ථි කිහිපයක් සොයා ගැනීමට හැකි විය.මෙම කපාල කුහරය ආදි කලීන මිනිසුන්ට වඩා විශාල විය. වැඩිහිටි නියන්ඩතාල් හිස් කබලක්  මුලින්ම සොයා ගන්නා ලද්දේ  1848 දී ස්පාඤ්ඤ ගල් ලෙනකදීය. මෙම කපාල කුහරයේ විශාලත්වය ඝණ සෙන්ටිමීටර්  1080 විය. 1926 අවුරුදු 5ක් පමණ වයසැති නියැනිඩතාල් පිරිමි ළමයතුගේ හිස් කබලක් ද සොයා ගන්නා ලදී.

නියැන්ඩතාල් මානවයා විවෘත තණ බිම් වල මෙන්ම  වනාන්තර වලද ජීවත් වූහ. නියැන්ඩතාල්  මානව අස්ථි හමු වූ බොහෝ ස්ථාන වල  සිංහ, කොටි, වලස්,  මැමත්, රයිනෝසිරස්,  වැනි සතුන්ගේ ඇටසැකිළි හමු වී ඇත.  ගල් ආයුධ මොවුන්ගේ එක් ප‍්‍රධාන ක‍්‍රියාවලියකි මොවුන්ද දඩයම් ජීවිතයක් ගත කර ඇත. මේ යුගයේ සුලභ මෙවලමක් ලෙස ගලින් නිර්මාණය කළ පතුරු ආයුධ  සූරන ආයුධ හා අත් පොරෝ ආයුධ භාවිත කළ බවට සාධක ලැබේ. මොළයේ වර්ධනයත්, සාමූහිකව වැඩ කිරීමේ හැකියාවත් , හදුනාගත් ශබ්ද අනුව කටයුතු කිරීමේ හැකියාවත්  විය. සත්ව සම් යොදාගෙන ඇඳුම් නිර්මාණය කළ අතර  මිය ගිය පුද්ගලයින් වල දැමූ බවට සාධක හමු වේ. ප‍්‍රංශයේ Bergeracහි Laferrassie නම් ස්ථානයෙන් සය දෙනෙකු වල දැමූ සොහොනක් හමු වී තිබේ.

පොසිල වලින් පෙන්වන කරුණු වලට අනුව වසර 90,000-100,000 දක්වා කාලය තුළ පරිණාමය  වෙමින් ගමන් කළ අතර  ඊට වසර 30,000-40,000  පමණ ඉහත දී මානව පරිණාම මගෙන් සමුගත් බව දැක ගත හැකිය. අප‍්‍රිකාව් හෝමෝ සේපියන් උපත ලබන විට  යුරෝපයේ ස්ථාන කීපයක  Homo Sepiens Neanderthal සිට ඇති බවට සාධක හමු වී ඇත ( උඩවත්ත. 2004:93-95, පරිණාමය 2003:65, වසුන්දරා 1999:17).

