සමාජ(ධන)වාදී චීනය සහ නොබෙල් සාම ත්‍යාගය

චීනය ගැන දැනටමත් මා කියවන බ්ලොග සටහන් දෙකක සටහන්වී තිබුණා. නමුත් මගේ අදහස් ඒවාට වඩා මදක් වෙනස් බැවින් ඉතා කෙටි සටහනක් තැබීමට සිතුණි.

1. චීන හිරකරුවෙකුට නෝබෙල් තෑග්ග දීම චීනයට දුන් කනේ පහරක් නොවන්නේ ඇයී?

2. සාම තෑග්ග හා කොමියුනිස්ට් චීන සමූහාණ්ඩුව

මාගේ කාර්‍යාලය චීන ජාතික රසායන විද්‍යාඥයෙකු සමග බෙදා ගනිමි. අප දෙදෙනා ඉතා හොඳ මිතුරො වෙති. රසායන විද්‍යා සහ අනිකුත් විද්‍යාවන්ට අමතරව අපගේ රටවල්වල, ඇමෙරිකාවේ සහ අනිකුත් රටවල දේශපාලනයද අපි සාකච්ඡා කරන්නෙමු. මේ සටහන ලියන අතරතුරද මදකට නවතා විද්‍යා සාකච්ඡාවක් කිරීමට සිදුවිය. දින කිහිපයකට ඉහතදී ඔහු කියනා තුරා නොබෙල් සාම ත්‍යාගය මෙවර දිනූ චීන ජාතිකයාට ලැබීමට යන බව මා දැන නොසිටියෙමි. ඉන් පසුව අරුනීගේ බ්ලොග් සටහනේද එම පුවත දක්නට ලැබිණි.

පසුගිය වසර කිහිපය තුළම ලොව වැඩිම් ආර්ථික වර්ධන වේගය තිබුණේ චීනයටයි. ඉතා මෑතකදි ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට ජපානය පසුකරයෑමට චීනයට හැකියාවක් ලැබිණි. පසුගිය දිනක අරුනි ලියා තිබූ චීනයට නොබෙල් ත්‍යාග වැඩිපුර නැත්තේ ඇයි යන්න මම මාගේ මිතුරාගෙන් ඇසීමි. මාවෝ විසින් සියලූම විද්වතුන් කුඹුරුවලට යැවීම නිසා චීනයේ විද්‍යාව වසර ගණානාවකින් පසුපසට ගිය හැවි ඔහු කීවෙය. නමුත් එවැනි පසුබෑමකට පසුව චීනයේ විද්‍යාව සහ තාක්ෂණය දියුණුවීමට පටන් ගෙන ඇත.

විද්‍යා හා ඉංජිනේරු විෂයයන්වල ආචාර්ය උපාධි සඳහා ඇමෙරිකානු විශ්ව විද්‍යාලවලට ඇතුළුවන විදේශීය සිසුන්ගෙන් 1/3ක්ම පැමිණෙන්නේ චීනයෙනි. පසුගිය වසර කිහිපයක් තිස්සේ එම උපාධි සඳහා ඇතුළුවන සුදු ඇමෙරිකානු පිරිමින් සංඛ්‍යාව අඩුවෙමින් පැවැතුණි අතර සුදු ඇමෙරිකානු ගැහැනුන් ගණන වැඩිවෙමින් පවතියි. කෙසේවෙතත් මෙසේ පිටරටින් පැමිණෙන සිසුන්ගේ රඳවා ගැනීම තවමත් ඉහළ මට්ටමක පවතියි. චීනය දැන් ඇමෙරිකානු සමාගම් එහි ගෙන්වාගෙන් ඇති බැවින් මෙම රඳවා ගැනීම අඩුවීමට පටන් ගෙන තිබේ.