02 හෝමෝ සේපියන්ස්  සේපියන්ස්
නූතන  මානවයා හෙවත් හෝමෝ සේපියන්ස් සේපියන්ස් (Homo Sapiens Sapiens) පරිණාමය වූයේ හෝමෝ නියැන්ඩතාල්  මානවයාගෙන් නොවන බව  සැළකේ.  පොසීල සාක්‍ෂි වලට අනුව  දැනට අවුරුදු  40,000 පමණ පෙර වෙනත් හෝමෝ සේපියන් ආකාරයෙන්  Homo Sapiens Sapiens පරිණාමය වූ බව පෙනී යයි.  මුලින්ම ඇති වූ  Homo Sapiens Sapiens මානවයෝ  ක්‍රෙමැග්නන්  මානවයන් ලෙස හඳුන්වයි. නියැන්ඩතාල් මානවයා මෙළොවින් තුරන් වීමත් සමඟම  පරිණාමයට අවතීර්ණ වූ මෙම මානවයා  හැදි දැඩි ශක්තිමත් අයකු විය. මුලින්ම 1808 දීද, ඉන්පසු ක‍්‍රි.ව. 1868  ප‍්‍රංශයේ ක්‍රොමැග්නන්  ප‍්‍රාන්තයේ දී  කළ කැණිමකදී  මානව පොසිල  සොයාගන්නට විද්‍යඥයින්ට හැකි විය.  ක්‍රොමැග්නන්  (crowmagnan) ප‍්‍රාන්තයෙන් හමු වූ නිසා මෙම මානවයා  ක්‍රොමැග්නන් මානවයා ලෙස හඳුන්වනු ලබයි. නමුත් මෙහි ඇති ශරීර ලක්‍ෂණ නිසා  මොහු වෙනම විශේෂයක් නොව  හෝමෝ සේපියන් බව පැහැදිලි විය. පොසිල පර්යේෂණ වලට අනුව  අදින් වසර  40,000කට පෙර  ජීවත් වූ හෝමෝ සේපියන් මානවයාගෙන් නූතන හොර්මෝ සේපියන් සේපියන් මානවයා පරිණාමය වූ බව සැළකේ. හෝමෝ සේපියන් හා  හොමෝ නියැන්ඩතාල් එකම කාලයක ජීවත් වූ බව පෙනේ.  හොර්මෝ සේපියන්  මීට අවුරුදු 70,000 කට පෙර  ආසියාවේ හා  ඕස්ටේ‍්‍රලියාවේද  අවුරුදු  35,000කට පෙර  යුරෝපයේද  මීට අවුරුදු  15,000කට පෙර ඇමරිකාව හරහා ඇමරිකානු  මහද්වීපයට ද සේන්දු විය. මෙහිදී යුරෝපයට  ගිය හෝමෝ සේපියන්ට  නියැන්ඩතාල් මුණ ගැසිනි. හෝමෝ සේපියන් අතිශයින් තරඟකාරී පිරිසක් වූ බැවින්  නියැන්ඩතාල් විනාශ කිරීමට පෙළඹුනි. ක‍්‍රමක‍්‍රමයෙන් හෝමෝ සේපියන්  නිසා  නියැන්ඩතාල් හට පසු බසින්නට සිදු විය. අදින් වසර  25,000 කට පෙර හෝමෝ  නියැන්ඩතාල් සම්පූර්ණයෙන්ම විනාශ වන්නට හෝ  මොවුන් හෝමෝ සේපියන් සමඟ මිශ‍්‍ර වන්නට ඇත.

හොර්මෝසේපියන් මානවයින්  සංස්කෘතික වශයෙන් විශාල දියුණුවක් ලබා ගැනීමට  සමත් වූ පිරිසක් වූ අතර ඔවුන් සංචාරක දිවිය අතහැර  කෘෂිකර්මාන්තයටත් සත්ව පාලනයටත්   යොමු විය. බෝට්ටු තනා ගැනීමහි, පිහි, නියන්, හෙළිතුඩ, පොරව, ආදී මෙවලම් භාවිත කළ බවද  සාක්‍ෂි ඇත.  ගල්ගුහා තුළ චිත‍්‍ර ඇදීම,  මූර්ති නෙළීම හා  ආගම් ඇදහූ බව ද පිළිත හැකිය. මොවුන් පැලියොලිතිලක යුගය අවසන් කොට  නියොලිතික යුගයට අවතීර්ණ වූ අතර දියුණු මෙවලම්  භාවිත කරන ලදී.  නූතන මානවයා ජීවත් වන මෙම යුගය  නියොලිතිකය ලෙස හැදින්වේ. තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට  ඔවුන්ට හැකි විය. වැඩි අස්වැන්නක් ලබාදෙන බෝග  වගා කළ අතර  මීට අවුරුදු 15,000කට පෙර  ශාක හා සතුන් ගෘහාශි‍්‍රතකරණය කිරීමට  මොවුන් පෙළඹිණි. කෘෂිකර්මාන්තය  ජීවිකාව කරගත් මොවුන්  අස්වැන්නෙහි අතිරික්තයක් ඇති වූ  අතර එම අතිරික්තය හුවමාරු කර ගනු ලැබීය. මෙලෙස ලේඛන කලාව හා යාන්ත‍්‍රික ක‍්‍රම බිහිවිය(උඩවත්ත 2004:107-108, පරිණාමය 2003:64,67,68).  මේ ආකාරයට මානවයා ක‍්‍රමයෙන්  ස්ථාවර ජනාවාස පිහිටුවා ගනිමින්  ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න වන බවක් පෙනේ.

neander-human-compහොමෝ නියෙන්ඩර්තාල් හා හොමෝ සේපියන්ස් (image Courtesy of http://historiesofthingstocome.blogspot.com)

නිගමනය

පෘථිවිය බිහි වීම, ජීවීන්ගේ  බිහි වීම  හා මානවයන්ගේ බිහි වීමත් අතර  අන්තර් කාලීන වශයෙන් ඇත්තේ  විශාල පරතරයකි. මීට අවුරුදු මිලියන  25කට පෙර සිට ආරම්භ වූ  මිනිසාගේ පරිණාමීය කි‍්‍රයාදාමය විවිධ දේශගුණික හා ස්වාභාවික විපර්යාසයන්ගේ හැලහැප්පීම්වලට නතු වීමක් පෙනේ. මෙවන් වූ ත්ත්වයන් තුළ  විවිධ අවධීන්හි මානවයා  ස්ථාවර වීමට උත්සාහ දරණු ලබයි.  මිනිසාගේ මොළයේ සිදු වූ වර්ධනයත්  සමඟ  ඔවුන් ක‍්‍රමයෙන් ශිෂ්ට සම්පන්න වූ අතර තම අවශ්‍යතාවලට සරිලන පරිදි සාර්ථක ලෙස  ස්වාභාවික පරිසරය තමන් අනසකට භාජනය කර ගනී.  මෙය නූතන ශිෂ්ටාචාරය බිහි වීමට හේතු විය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Human origin tha rainbird publishing Group Limited, 36 Park street, London.
  • Wood, B. (2005) Human evolution, oxford university press, Inc, newyork
  • Tones steve (1992) martin Roberb, pilbeam david Human evolution, Cambridge university press,
  • නෙස්තූර්හ්, එම්. (1981) මිනිසාගේ සම්භවය,  ප‍්‍රගති ප‍්‍රකාශන මන්දිරය,  මොස්කව්.
  • උඩවත්ත, ඒ. (2004) මානව පරිණාමය,   වාසනා ප‍්‍රකාශකයෝ, දන්කොටුව.
  • රත්නසූරිය, ඩබ්.ඩී., එම්.ජේ.එස්. විජයරත්න  හා ඩබ්.යූ. චන්ද්‍රසේකර (2003) පරිණාමය අධ්‍යාපන ප‍්‍රකාශණ දෙපාර්තුමේන්තුව, කොළඹ.
  • අතුකෝරල, ඩී.ආර්. (1999) ප්ලයිස්ටොසින යුගයේ මානව පරිණාමය, වසුන්දරා, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.
  • මනමේන්ද්‍ර-ආරච්චි, කේ., එම්. පෙතියාගොඩ, (2006) ලංකාවේ උභය ජීවීන්, වනජීවි උරුම භාරය, ‍කොළඹ.
  • Human origin tha rainbird publishing Group Limited, 36 Park street, London.
  • Wood, B. (2005) Human evolution, oxford university press, Inc, newyork
  • Tones steve (1992) martin Roberb, pilbeam david Human evolution, Cambridge university press,
  • නෙස්තූර්හ්, එම්. (1981) මිනිසාගේ සම්භවය,  ප‍්‍රගති ප‍්‍රකාශන මන්දිරය,  මොස්කව්.

අවසරය : {ඔබට අප බ්ලොගයේ පලවූ මයෝසීන යුගයේ සිට මානව පරිණාමය යන ලිපිය re-blog කිරීමට අවසරයි‍. අපගේ බ්ලොගයට ලින්ක් එකක් දෙන්නේ නම් අප එය අගය කරයි.
ඔබගේ ඊමේල් ලිපිනය අපගේ mailing list එකට දමන්න ද?
archaeology.lk team}

Link to the original article – http://si.archaeology.lk/?p=1210

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, පරිණාමවාදය, විද්‍යා, සිංහල

ප්‍රතිචාර වසාදමා ඇත.