2008/09 වසරතුළ තුළ චීනය විසින් ඉල්ලුම්කර ඇති ජාත්‍යන්තර පේටන්ට් සංඛ්‍යාව 30%කින් වැඩිවන අතරතුරදී, ජපානය මෙම වැඩිවීම 4%ක් පමණී. මෙයට අමතරම පසුගිය කාලයේදි සමහර ජපාන සමාගම් 20%කින් පමණ තම පර්යේෂණ වියදම් අඩුකරදිදී චීන සමාගම් එය 30%කින් පමණ වැඩි කොට ඇත. මේ පිළිබඳව ද ඉකොනොමිස්ට් සඟරාවේ පළවූ ලිපිය මෙතැනින් කියවන්න.

මෙයට අමතරව චීනය අප්‍රිකානු රටවල තම ආයෝජන කිරීම් මගින් නවීන අධිරාජ්‍යවාදයකට මුල පුරමින් පවතී. මේ සඳහා පාර කැපුයේ බටහිර ජාතීන්මය. අප්‍රිකානු රටවල තිබූ සහ තිබෙන බටහිර සමාගම මගින් සමහර අප්‍රිකානු රටවල ආංඩුපවා පෙරළීය. ඔවුන් එම රටවල් තුළ විව්ධාකාර ආරවුල් ඇතිකරමින් එම සමාගම්වලට ලාභය වැඩිකරගැනීමට පාර කැපීය. මෙනිසා බටහිර රටවල් කෙරෙහි තිබූ පිළිකුල භාවිතාකොට චීනය එම රටවල්වලට නවතම ආයොජකයෙකු ලෙස ඇතුළුවිය. ඔවුන් එම රටවල ආංඩු විසින් කරන මානව හිමිකම් හෝ අනිකුත් වැරදිගැන කතාකිරීමටවත් එම වැඩගැන ඇඟිලිගැසීමක්වත් නොකර තම අයොජනවල ප්‍රතිඵල නෙලමින් සිටී. චීනයේ සිටින අතිවිශාල ජනකායට ආහාර සැපයීමට ඔවුනට ඇති සශ්‍රික ඉඩකඩම් ප්‍රමාණය අඩුය. එබැවින් අප්‍රිකාව ඔවුන්ගේ ගොවිපළ බවට පත්වෙමින් පවතී. මේ මොහොතෙදී මෙම සඹඳතාවය අප්‍රිකානු රටවලටද වාසිදායක එකකි. අනාගතයේදී කුමන ආකාරයකට යයිදැයී කීමට මම නොදනිමි.

මෙයට අමතරව දකුණු ඇමේරිකානු රටවලටද චීනය ඇතුලුවෙමින් පවති. ආසියානු කලාපීය බලය ‍රැක ගැනීමට අවශ්‍යවන කරුණුද එකින් එක් කරමින් පවතියි. උදාහරණයක් ලෙස ඉන්දියාව වටා ඇති රටවල් කිහිපයකම චීන වරායන් මේවනවිටත් ඉඳිකරමින් පවතියි.

මෙයට අමතරව චීනය සතුව ඇති ඇමෙරිකානු ඩොලර් සංචිතයද ජපාන යෙන් සංචිතයද අතිවිශාලය. එබැවින් මෙම ආර්ථිකයන් දෙකම කඩාවැටීම චීනයට හිතකරදෙයක් නොවේ. ඇමේරිකාව සහ චීනය අතර වෙළඳ ඌනතාවයේ වැඩිවාසි තිබෙන්නේ චීනයටයි. මෙයට හේතුව ධනවාදී සංකල්පයමත පමණක්ම ‍රැඳීපවතින නිසා ඇමෙරිකාවේ නිපදවන දැ අධික මිලකින් යුතුවීමයි. මා ආචාර්ය උපාධිය අවසන් කර මෙම ‍රැකියාවට පැමිණෙන විට මගේ වැ‍ටුප අමෙරිකානු ෆොර්ඩ් මොටර් රථ සමාගමේ නට් තදකරන මිනිසෙකුට වඩා අඩුය. නමුත් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශන ලියැවිල්ලේ පරිදි “ජීවිතය, නිදහස සහ සතුට හඹායැමට ඇති අයිතිය” ගැන මාගේ විවාදයක් නොමැත. ඇමෙරිකානු ජනගණයේන් සියයට 15% ක් පමණ දුප්පතුන්ය. 35%ක් පමණ පහළ මධ්‍යම පාංතිකයින්ය. එබැවින් මෙම අධික මිලකින් යුත් භාණඩ මිලදී ගැනීමට ඇති හැකියාව අඩුවෙමින් පැවතෙන කාලයකදී චීනයේ අඩුමිලට නිෂ්පාදනය කරන බඩු ඇමෙරිකාවට ගෙන්වන වොල්මාර්ට් වැනි විශාල සමාගම් ඇතිවිය. චීනය සමග ගනුදෙනු කරන රටවල් වලට සාපේක්ෂව වොල්මාර්ට් සමාගම අටවැනි ස්ථානයේ සිටී. මෙසේ අඩුමිලට පැමිණෙන භාණ්ඩ ඇමෙරිකානුවන් මෙන්ම පිට රට සිට පැමිණි මා වැනි විදේශිකයින් සහ විදේශ සිසුන්ද මිලදී ගනි. මෙනිසා චීනයෙන් ඇමෙරිකාවට ගෙන්වන බඩු ප්‍රමාණය ඇමෙරිකාව විසින් චීනයට යවන බඩු ප්‍රමාණයට වඩා ඉතා විශාලය. ඇමෙරිකාව තුළ චීන විරෝදයක් ගොඩ නැගී සහ නැගෙමින් පවතින එක හේතුවක් වන්නේ මෙයයි. මෙයට අමතරව අඩුමිලට කම්කරු සැපයුම නිසා ඇමෙරිකානු සමාගම් චීනයේ නගරවලට ගොස් ඇත. මේසඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ පුහුණු ශ්‍රමය සැපයීමට චීන රජය කටයුතු කළේය. ඇම්රිකාවේ වරදින්ම සිදුවූ මේදෙය සාමන්‍යයෙන් ඇමෙරිකානුවන්හට තේරුම්ගත නොහැකිව පවතී. එමනිසා චීනයට විරොධය දැක්වීමට ඇමෙරිකාව පසුබට නොවේ. මේ දිනවල චීනයේ යුවාන් වල අගය වැඩිවීමගැන ඇමෙරිකාව විරෝධය ප්‍රකාශ කරන්නේද එබැවිනි. ජීවිතය නිදහස සහ සතුට හඹා යෑමේ අයිතිය ඇත්තේ ඇමෙරිකානුවන්ට පමණක්යැයි යන හැගීම ඔවුනට පවතී.

චීනයේ සමාජවාදයක් පවතිනවායැයි සිතීම තවදුරටත් වලංගුනොවේ. පසුගිය කාලවල ඇතිවූ ආර්ථික දියුණුව නිසා චීනයේ අලුත් පොහොසතුන්, ඉහළ මධ්‍යම පාංන්තිකයින් ඇතිවෙමින් පවති. නගරාශ්‍රිතව ජීවත්වන තරුණ ජනහගණය එදා ඇමෙරිකානුවන් ඇමෙරිකානු සිහිනය හඹා ගියාක් මෙන් අද චීන සිහිනය හඹා යයි. 1989ට පසු තරුණ කැ‍රැලි ඇතිනොවීමට මෙම තත්වයද එක් හේතුවකි. වසර 20කට පසු එම කැ‍රැළිගැන කතාකරන හෝ දැනුමක් ඇති තරුණ ජනගහනය අඩුවී ඇත. මෙයට අමතරව ආර්ථික ප්‍රතිපත්ති ලිහිල්වීම නිසා ඒවා සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා ධනවාදි ප්‍රතිපත්තීන්ට ඉතා කිට්‍ටුය. කෙසේවෙතත් මෙම තත්වය නිසා ඇමෙරිකාවෙ මෙන්ම චීනය තුල්ද දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය වැඩිවෙමින් පවති. ගිනී සංගුණකයට අනුව ඇමෙරිකාවත් චීනයත් (ලංකාවත්) මෙම පරතරය එක සමාන මට්ටමකට පැමිණ ඇත.

නගරාසන්නව පැවති එක පවුලකක එක ළමයා සංකල්පය නිසා චීනයේ ජනගහන වර්ධනය අඩාලවී ඇත. නමුත් එබැවින්ම චීන කාන්තාවන්ට වඩා පිරිමින් ගණන්ද වැඩිවී ඇත. එසේම පසුගිය වසර තුළ දැඩිලෙස ක්‍රියාත්මක කල පරිසරික නීති නිසා කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු කිරීමද අඩාල වී ඇත. එසේනම් ජනතාවට නිදහස නොදී සිටීමට චීන රජය ක්‍රියා කරන්නේ මන්ද? මගේ සිතිවිලිවලට අනුව බලය ඇති මිනිසුන් සාමාන්‍යයේ බලය රඳා පවත්වා ගැනීමට උත්සාහ කරති. එසේම ඉහළ සිට පහළටම රාජ්‍ය නිලධාරීන් දුෂිතය. රාජ්‍ය බලය ඇත්තේ මුදල් ඇති අයටය. එසේම පහළ නිලධාරින් පත් කරනුයේ ඉහළ නිධාරින්ගේ උවමනාවටය. බලය පවත්වා ගැනීම පහසුවී ඇත්තේ එබැවිනි. එයට අමතරම දැනට ඇතිවී ඇති දුප්පත් පොහොසත් පරතරය වැඩිවීම මත රට තුළ කැ‍රැලි ඇතිවීම වැළැක්වීමට පහසුම ක්‍රමය නිදහස පාලනය කිරීමයි. රටේ දියුණුවට වර්තමාන ආංඩුව කටයුතුකරමින් පවතියි. එබැවින් රට තුළ සාමකාමී සහ ස්ථාවරත්වය පවත්වාගත හැකි පහසුම ක්‍රමයද මෙයයි. මොහොතකට හෝ හෙට දින සිට ඡන්ද පවත්වා නිලධාරීන් පත්කර ගැනීම ඇරඹුවායැයි සිතන්න. එම ඡන්දවලට ඉදිරිපත්වන්නේ කවුරුන්ද? ජයගනු ඇත්තේ කවුරුන්ද? දැනට සිටින නිලධාරින්මය. කොලු කියනා ආකාරයට සංවර්ධනය සඳහා නිදහස අවශ්‍ය නොවේ. මේ බව පසුගිය දිනක ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා කථා කරනු මම දු‍ටුවෙමි. නමුත් නිදහස මිනිසුන්ගේ මුලික අයිතිවාසිකමක් බව මමද තරයේ විශ්වාස කරමි. කෙසෙවෙතත් චීනය කල යුතු මූලිකම කාරණය වන්නේ දුප්පත් පොහොසත් පරතරය අඩුකිරීමට විසදුම් සෙවීමයි. එමෙන්ම ඉතා ඉක්මනින් මහලුවෙමින් පවත්නා ජනගහනයට පිළිතුරක් සෙවීමද අවශ්‍යය.

අවසාන වශයේ මෙවර නොබෙල් සාම ත්‍යාගය චීනයට නිදහස් ගැන දුන් පහරක් වශයෙන් පෙනෙන්නේ බටහිර රටවල්වලට චීනය තර්ජනයක් වෙමින් පවතිනා නිසාය යන්න මගේ හැඟීමයි. මෙම ලිපිය කියවීමෙදී දැනට අපේ රටේ ඇති තත්වයන් සිහිවූවානම් එය සම්පූර්ණයෙන්ම අහම්බයකින් සිදුවූවකි.

පින්තූර ලබා ගත්තේ : The Economist, Wikipedia

Advertisements

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, චීනය, දේශපාලනික, නොබෙල් සාම ත්‍යාගය, මගේ අත්දැකීම්, විද්‍යා, සමාජීය, සිංහල

6 responses to “සමාජ(ධන)වාදී චීනය සහ නොබෙල් සාම ත්‍යාගය

  1. Taboo Subjects

    නුසුදුස්සකුට දෙන සම්මානය සම්මානයට සේම එය ලබන්නාටද අවමානයකි. නොබෙල් සාම ත්‍යාගය ඒ කාලකණ්ණි මට්ටමට පැමිණ ඇත. එහි පිටුපස ඇත්තේ දේශපාලන අරමුණු විනා වෙන කිසිවක් නොවේ. මේ නිසා ඒ ගැන කතා කිරීමත් අර්ථ විරහිතය.

    නොබෙල් සාම ත්‍යාගය දිය යුත්තේ අට වසරේ සමාජ අධ්‍යයන කාල පරිච්ඡේදයේදී ඒ ඇයිදැයි විස්තර කරන්ට පුළුවන් කෙනකුටය.

    නොබෙල් සාම ත්‍යාගය දෙනු ලබන පදනම මෙසේය. “to the person who shall have done the most or the best work for fraternity between nations, for the abolition or reduction of standing armies and for the holding and promotion of peace congresses.”

    2009දී නොබෙල් සාම ත්‍යාග ලාභියා බරක් ඔබාමාය. ඒ ඇයිදැයි දන්නා කෙනක් නොවෙති. මගේ මතය නම් ඒ වසරේ ලෝක සාමය සඳහා ඊට වඩා මෙහෙවරක් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකාත් කළ බවය. LTTEය විනාශ කිරීම දේශීය වශයෙන් පමණක් නොව කලාපීය හා අන්තර්ජාතික වශයෙන්ද වැදගත්ය. (ඔවුන් විසින් ජනවාර්ගික ගැටළුව නිරාකරණය කළ බව මින් අදහස් නොකෙරේ.)

    2006 නොබෙල් සාම ත්‍යාග ලාභියා මොහොමඩ් යුනුස්ය. ඔහු බංග්ලාදේශයේ දිළින්දන් වෙනුවෙන් කළ මෙහෙය ප්‍රශස්තය. එහෙත් එය ලෝක සාමයට සම්බන්ධයක් නැත.

    චීනයේ ඒකාධිපතිත්වයට එරෙහිව ක්‍රියාකාරීහු දහස් දස දහස් ගණනක් විරෝධය පාති. ඉන් එකකු තෝරා ගැන්මත් අනෙකුන් නොසලකා හැරීමත් අතාර්කිකය. යුනුස්ගේ නිදසුන සේම මෙයද ලෝක සාමයට සම්බන්ධයක් නැත.

    නොබෙල් සාම ත්‍යාගය දිය යුත්තේ කාගේ හෝ මෙහෙවරක් අගය කරනු පිණිසය. එක එකාට ටොකු අනින්ට නොවේ. මෙසේ එය ටොකු ඇනීමට භාවිතා කිරීමෙන් වන්නේ ත්‍යාගය බාල්දු වීම පමණය.

    • “චීනයේ ඒකාධිපතිත්වයට එරෙහිව ක්‍රියාකාරීහු දහස් දස දහස් ගණනක් විරෝධය පාති. ඉන් එකකු තෝරා ගැන්මත් අනෙකුන් නොසලකා හැරීමත් අතාර්කිකය. යුනුස්ගේ නිදසුන සේම මෙයද ලෝක සාමයට සම්බන්ධයක් නැත”

      මගේ චීන මිතුරාගේ අදහසද මෙයමය.
      —-
      ඔබකියනා බොහො දේ සමග එකඟවෙමි. නමුත් දිළිඳුකම නැතිකිරීම තුළින් සාමය ඇතිකිරීමක් කළනොහැකිද?

      එසේම සාම ත්‍යාගය යනුවෙන් හැන්දින්වෙන්වාට වඩා පුළුල් තලයක මෙම ත්‍යාගය ක්‍රියාත්මකවන බවකුයි මට සිතෙන්නේ.

  2. මම හිතන්නේ මෙය කනේ පාරකට වඩා, නහයෙන් ඇඩීමක් බවය.

  3. බටහිර වැටීමගැන ඔවුන් තවම අවබොධ කරගෙන නැතැයි මට සිතේ. එබැවින් ඔවුන්ගේ පැත්තෙන් මෙය පහරදීමට තැත්කර ඇදවැටීමෙන් පස්ස බිම ඇනගත් කෙඳිරියක් කියානම් ඔබ කියන්නේ මමද එකඟවෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )