ආචාර්ය ඇල්කෙමියාට පිලිතුරක්

ඇල්කෙමියා විසින් ලියු “නරියකු‍ගේ තප්පුලෑම හරහා සිදුවන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට විරුද්ධවීමේ මූලික පියවරද?” යන ලිපියට පිලිතුරකි

ඔබ මෙන්ම මමද රසායන විද්‍යාව පිලිබඳ උසස් උපාධියක් ඇත්තෙකි. නමුත් මම අපොස උසස් පෙල විභාගයේ කෘෂිකර්ම විශය හැදැරීමට සුදුසුකම් ලබා ඒ සඳහා නොගොස් පේරාදෙනිය වි.වි. මුදල් නොගෙවා රසායන විද්‍යා මූලික උපාධිය ලැබුවෙමි. ප්‍රේමදාස ජනාධිපති අපගේ ජීවිත සමග කල සෙල්ලම් නිසා එක වසරක් අයි කෙම් (I Chem) ද කලෙමි. එනිසා ඔබ ලද අත්දැකීම ගැනද මට අවභෝධයක් ඇත.

ඔබ මෙම ලිපියෙන් සහ මීට කලින් ලියු ලිපිවලින්ද, සමහර බ්ලොග කරුවන් සඳහා ඔබගේ අදහස් දැක්වීම වලදීද ශ්‍රි ලාංකික වි.වි. සිසුන් සියල්ලන්ම ඉතා බාල්දු කරන ප්‍රතිචාර මා දැක ඇත. ඔබට කැමති අදහසක් දැරීමට අයිතිය තිබුනද, ඔබ නොලද අත්දැකීමක් ගැන ඔබතුමා දරන්නේ ඉතාමත් අන්තගාමි අදහසක් යැයි මට සිතේ. මා කලින් ලියා ඇති පරිදි පෞද්ගලික වි.වි. පිලිබඳව මාගේ විරෝධයක් නොමැත. නමුත් ලංකාවෙ නොමිලේ සපයන වි.වි. අධ්‍යාපනය නිසා මුලු ලොව පුරා විද්‍යාවට සිදුවී ඇති සේවය ඉමහත්ය. අද ලංකාවෙ විද්‍යාඟයින් ලෙස ප්‍රචලිත (අපේ රට තුල හෝ පිටත්දී විද්‍යාවට කල සේවාවන් නිසා) සියල්ලන්ම පාහේ අපේ ජාතික වි.වි. පද්ධතියේ මූලික අධ්‍යාපනය හැදැරු අයවෙති.

ඔබගේ පාඨමාළාවට සියලූම දේශණ පවත්වන්නට ඇත්තේද මෙම වි.විද්‍යාලවල දැනට සේවය කරණ අචාර්යවරුන් බව මා හොඳින් දන්නා කරුණකි. ඔබ කියන පරිදි රසායන විද්‍යාවට ලංකාවේ වි.වි. වලින් කිසිවක් වී නොමැතිනම් ඔබ එම ඇඟිල්ල දික් කරන්නේ ඔබගේම ආචාර්යවරුන් වෙතය.

මෙයට අමතරව ඔබ වසර දෙකක් තිස්සේ සති අන්තවලදී පමණක් ඉගෙනගත් රසායන විද්‍යාව ඇතුලුව තව විද්‍යා විශයයන් ගනනාවක් මා පේරාදෙණියේදි වසර හතරක් තිස්සේ හදාරා ඇත. ඔබ පිලිගත්තද නැතද ඔබට අනිකුත් විශයන් උසස් පෙලට පසුව ඉගෙන ගැනීමට නොහැකිවීමේ අඩුපාඩුව දැනෙන අවස්ථා ඇතැයි මට සිතේ. රසායන විද්‍යාව මුලික විද්‍යාවක් බැවින් සහ බොහෝ පර්යේශණවල ඇති අනිකුත් විද්‍යාවන් සමග මිශ්‍රවීම නිසා මම එසේ සිතමි.

වි.විද්‍යාලය තුල නොයෙකුත් වර්ගයේ මිනිසුන් මට හමුවී ඇත. නමුත් මා සමග එකට උපාධිය කල, මහපොලින් භාගයක් ඉතුරු කොට දෙමව්පියන්ට යවමින් ඉගෙන ගත් සහොදර සිසුන්ද මා දැක ඇත. ඔවුන්ගේ උත්සාහය සහ කැපවීම සමහර විටෙක මට තිබුනාදැයි මම සැක කරමි. පත්තර, රූපවාහිනී ජලාවන්හි ජේ.වි.පී කාරයින්ගේ මගඩිවලින් ඔබ වැනි වි.වි. වලට නොගිය අය සියලූම සිසු ප්‍රජාව ගැන අවසාන තීරණය ගනියි. ජාතික වි.වි. පද්ධතියේ බොහෝ වැරදි ඇති බව මා මින් පෙර ලියා ඇත. නමුත් ඒවා නිවැරදි කරවීම සඳහා මම මට හැකි දේ කරමි. වි.වි. පශ්චාත් උපාදි ආයතන වල විශය නිර්දේශයන් අලුත් කිරීමට දායක වීම, යම් පර්යෙශණ කටයුතු සමග සම්බන්ධවීම ආදිය දේ කරමි. ඔබ කරන විවේචනවලට අමතරව කරන්නේ කුමක්ද?

මා අයි කෙම් කල කාලයේදි රසායන විද්‍යා ආයතනය විසින් පවත්වන ලද්දේ පාඨමාළාවන් දෙකක් පමණි. උසස් පෙල සිසුන් සඳහා මෙම එක් දින වැඩ මුළු කවදා පටන් ගත්තාදැයි මම නොදනිමි. උ.පෙ. ප්‍රශ්ණ පත්තරය සැදීම එක් අයෙකුට වගකීම භාරවුවද කන්ඩායමක් විසින් කරන කාර්‍යයකි. බොහොවිට වි.විද්‍යාලකදීනම් එම ආයතනයේ අනෙකුත් ආචාර්යවරුන් සම්බන්ධකර ගැනීම පිලිවෙතකි. මහාචාර්‍ය දැරණියගල මහතා හොරෙක්යැයි මම නොසිතමි. නමුත් ඔබගේ සටහනේ ඇති ප්‍රවෘත්ති පටයට අනුව, එම පුද්ගලයා කියන දෙයෙහි වරදක් නැත. ඔහු ප්‍රශ්ණ පත්තරය පිටවන බවක් කියන්නේ නැත. මෙම සිදුවීම ආචාර්ය ධර්ම පද්ධතියට (professional ethics) නොගැනපෙන බව මටද සිතේ. එහෙත් මෙම ආචාර්යවරයා වරදක් නොකරණු ඇතැයි මම සිතමි. උදාහරණයක් ලෙස පේරාදෙණිය වි.වි. රසායන විද්‍යා අංශය විසින් මෙම ප්‍රශ්ණ පත්තරය සාදන දිනක එම අංශය උ.පෙ. සිසුන් හට මුදල් අයකොට වැඩමුලුවක් පැවැත්වුවහොත් එයද ආචර්ය ධර්ම පද්ධතියට නොගැලපෙන බව මට සිතේ.

අවසාන වශයෙන් ඔබ බොහො විට උදම් අනන පරිදි ශ්‍රී ලාංකික ජාතික වි.වි. තුලින් ඇමෙරිකාවට පැමිණ බොහෝ වි.වි. තුල නම ‍රැන්දු සිසුන් 100කට වැඩි ප්‍රමාණයක් මට නම් කලහැක. නමුත් ඔවුන් කිසිම කෙනෙක් අයි. කෙම් පහත්කොට කථාකරණු මා දැක නැත.වි.විදයාල වලින් විදේශයන්ට පැමිණ ආචාර්‍ය උපාධිය හැදැරූ සහ හදාරමින් සිටින ප්‍රමාණය ඉතා විශාල බව ඔබද දන්නා කරුණකි. ඔබ ලංකාවේ ජාතික  වි.වි. පහත් කොට සලකන්නේ කුමක් නිසාදැයි මම නොදනිමි නමුත් ඔබ වැන්නවුන් එම ආයතනවල ඇති  වරදවල් නිවැරදි කිරීමට කිසිවක් නොකරන බවනම් අනුමාන කල හැක. ඒයට අමතරව ඔබ මෙම ප්‍රවෘත්තියෙන් පැමිණ ඇති නිගමනය සහ ජ.වි.පෙ. සොහොයුරන් හැමදේටම කියන “නිධහස් අධ්‍යාපනයට විනාශකරවා” යන සටන් පාඨයත් අතර විශාල වෙනසක නැතිබව මගේ හැඟිමයි.

Advertisements

ප්‍රතිචාර 17

Filed under අධ්‍යාපනය, මගේ අත්දැකීම්, රසායනික, සමාජීය, සිංහල

17 responses to “ආචාර්ය ඇල්කෙමියාට පිලිතුරක්

  1. arunishapiro

    විචාරය බාල්දු කිරීමක් ලෙස බාරගන්න එපා. එවිට කවදාවත් අපගේ අඩුපාඩු සකස් කරගන්න බැරි වෙනවා. විචාරයේ දී අතිශයෝක්තිය හා භාෂාව හැසිරවීමත්, හිතේ තියන කාරණා වචනයට දැමීමේ මදිපාඩුත් සිද්ධ වෙන එකත් අමතක නොකරමු. නමුත් ඒ සියල්ලත් සමඟ සලකා බැලීමේ දී අද ලෝකයේ බොහෝ රටවල, ඇමෙරිකාවේ ද පවා, රජයේ පාසැල් හා විද්‍යාල අධ්‍යාපනය පවතින්නේ දියුණු ලෝකය හා සමඟ නොයන පහළ මට්ටමකයි. පුද්ගලික ආයතන මෙන් ඉක්මණින් වෙනස්විය නොහැකියාව ඊට පාදකයි. අපි මේ ගැන කතාබහක් නොකර පැත්තකට වී සිටියොත් සිද්ධ වන්නේ අවසානයේ ගම්බද, දුප්පත්, පහසුකම් නොමැති දරුවා ලබන අධ්‍යාපනය නගරබද, මැද පංතියේ, පහසුකම් ලබන දරුවා හා සමාන අධ්‍යාපන මට්ටමකින් නොවීමයි.

    ලංකාවේ නොමිලේ අධ්‍යාපන ලබන දරුවා ලෝකයට කොතරම් සේවයක් ඉටු කරනවා ද යන්න දැක ගන්නට වසර විස්සකට තිහකට පෙර ලෝකයට එක් වූ රජයේ විශ්ව විද්‍යාල සිසුවාත් අද එසේ එක්වන විශ්ව විද්‍යාල සිසුවාත් දැන සිටිය යුතුය. එදා එසේ එක් වූ සිසුවාට ලෝකයේ අනිකුත් අය හැදෑරූ කරුණුම හදාරන්නට අවස්ථාව තිබුණ ද, අද සිසුවන්ට විෂය හදාරන්නට දැනුම, පහසුකම් හා සේවාවන් ඇත්තේ ඉතා අඩුවෙනි. අනිත් රටවල අධ්‍යාපන ක්‍රම හා දැනුම දියුණු වූ වේගයට ලංකාවේ දියුණුව සිද්ධ වී නැත. උදාහරණයක් ලෙස අද ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල සෑම ශිෂ්‍යයයෙකුටම පාහේ තමන්ටම කියා පරිගණයක් හා හැම තැනම අන්තර්ජාල සම්බන්ධයට පහසුකම් ඇත. විවිධ රටවල, විවිධ ආයතන වලින් උගත් ගුරුවරයෝ සිටිති.

    අද ලංකාවේ කොතරම් අන්තර්ජාතික හා පුද්ගලික පාසැල් යයි කියා ගන්නා ඒවා ප්‍රාථමික මට්ටමින් පවා ඇත් ද? සොච්චමකට වඩා අනිත් ඒවායේ අධ්‍යාපන මට්ටම එදා රත්නපුර සීවලියේ තිබුණු තත්වයට වඩා උසස් යයි කියනු නොහැකිය. ලාංකික රජයේ විශ්ව විද්‍යාලයන් ද එදා ලෝකයට හරියන්නට නිසි අධ්‍යාපනයක් ලබා දුනි. එහෙත් අද එසේ යයි කියනු නොහැක්කේ රට රටවල විශ්ව විද්‍යාලයන්ට ගොඩ වැදී ඒවායේ කෙරෙන ඉගැන්වීම්, පර්යේෂණ හා සාකච්ඡා දැක ඇති අයෙකුටය.

    එකම තැනක, එකම ගුරවරුන්ගෙන් වසර ගණනාවක් අධ්‍යාපන ලබන අයෙකුට වඩා විවිධ රටවලින් විවිධ ආයතන වලින් අධ්‍යාපනය ලබන්නාගේ දැනුම වැඩිය. අද ලංකාවේ විශ්ව විද්‍යාවලවල ඉන්නේ එම විශ්ව විද්‍යාලයෙන්ම උපාධි ලත්, එම විද්‍යාලයේම උගන්වන ගුරුවරුන් වැඩි සංඛ්‍යාවකි. පර්යේෂණ හා ලියවිලි විදේශ ආධාර ලබාගන්නට හෝ පක්ෂයක් සතුටු කරන්නට ඔවුන් අතින් ලියැවෙන ඒවා වී ඇත. ගුරුවරු පිටරට යන්නේ ගමන් වියදම් පියවන ආධාර ලැබෙන සම්මන්ත්‍රණ සඳහා මිස දැනුම වඩාගන්නා සම්මන්ත්‍රණ සඳහා නොවේ.

    2008 දී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල කිහිපයක නොයෙකුත් වසරවල විවිධ විෂයයන් හදාරන සිසුන් හා කතාබහෙන් කාලය ගත කරන්නට මට අවස්ථාව ලැබුණි. මේ සිසු සිසුවියන්ට එවක ඇමෙරිකාවේ උසස් පෙළ පංතියේ වූ මගේ දියණියගේ දැනුමට සමාන දැනුමක් නොතිබුණි. වසර විස්සකට පෙර මා කැනඩාවට බහිද්දී මට හරි හරියට අනෙකුත් සිසු සිසුවියන් හා ගැටෙන්නට පසුබිමක් ලංකාවේ රජයේ අධ්‍යාපනය ලබා දී තිබුණි.

    අපි ඉගෙන ගත යුත්තේ අප වාසය කරන සමාජයට අවශ්‍ය පමණින් දැන උගතෙකු වීමට ද? නැතහොත් ලෝක සමාජයට සරිලන පමණින් දැන උගතෙකු වීමට ද? අඩුපාඩු දැකීම නිසා ඒවා පියවා ගත හැකිය. නොසලකා හැරීමෙන් ඒවා නැතිව නොයයි.

    • “2008 දී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල කිහිපයක නොයෙකුත් වසරවල විවිධ විෂයයන් හදාරන සිසුන් හා කතාබහෙන් කාලය ගත කරන්නට මට අවස්ථාව ලැබුණි. මේ සිසු සිසුවියන්ට එවක ඇමෙරිකාවේ උසස් පෙළ පංතියේ වූ මගේ දියණියගේ දැනුමට සමාන දැනුමක් නොතිබුණි”

      ඔබ මෙම කරන ප්‍රකාශය හා එකඟ වීමට තරමක් අපහසුයි… ලංකාවේ උසස් පෙල කියන්නෙ හරිම තරඟකාරි වගේම සංකීර්ණ විභාගයක් කිව්වොත් නිවැරදියි..එහි වෙනස් විය යුතු දේ බොහෝ තිබෙන බව මා පිළිගන්නවා…නමුත් ඒ හරහා දෙන්න උත්සහ කරන න්‍යායික දැනුම බොහොමයි(හරියට එය ලබා ගන්නා අයළුන්ට )ලංකාවේ උසස් පෙළ කරන සිසුවෙක් කිසිම ගැටළුවකින් තොරව ඇමරිකාවේ දෙවන වසර සිසුවෙක් ලෙස යොමු කරන්න පුලුවන් න්‍යායික දැනුම පමණක් සැලකුවොත්… මම මේ කතා කරන උදාහරණ බොහොමයක් රසායන විද්‍යාවට අඳාලව මා ලබපු අත්දැකීම්.. බොහොමයක් සිසුන්ගෙන් අහන්න ලැබුණු මැසිවිල්ලක් තමයි ඔවුන්ගේ පාසල් වලින් රසායන විද්‍යාව සම්බන්ධයෙන් ලැබුන පිටිවහල ඉතාම මඳ බව.. මා දකින ලෙස රටවල් දෙකේ ඇති ප්‍රධානතම වෙනස ලංකාවේ පවතින සම්පත් අඩුපාඩුවයි… න්‍යායික මට්ටමෙන් අපිට ලෝකයෙ ඕනෑම රටක් හා කරට කර ඉන්න පුළුවන්…
      තවත් කාරණයක් තමයි තිබෙන සීමිත අඩු පාඩු කම් යටතෙ වුනත් ඉතා හොඳ මට්ටමේ පර්යේශණ කරන ආචාර්යවරු ලංකාවේ තවමත් සිටිනවා.. නමුත් බහුතරය සාම්ප්‍රදායික රාමු වල කොටු වෙලා ඉන්න අය බව පිළිගන්න වෙනවා අකමැත්තකින් උනත්…

      ඇමරිකාවේ තත්වයට අපේ විශ්ව විද්‍යාල ගෙන එන්න තරමක් කාලයක් ගත වෙයි කියල එකයි මගේ හැඟීම..නමුත් එය කල හැක්කක්… අවශ්‍ය වන්නේ අපේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදු විය යුතු ආකල්පමය වෙනස් වීම් සහ රජය තෘතීයික අධ්‍යාපනය කෙරෙහි මීට වඩා අවධානයක් යොමු කිරීම..

    • Chem

      Maybe your daughter had an extraordinary knowledge. But as a current PhD student in Chem (from a SL gov uni) I can confidently say that, the content that they teach for 1’st year in grad studies is equivalent to things we learned in 3’rd year undergrad. When teaching classes as a TA I notice that the content been taught to freshman is equivalent to what we learned in A/L.
      As for IChem, I had friends who were following Chem special in my uni and doing IChem in the same time. They were saying that content and exams in IChem were so easy. A clear indication of this is in every batch most of the students who receive 1’st and 2’nd classes in IChem, are also following a degree in some uni.

  2. විචාරය බාල්දු කිරිමක් ලෙස කිසිවිටකත් නොසලකමි නමුත් එය විචාරය කරන ආකාරය අනුව තීරණය කරන්නට සිදුවෙනබව ඔබත් පිලිගන්නවා ඇති. ඔබ කියන භාෂා හැසිරවීම පිළිබඳ වැරදි සහ මදි පාඩු මා අතිනුත් සිදුවිය හැක.

    යම් කථාබහක් කෙරෙන ආකාරය මත එය හරිද වැරදියිද, ඒක පාක්ෂිකද යන්න ගැන අපි අතර තව දුරටත් සාකච්චාවිය යුතු යැයි මම සිතමි.

    ශ්‍රි ලංකාවෙන් ඇමෙරිකාවට ඉහල උපාධි සඳහා එන සිසුන් වැඩි ප්‍රමාණයක් පැමිනෙන්නේ රසායන විද්‍යාව සඳහා යැයි මා සිතනවා. එයට හේතුව ඇමෙරිකානු වි.වි. ක පලමු වසරේ සිසුන්ගේ 70%ක් පමණ රසායන විද්‍යාව හැදැරිය යුතු නිසායි. ඇරිසො(z)නා වි.වි. පලමු වසරේ සිසුන් 2000ක් පමණ රසායන විද්‍යාව කලා. එබැවින් රසායන විද්‍යාගාර පංති 80ක් පමණ තිබෙනවා. එයට අමතරව නිබන්ධන පංති සහ ප්‍රශ්ණ පත්‍ර ලකුණු කිරීම් වැනිදැ නිසා රසායන විද්‍යා දෙපාර්තමෙන්තුවට ලැබෙන් මුදල් ප්‍රමාණය ඉතා වැඩියි. එබැවින් පශ්චාත් උපාධි සිසුන්ව ගුරු උපස්ථායක තනතුරුදී බඳවා ගැනීම් වැඩියි. 2005දි ඇරිසෝනා වි.වි. රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලාංකික වි.විද්‍යාලවලින් උපාධි ලැබු පශ්චාත් උපාධි සිසුන් 19 දෙනෙක් සිටියා. එය මුලු පශ්චාත් උපාධි සිසුන්ගෙන් 10%කටත් වඩා වැඩියි. මෙම සිසුන් ඔබ හා වෙනත් අය කියා සිටින පරිදි ඉතා නරක අයනම් මෙසේ පැමිනෙයිද? විශ්ලේෂ්න රසායන විද්‍යාව සඳහා ඇමෙරිකාවේ 5වෙනි තැන ඇරිසෝනා වි.විද්‍යාලයට හිමියි. එමනිසා එය එතරම් හොඳ නැති තැනක්යැයි ඔබට කිව නොහැකියි.

    සමහර මිනිසුන් කියනා විධියට චීන මිනිසුන්හට කාර් එලවිය නොහැක, කලු මිනිසුන් ඉතාමත් දරුණු මිනිසුන් සහ හොරුය. මෙවැනි ඒකාකෘතිකථාවයන් බොහෝ ඇත. නමුත් 100% ම ඒවා නිවැරදි නොවේ. ඔබද එක අත්දැකීමකින් සමස්ථ වි.වි. සිසු ප්‍රජාව ගැන තීරණයකට එළඹගෙන ඇත. මා උගන්වා ඇති ඇමෙරිකානු සිසුන් අතර සියලූම හැකියාවන් මට්ටමේ සිසුන් හිඳ ඇත. කිසිම දෙයක් ඉගෙන ගත නොහැකි, හැකියාවක නැති, ලංකාවෙ සිසුන් සමග කරට කර හැපිය නොහැකි සිසුන්ද මේ අතර සිටි බව කිව යුතුය. එසේම මා සමග පශ්චාත් උපාධි කල මාගෙ ඇමෙරිකානු මිතුරන් බොහොදෙනෙකුගෙ බුද්ධිය පිළිබඳ මාගේ ඉමහත් ගෞරවයක්ද ඇත. නමුත් ඔවුන් සමග කරට හැප්පි වැඩ කල සිසුන් 19 දෙනෙක් මම එක විට දැක ඇත. තවන් වි.විද්‍යාලවල මෙවැනි කථා බොහොමයක් මම දනිමි.

    අවසාන වශයේ අපේ රටේ ජාතික වි.වි. වල ඇති ඉෂාර සඳහන් කර ඇති වැරදිද ඔබලා සඳහන් කරන සමහර වැරදිද ඇති බව මා බොහො විටෙක් පිලිගෙන් ඇත. ඒවා නිවැරදි කිරීම සඳහා විවේචන වලට ඔබ්බේන් ඔබලාගේ දායකත්වය කුමක්දැයි යන්න මාගේ එකම ප්‍රශ්නයයි.

  3. arunishapiro

    සංවාදයට ඉඩකඩක් දීම ගැන ස්තූතිය. හැකි තරම් කෙටියෙන් ලියන්නට උත්සාහයක් ගන්නම්. මුලින්ම කිව යුතු දෙකකි: 1. මා සටහන ලියුවේ රසායන විද්‍යාව විෂය ගැන නොව පාසැලින් හා විද්‍යාලයකින් ලබන “දැනුම” යන පුළුල් අදහසිනි. 2. මගේ දියණිය අද විශ්ව විද්‍යාලයේ නර්තනය හදාරන ශිෂ්‍යාවකි. ඇය හදාරන ලද විෂයයන් අතර රසායන, ජීව, භෞතික විද්‍යාවන් හා ගණිතය, ජ්‍යාමිතිය, Calculus විය. ඒ සියල්ලම ඉහළින් සමත් විය. මා 2008 දී මහනුවර උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරන (උසස් පෙළට ලංකාවේ පළමු තැන ලකුණු ලැබූ ශිෂ්‍යාවක් ද ඇතුළුව) සිසුවියන් පිරිසක් හා කතාබහේ යෙදී හුදු කුතුහලය නිසාම ඔවුන්ගේ පාඨමාලාවන්ට නියමිත පොත් කියවා බැලුවෙමි. ඒ නිසා රටවල් දෙකක පාඨමාලාවන්ට නියමිත වූ පොත් අතරත්, ඔවුන් තුල වූ දැනුම අතරත් මහත් පරතරයක් දුටුවෙමි. එදා මා කතාබහ කළ විද්‍යා සිසුවියන් අද ලංකාවේ හා පිටරටවල වෛද්‍ය, ඉංජිනේරු හා විද්‍යා පීඨයන්ට ගොස් ඇත. මගේ දියණිය නර්තනය හදාරද්දී තෝරාගත් එකම විද්‍යා විෂය Anatomy පමණක් වෙයි. රසායනය හැදැරීම ප්‍රථම උපාධියක දී හැමටම අනිවාර්ය නැත.

    ඇමෙරිකාවේ ඉගෙන ගන්නා වැඩි ලාංකික පිරිස රසායන විද්‍යාව අධ්‍යයනයේ යෙදෙනවා යයි මම අනුමාන නොකරමි. මේන් විශ්ව විද්‍යාලයේත්:http://www.umaine.edu/chemistry/graduate/grad-contact/, ඇරිසෝනාවේත්: http://www.biochem.arizona.edu/graduate_students ලාංකිකයෝ බොහොමයක් රසායන විද්‍යා අංශයේ සිටිය ද බොස්ටන්හි: http://www.bu.edu/chemistry/department/directory/ එක් අයෙක් වත් නැත. රසායන විද්‍යා අංශ rank කරන USNews: http://grad-schools.usnews.rankingsandreviews.com/best-graduate-schools/top-chemistry-schools/rankings/ පෙන්වා දෙන ආකාරයට ඇරිසෝනාව සිටින්නේ 38 වැනි ස්ථානයේය. මුලින්ම ඉන්නා California Institute of Technology ලාංකිකයෙක් නැති අතර:http://131.215.40.51/students.pdf, MIT ඉන්නේ එක් post doc: http://web.mit.edu/chemistry/www/directory-new/ කෙනෙකි. ඔබගේ ආයතනය හෑල්ලුවට ලක් කරනවා නොවේ. මෙවැනි ranking දත්ත ගැන මගේ එතරම් විශ්වාසයක් නැති බවත් සඳහන් කරමි. නමුත් වෙනත් මනින උපකරණයක් නොමැති නිසා එවැන්නක් උපයෝග කරගන්නට සිද්ධ වෙයි. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රංශ සාහිත්‍ය, ෆ්‍රෙස්නෝ හි කෘෂිකර්මය, ටෙනසි හි මාධ්‍යවේදය, ඔහායෝහි කළමනාකරණය, ප්‍රින්ස්ටන්හි ජීවවිද්‍යා ඉංජිනේරු, ඉන්දියානාවේ තාරකා ශාස්ත්‍රය වැනි විෂයයන් හදාරන/හදාරපු අය සිටින නිසා ලාංකිකයෝ විවිධ වූ විෂයයන් හදාරන්නට, පශ්චාත් උපාධි මට්ටමින් පමණක් නොව අද වැඩියෙන් ප්‍රථම උපාධි වලට ද එන නිසා එක් විෂයයකට වැඩියෙන් එනවා යයි ද කිව නොහැකිය. දන්නා තැනට එන හුරුව නිසාත්, ලාංකික විශ්ව විද්‍යාල හා ඇමෙරිකන් විශ්ව විද්‍යාල අතර අත්සන් කරන සම්මුති නිසාත් සමහර තැන්වලට වැඩියෙන් ලාංකිකයෝ එති.

    සාපේක්ෂව බලද්දී ඇමෙරිකන් දරුවන්ට වඩා ලාංකික දරුවෝ ඉගෙනීමට මහත් වෙහෙසක් දරති. ඔවුනට උවමනාවක් හා කැපවීමක් ඇත. නමුත් එපමණින් ඔවුනට දැනුම, පහසුකම් හා මාර්ග පාදා නොදුන්නොත් වේගයෙන් ඉදිරියට යන ලෝකයක දක්ෂතා ඇති ස්වල්පයකට හැරුණු කොට මහත් උත්සාහ දරණ වැඩි පිරිසකට අපි උසස් අධ්‍යාපනයට වරම් නොදෙමු. උසස් පෙළ තරඟකාරී හා සංකීර්ණ වීමෙන් පලක් ඇත්ද? නැතහොත් වැඩි පිරිසකට වැඩි අවස්ථා පාදා දෙන්නක් වනු අවශ්‍යය ද? අද පවතින අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා කීම ගරහන්නට නොව එය නඟාලන්නට උවමනාව ඇති කකියන වේදනාවකින් කියමි.

    http://arunishapiro.wordpress.com/2010/02/15/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b7%83%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b7%9d/

    http://arunishapiro.wordpress.com/?s=%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80

    • අරුණි…ලංකාවෙන් මෑත භාගයේ ඇමරිකාවට පැමිණි බහුතරය රසායනය හා භෞතික විද්‍යාව හැදෑරීමට පැමිණි අය බව ප්‍රචලිත කාරනයක්..පොඩ්ඩක් මේ පිලිබඳව සොයා බලන්න..මා 2008 වසරේ ඇමරිකාවට ආ සිසුවෙක්..එම නිසා ලංකාවේ මෑත කාලීනව පවතින ක්‍රම වේදයන් පිලිබඳව යම් අවබෝධයකින් මා මෙය පවසන්නේ.ලංකාවේ සමහර සිසුන් ඉංජිනේරු වෛද්‍ය උපාධි අතැර මෙම උපාධි සඳහා පිවිසීමේ ප්‍රවණතවක් තිබෙනවා..ඒ වෙනත් රටක උසස් අධ්‍යපන කටයුතු සඳහා පහසුවෙන් යා හැකි නිසා..

      ඔබ ලංකාවේ සිසුන් සිටින විශ්ව විද්‍යාලයන්හි මට්ටම් පෙන්වීම අඩක් පමනක් කර ඇති බවයි මට පෙනෙන්න.. අනිත් වැදගත් කාරණය අපිට වැදගත් වන්නේ ගුණාත්මක බවද ප්‍රමාණාත්මක බවද යන්න… ඔබට ලංකාවේ සිසුන් පශ්චාත් උපාධි සඳහා පිටත් වුන විශ්ව විද්‍යාල ගැන අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ අඳාළ පීඨයන්ගෙන් විමසා දැන ගන්න.. ඔබ ඔය පවසන ප්‍රථම උපාධින් සඳහා පැමිනෙන්නේ තරමක් අත මිට තිබෙන අයළුන් පමණයි..අප වැනි අයට තිබුනු මාර්ගය වූයේ ප්‍රථම උපාධිය හමාර කොට ශිෂ්‍යත්ව මාර්ගයෙන් මෙහි පැමිනීම…

      අධ්‍යාපනයේ වෙනස් වීම් සිදුවිය යුතු බව අප පිළිගන්නා කාරණයක් ..ඒ පිළිබඳව කිසිම තර්කයක් නෑ… නමුත් මගේ තර්කය දැන් පවතින ක්‍රමයෙන් ඉහළට පැමිණි අයළුන්ට පවා මෙවැනි රටවල සාර්ථකව තම කටයුතු කර ගෙන යා හැකියි…

      ඇමරිකාවේ ඉහලම වර්ගීකරණට අසු වෙන විශ්ව විද්‍යලයන්ට පිවිසීමට අප රටින් පැමිනෙන සිසුන්ට කළයුතු විභාග ගැන ඔබට අවබෝධයක් ඇතයි සිතමි… ජී.ආර්.ඊ විභාගයේ ඉහලම ලකුණු ප්‍රමානයක් ලබා ගැනීම එහි එක්තරා පියවරක්.. එහි භාෂාව කොටස ඔබ දැක ඇතැයි මා සිතමි…නැතිනම් එය දෙස පොඩ්ඩක් විමසුම් ඇසකින් බලන්න.එවිට ඔබගේ කුතුහලයට පිළිතුරු ලැබෙවි.. ඉහළ වර්ගීකරණයට අඳාළ ස්ථානයන්ට පිවිසීමේ එක් බාධකයක් ලෙස මා දකින කඩඉමක් එය.. තවත් වැදගත් කරුණක් තමයි විශ්ව විද්‍යාලයේ නමට වඩා යමෙක් කර තිබෙන පර්යෙශණයන්හි ගුණාත්මක භාවය දෙසයි බොහෝ අය බලා සිටින්නේ..

      බොස්ටන් යුනිවර්සිටියට වඩා හොඳ තැන් වල අපේ අයළුන් සිටිනවා(ඔබ බොස්ටන් වල වාසය කරනවාදැයි මා නොදන්නෙමි.).. ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මම සිටින්නේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ..මම ඉතාම සතුටු වෙනවා මෙහි පැමිනීමට හැකි වීම පිලිබඳව… මට එහි රෑන්ක් එක පිලිබඳව කිසිම ගැටළුවක් නැහැ,මා මගේ කාර්‍ය්ය නිසි ලෙස ඉටු කරන තුරු…

  4. “රසායනය හැදැරීම ප්‍රථම උපාධියක දී හැමටම අනිවාර්ය නැත.”
    ප්‍රථම වසරේ සිටින අයගෙන් 70% යනු හැම උපාදියටම අවශ්‍ය නැති බව පැහැදිලියයි මා සිතුවා.

    “ඇරිසෝනාවේත්: http://www.biochem.arizona.edu/graduate_students ලාංකිකයෝ බොහොමයක් රසායන විද්‍යා අංශයේ සිටිය ද”

    2010 වසරේ සිසුන් 19ක් සිටිබවක් මා කීවෙ නැත මාද ඇතුලුව 2005 වසරේ 19ක් සිටියා. ඔබට අවශ්‍යනම් එම අයගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නම්. මා බොරු කියන බව ඔබ හිතනා බවයි මෙවැනි සඹැඳියාවන් ඉදිරිපත් කිරීමෙන් මට සිතෙන්නේ.

    ඇමෙරිකාවේ ජනගහනය මිලියන් 310කි. චීනයේ මිලියන 1339ද, ඉන්දියාවෙ මිලියන 1184ක්ද ජනගහනයක්ද සිටිනවා. ශ්‍රි ලංකාවේ මිලියන් 21න් අනුපාතයක් ලෙස සලකා බලන කල එක් අයෙක් හිඳීමත් විශාල දෙයක්. මේවාට අමතරව සිසුන් විශාල සංඛයාවක් සිටින තවත් වි.වි. ‍රැසක් මට නම් කල හැකියි නමුත් මෙම සංවාදය මාගේ ලිපියේ මූලික කරුණුවලින් ඔබ්බට ගොස් ඇත.

    මෙසේ සිසුන් එක් වි.විද්‍යාලයක් සඳහා ගොණුවෙන්නේ පශ්චාත් උපාධි සඳහා ඇතුලුවීම් පටිපාටිය ගැන දැනුම අඩුකම නිසායි. එක් අයෙක් ගිය පසු එතැනට යාම පහසුයැයි ඒ අය සිතනවා. එහි යම් ඇත්තක්ද තිබෙන්වා. ඔබ කියනා පරිදි සිසුන් මහන්සිවී වැඩ කරණ බැවින් එම දෙපාර්තමේන්තු තවත් සිසුන් ඇතුලු කර ගන්නවා.

    ඔබගේ Rankings පි‍ටුවට අනුව බොස්ටන් වි.වි. 60වැනි ස්ථානයේ ඇත. එසේනම් 38 වැනි තැනක ඇති වි.විද්‍යාලයක විශාල සිසුන් ගනනක් සිටීම වැදගත් දෙයක්.
    එයට අමතරව මා කීවේ විශ්ලේශනාත්මක රසායන විද්‍යාවට 5වෙනි ස්ථානය බවයි. 2010 වසරේදී ඇරිසෝනාව 6වැනි තැනට පහත වැටී ඇත.
    http://grad-schools.usnews.rankingsandreviews.com/best-graduate-schools/top-chemistry-schools/analytical-science

    ඇමෙරිකාවෙ සිසුන් විශාල ප්‍රමාණයක්ද පාසැල් අධ්‍යාපනය නිම නොකරන බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි.
    http://www.all4ed.org/files/GraduationRates_FactSheet.pdf

    ඇමෙරිකානු වි.විද්‍යාලවල 2001-2007 වසර වලදි රෙජිස්ටර්වී සිටි තාවකාලික වීසා සහිත සිසුන් (විදේශ සිසුන්) වැඩිම ප්‍රමාණයක් හිඳ ඇත්තේ විද්‍යුත් ඉන්ජිනේරු විද්‍යාවටයි (19458), දෙවනුව වැඩිම සිසුන් ප්‍රමාණයක් රෙජිස්ටර්වී ඇත්තේ රසායන විද්‍යා විශය සඳහායි (7392). ඔබට කැමති විද්‍යුත් ඉන්ජිනේරු පීඨයක් වෙබ් පි‍ටුවක් බලන්න ඒවා පිරී ඇත්තේ ඉන්දියානු සිසුන්ගෙන්ය. යලිත් මා කිවූ දේ කියවා බලන්න, ලාංකික සිසුන් වැඩි ගනනක් මේවන විට පැමින ඇත්තේ රසායන විද්‍යාව සඳහායි. නමුත් මා මෙහිදී අදහස් කලේ පශ්චාත් උපාධි පමනකි. එය පැහැදිලිව සටහන් නොකිරීම මාගේ වරදයි.
    දැන් මෙය භෞතික විද්‍යාව සඳහාද නැඹුරුතාවයක් දක්වනවා. ඒයට අමතරව ඉන්ජිනේරු සිසුන්ද දැන් දැන් මට හමුවී තිබෙනවා.(http://www.nsf.gov/statistics/nsf10307/pdf/tab59.pdf)

  5. arunishapiro

    රසායනය නොව පොදුවේ විද්‍යා විෂයයන් හැදෑරීමට ලංකාවෙන් බහුතරය පැමිණෙන බව මම පිළිගනිමි. ලංකාවෙන් අද එන සිසුන් සේම වසර 20-30 කට පෙර ලංකාවෙන් ඉහළ උපාධි සඳහා පැමිණ අද විශ්ව විද්‍යාලවල උගන්වන ලාංකික මහාචාර්යවරුන් හා පුද්ගලික ආයතනවල රැකියා සඳහා ගිය අය ද සිටිති. එය එසේ නොවේ යයි ද ඔවුන් දක්ෂ නැතැයි ද කියා මා කියනවා නොවේ.

    විශ්ව විද්‍යාලවල මට්ටම් මැනීම සඳහා පාවිච්චි කරන ranking ක්‍රමවේදයන් ගැන එතරම් විශ්වාසයක් නැති බව කළින් සටහනක දී ද කියා ඇත. ක්‍රමවේදයේ වූ රසායනයට ඉහළ ලකුණු ලබාගත් විද්‍යාලයක හා ලකුණු වලින් ඈතින් සිටින අහඹු තෝරා ගැනීමක් වූ බොස්ටන් විද්‍යාලය ගත්තේ ඉහළින් වූ එකක ලාංකික සිසුවන් නොසිටින පමණින් පහළින් ඇති තවකෙක ද නොසිටින බව පෙන්වන්නට පමණි. කිසිත් අයෙක් බොරු කියනවා යයි මා සැක නොකරමි.

    ලංකාවේ අයෙක් සොයා ගන්නට ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකට ගියතොත් හැකි යයි මා වරක් මගේ බ්ලොග් සටහනක සඳහන් කළෙමි. ලංකාවෙන් එන්නට පහසු හැකියාව ඇතුළු එයට හේතු රාශියකි. අපි තවත් සංවාදයකට යන හෙයින් ඒ සියල්ල මෙහි ඇද නොගෙන මෙතෙක් නොකී එක කාරණයක් සඳහන් කරන්නම්. උසස් අධ්‍යාපනයට ඇමෙරිකානුවන් යන්නේ ඉතා ස්වල්පයකි. අද ඉහළ උපාධි සඳහා විදේශීය සිසුන් එන්නේ ඔවුන් දැනුමින් ඉහළම නිසා නොවේ. එය දැනුම පිළිබඳ වූ තීරණයක් නොවේ. ඉහළ ලකුණු ඇති ලාංකික සිසුවන් ද මෙහි ප්‍රථම උපාධිය ලබාගෙන පුද්ගලික ආයතනවල මූලික වසරක වේතනය (base salary) ඩොලර් හැත්තෑ දහසකට රැකියාවන් ලබන යුගයක අපි සිටිමු. ඒ නිසා වැඩිදුර අධ්‍යාපනය සොයන්නෝ අඩුය. විශ්ව විද්‍යාලවලින් ලැබෙන්නේ අඩු පඩි.

    පාදක වූ කාරණයට බැහැරින් දැන් සංවාදය යයි. මගේ සටහන ලියුවේ ලාංකික සිසුවාගේ දැනුම අද ඇමෙරිකාවේ සිසුවාගේ දැනුමට වඩා අඩු යයි කියන්නටය. ලංකාවේ විද්‍යාව හැදෑරූ ඉහළ පෙළේ පාසැලක උසස් පෙළ පංතියේ සිසුවියන් (ලංකාවේ ප්‍රථම ස්ථානය ද ගත්) හා ඇමෙරිකාවේ එවැනිම පාසැලක උසස් පෙළ පංතියේ ඉගෙන ගත් විද්‍යාව හදාරන්නට නොයන අයෙකු අතර ඇති දැනුම පිළිබඳ වූ පරතරයක් මා දැකි නිසාය. එසේ කීම ලංකාවේ සිසුන් බාල්දු කිරීමක් නොවේ යයි නැවත මතක් කරමි. මෙය පැහැදිලි කරගත හැක්කේ රජයේ පාසැල් හා පුද්ගලික පාසැල් අතර වෙනස්කම් දන්නා, විශ්ව විද්‍යාල අතර ද ඇති දැනුම විභජනය ගැන දැනුමක් ඇති අය‍ටය.

    දන්නා තොරතුරු වලින් ලියන නිසා අපගේ දැනුම වැඩි කරගැනීමට තවත් තොරතුරු සොයා ගැනීමටයි අපි නිතරම උත්සාහ කළ යුත්තේ. මෙහිදී මට අවශ්‍ය පවතින තත්වය හඳුනා ගන්නටය. පවතින තත්වය කෙසේදැයි නොදන්නා කල දියුණුවක් ඇති නොවේ.

    ලංකාවේ අද පවතින තත්වය යහපත් නම් අපි ලංකාවේ සිසුන් වෙනුවෙන් කිසිත් අළුත් යමක් කරනු අවශ්‍ය නැත. ඔවුන් ඇමෙරිකානුවන් හා හරි හරියට තරඟ කර දිනනු ඇත. එහෙත් ඊට වඩා ලාංකික පිරිසකට එම අවස්ථා ලබාදිය හැකියාව ඇත්නම් ඒ ගැන යමක් කරන්නට ඉඩකඩක් ඇත. කෙනෙක් වඩා නිවරද යයි කියන්නට උවමනාවක් නැත. මම දරණ ආකල්පය වැරදි යයි යමෙක් පෙන්වා දෙන්නේ නම් එය බාර ගනිමි.

    • ishara

      ඔබ එක උදාහරණයක් භාවිතා කරමින් සමස්ත ලාංකීය ශිෂ්‍යයන් පිලිබඳව නිගමනයකට එළඹීම හා එකඟ වීමට අපහසුයි.. ඔබ කියන විදියට මා හට ඔවැනි උදාහරණ කිහිපයක් දිය හැකියි ලංකාවේ ළමුන් ලබන න්‍යායික දැනුම උසස් යැයි පවසන්න…නමුත් මා එසේ නිගමන වලට එලඹීමට අකමැතියි….න්‍යාත්මක දැනුම අතින් රටවල් දෙක අතර වැඩි පරතරයක් නොමැති බව මගේ පෞද්ගලික හැඟීම.. (මා පේරාදෙනියේ වසරක් තාවකාලික සේවයට අමතරව වසර 5ක් පෞද්ගලික පංති පවත්වා ගත් අත්දැකීම් පිට්ස්බර්ග් හි වසර 2ක් උගැන්වීමෙන් ලබා ගත් අත්දැකීම් මත එළඹුණු නිගමනයක් මෙය )

  6. Dr.Sam

    Dear Middle paath,
    Maa kawada ho liviya yuthui yai sitha siti adahas bohomayak obage lipiye ethulath veema gena ithama sathutata path wemi. Oba men mamada nidahas adyapanayen igena, americawe acharya upaadiyak hadaara eththemi. IChem aya nitharama kiyanne eya jaathika vishvavidyala wala Special degreeyata samana bawai. Meya nam vihiluwaki. Namuth piratata wala graduate program walata apply karaddi ea ratawala aya IChem, Peradeniya or Colombo kiya wenasak danne netha. Wediyen GPA thiyana kena thora gani. Peradeniyen BSc degreeya labaagena IChem sisunta nomile tution labaa dun kenek hetiyata IChem wala vishaya nirdeshaya gena honda heti danimi. Ichem 1st class wala denuma genada honda heti danimi. Peradeniye Sp degree ekata select wenna wasara 2k subjects 3k hederiya yuthuya. Chemistry weni central science ekak hedereemedi meya itha wedagathya.Sisun 200k pamana atharin 20k 25k thora gani. Quantum Mechanics, Statistical Thermodynamics weni 1 credit courses pass une neththem degree eka gannada beriya. Namuth IChem wala mewa eka prashnayaka kotas ya. IChem sisun mewa gedi pitin athahera 1st class gani. Thawada peradeniye degreeya complete kireemata 1 credit seminar, 3 months industrial training , 1 yr research aniwaryaya. Sema wasarakama practical classes, practical test , lab reports maha, godaki. maa danna paridi methak wanathuruma ichem sandahaa research thibune netha.

    Lankawe private university patan gannawata oba men mama da virudda nethi namuth ewaye qualitiya gena soyabeliya yuthuya. Nettam ewaath indiyaawe thiyana upaadi kada gaanata wete.

    Americawe wesena mahaththayek lankawe university lamaita denuma adui kiya liyaa thiyanawa mama dekka. Americawe sisunta wasara gananaawak uganwa ethi kenek hitiyata mehe 1st year lamainta eththe lankawe O/L mattame denumaki. Freshman wasara iwara wena wita lankawe A/L mattamata lan vee etha. Lankawe 3rd saha 4th yrs wala kala samahara courses mehe graduate level courses ya.

    NAMUTH, maada ethulu lankawe degree labaagath ayata eka deyak netha. Ea USA wala lamunta ethi SKILLS yannai. Api boho denekuta practically hithanna, aluthen deyak nirmanaya karanna, mannual ekak kiyawa instruments operate karanna beriya. Ea athin americanuwan apita wadaa boho idiriyeni. Ape adyapana kramaye wenas viya yuthu thena methanai.

  7. Dr.Sam

    @Aruni
    මුලින්ම ඉන්නා California Institute of Technology ලාංකිකයෙක් නැති අතර

    Mulinma inna Caltech wala Peradeniye Chem Sp kala sishayaviyak siti 🙂

  8. Aruni

    I am out of town now and will write a reply when I get back home but here is a link showing that the american students lacking knowledge of history. http://diverseeducation.com/article/9314/

    Similar studies have been done about math and science.

    Sorry about the misunderstanding about posting links. More later!

  9. arunishapiro

    ලංකාවේ සිසුවා හා ඇමෙරිකාවේ සිසුවා අතර දැනුම පරතරයක් ඇත් ද?

    ඇමෙරිකාවේ උසස් පෙළ පංතිවල රසායනය ඉගෙන ගන්නා විෂයමාලාව: http://www.collegeboard.com/student/testing/ap/sub_chem.html ද, ලංකාවේ උසස් පෙළ රසායන විෂයය මාලාව: http://www.gceal.info/modules.php?name=Forums&file=viewtopic&t=440 ද මෙසේය. AP නොහොත් Advance Placement යනු අද දැනුම සොයන ඇමෙරිකන් දරුවන් උසස් පෙළ අවසන් වසර දෙක තුල දී හදාරන පාඨාමාලාවන් වෙති. සංසන්දය රසායනය දන්නා අයට බාරයි.

    ඇමෙරිකාවේ සිසුන් ඉතිහාසය නොදන්නා බව කීම වැනි “පටු” කතාබහට නොබසිමු. ලංකාවේ අය විභාග සමත්වන අනුපාත ගැන කතා කරන්නට, ලංකාවේ විශ්ව විද්‍යාලවල නවක වදය, ගුටිබැට, වර්ජන හා කෝලාහල ගැන කතා කරන්නටත් මෙතැන අවශ්‍ය නැතිවා සේය.

  10. මුලින්ම කිව යුත්තේ ලංකාවෙ උසස් පෙල සිසුන් අතර සහ ඇමෙරිකාවෙ පාසැල් අධ්‍යාපනය අවසන් කරන සිසුන් අතර සැසඳීමක් කිරීමවත්, ලංකාවේ වි.වි. සහ රසායන විද්‍යා ආයතනය සැසඳීමවත් මෙම ලිපියේ අරමුණ නොවුණු බවයි. නමුත් ඇල්කෙමියාගේ ලිපියේ ඇති ඒක පාක්ෂික භාවය පෙන්වාදීමත් එහි අනික් පැත්ත පෙන්වීමත්, ලංකාවේ වි.විද්‍යාල වලින් රසායන විද්‍යාව හදාරා ඇමෙරිකාවට පැමිණ වැඩිදුර ඉගෙන ගන්නා විශාල පිරිසක් සිටින බව සහ ඔවුන් ඉතාමත් හොඳින් වැඩ කරගෙන යන බව පෙන්වීමත් මෙහි අරමුණ විණි. නමුත් දැන් පැන නැගී ඇති ප්‍රශ්න වලට පිලිතුරුදීම යුතුකමකි.

    අරුණි – ඔබගේ පිලිතුරට අනුව විශය නිර්දේශයන් සැසඳීමෙන් මෙම ගැටලුව නිරාකරණය කරගත හැකිනම් එය ඉතාමත් ලෙහෙසිවේ.

    මෙන්න ලංකාවේ විශය නිර්දේශය ඉංග්‍රිසි භාෂාවෙන් – http://www.nie.sch.lk/ebook/e12syl18.pdf

    ඔබට කැමති රසායන විද්‍යාව දන්නා කෙනෙකුගෙන් විමසා බලන්න. ඇමෙරිකාවේ උසස් පාසැලක රසායන විද්‍යා ගුරුතුමෙකුන් අසා බලන්න. ඔබටම පිලිතුර සොයා ගැනීම මම භාර කරමි.

    මෙයට අමතරව මේ සමග ඔබ කැමති ඇමෙරිකානු වි.විද්‍යාලයක ප්‍රථම වසරේ රසයාන විද්‍යා විශය නිර්දේශයක් සසඳා බලන්න.

    ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ ඇති අඩුකම් ගැන වෙනම් ලිපියක් ලියන්නම් එවිට අපි ඇත්තම ප්‍රශ්න සහ ඒවාට විසඳුම් සාකච්චා කරමු.

  11. arunishapiro

    මුදිත, ආයෙත් ස්තූතිවන්ත වෙනවා සුහදව කතාව ගෙනයනවාට. මම ප්‍රතිචාරය දාන්න ආවේ //ශ්‍රී ලාංකික වි.වි. සිසුන් සියල්ලන්ම ඉතා බාල්දු කරන ප්‍රතිචාර මා දැක ඇත.// යන වාක්‍යයට පිළිතුරක් ලියන්නයි. මොකද ඊට පාදක වෙච්ච ප්‍රතිචාරය තිබුනෙ මගේ අඩවියේ. මම ද ඒ අය අතරට වැටෙනවා කියල හිතන අය සිටීම නිසා ඒ කාරණය පැහැදිලි කරන්නයි. එනම්, අඩුපාඩු දැකීම බාල්දු කිරීමක් නොවන බව කියන්නටයි. මම ඇමෙරිකන් ක්‍රමයේ අඩුපාඩු ගැන වැඩියෙන් ලියලා තියනවා. ඒ නිසා මාව බාල්දු කරන අයගේ පැත්තට දාන්න නොකියන්න. ඒක විස්තර කරන්න ගිහින් “අනාගත්ත” කොටස තමයි පැහැදිලි වෙයි කියා අනුමානයෙන් අපහැදිලි දේවල් ලිවීම. උදාහරණ දෙක වුනේ ඇමෙරිකන් විශ්ව විද්‍යාල වල ඉන්න ලාංකික සිසු සංඛ්‍යාව හා විෂය නිර්දේශ සැසඳීම. දෙකම ඉදිරිපත් කළේ ලාංකික සිසුවාගේ න්‍යාය දැනුම අගය කරන අතර ඔහුට/ඇයට තවත් සම්පූර්ණ වූ දැනුමක් ලබන්නට අවස්ථා, ඉඩකඩ සැලසිය හැකි නම් අපිට ඇමෙරිකාවේ හැම විශ්ව විද්‍යාලයකම රසායන අංශයට සිසුවෙක් එවන්න හැකියාව ඇති බව කියන්න. න්‍යාය දැනගත්තට මඳි (එය ඉතා වැදගත් කොටස වුනත්) දැනුම එක හා සමානව නැති නිසාත්, එය ලබාදිය හැකියාව ඇති නිසාත්, ඇමෙරිකන් විශ්ව විද්‍යාල හැමකකම ලාංකික සිසුවන්ට තව ඉඩකඩ ඇති බව පෙන්වා දෙන්න. මන්ද ලංකාවේ පාසැල් අධ්‍යාපනය ලබන අයගෙන් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ සියයට 2% ක්, ඒ අතරින් විද්‍යාව හදාරන්න ලැබෙන්නෙ ඊටත් වඩා අඩු පිරිසකට. විෂය නිර්දේශයන් ඉදිරිපත් කළේ පවතින්නා වූ (උසස් බාලිකා විද්‍යාලය උදාහරණයට ගත්තෙ ඒකයි) ක්‍රමයේ නිර්දේශ ‍එසේ වුවද අත්පොත් හා පාඩම්‍ පොත්වලින් දරුවාට යන මඟ දුෂ්කර බව කියන්න. මම ඇමෙරිකාවේ වසර විස්සක් පමණ උගන්වන ලාංකික විශ්ව විද්‍යාලයකින් ප්‍රථම උපාධිය ලත් කථිකාචාර්යවරියක් හා කතාබහ කළා. ඔව්, නිර්දේශ දෙක ගත්තම ලංකාවේ නිර්දේශය මෙහෙ වසරක උගන්වන නිර්දේශයට වඩා පොඩ්ඩක් වැඩියෙන් හොඳයි කියන්න පුළුවන් කියා ඇය කිව්වා. මගෙ ප්‍රශ්නයත් එයයි. වසර විස්සකට පෙර ඇය ලංකාවෙන් දැනුම ලබාගෙන ඇමෙරිකාවට එන්න වරම් ලැබුවා. අද දිනයේ එනවාටත් වඩා කොපමණ සංඛ්‍යාවක ලාංකික දරුවන්ට එන්න අවස්ථා අපට උදාකර දිය හැකිද? ඒ සඳහා ඇති අඩුපාඩු පුරවා ගන්නා ආකාරය ගැන කතා කිරීම “ශ්‍රී ලාංකික විශ්ව විද්යාසල සිසුන් සියල්ලන්ම ඉතා බාල්දු” කිරීමක් නොවේ කියන්න ලියූ ප්‍රතිචාරය මෙහෙමවත් පැහැදිලි නැත්නම් වරද මාගේය.

    ඔයා ලියන්න අදහස් කරන ඊ ළඟ ලිපිය අද දවසේ ඉතා වැදගත්. සාකච්ඡාව සුහදව දිගටම ගෙන යමු.

  12. “අද දිනයේ එනවාටත් වඩා කොපමණ සංඛ්‍යාවක ලාංකික දරුවන්ට එන්න අවස්ථා අපට උදාකර දිය හැකිද? ”
    දැනට වසර කිහිපයකට වඩා මෙරටට ලංකාවෙන් පැමිනෙණ සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා… මෙය පසුගිය වසර කීපය පුරාවටම ක්‍රමිකව වර්ධනය වන්නක්…2007 පේරාදෙණියෙන් පිටවූ රසායන විද්‍යා විශේෂ උපාධිධාරීන් 40 න් 20කට ආසන්න පිරිසක් අද සිටින්නේ ඇමරිකාවේ…ලංකාවේ සිටින පිරිස වැඩිදුර අධ්‍යාපනය සඳහා නොගොස් රැකියාවන්හි නිරත වන්නන්.. අපට තවත් සිසුන් ගෙන්වා ගැනීමට නම් නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සිදු කරන්න වෙනවා..අනිත් වැදගත් කරුණ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් මෙය ඉහල අගයක් බව මඟේ හැඟීමයි

  13. න්‍යාය දැනුම පමණක් මදි බව පිළිගන්න අතරම ඉෂාරත් එවැනි දෙයක් කලින් ප්‍රතිචාරයක ලියා තිබුණා. මගේ අචාර්‍ය උපාධියේ ප්‍රථම වසරෙ සිදුවූ සිද්ධීන් කිහිපයන් නිසා න්‍යාය දැනුම ප්‍රබල ලෙස තිබීමේ වාසි මට තේරුම් ගියා.
    සමහර ඇමෙරිකානුවන් හට රසායනික උපකරණවල බොත්තම් එබීමේ හැකියාව තිබුණද එතෙනින් එහාට යමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. තවත් අත්දැකීම තිබුණද මෙතැනින් නවතින්නම්….

    අවසාන ලෙස යමක් කිව යුතුයි. ඇල්කෙමියා ඔබගේ සටහනකට ප්‍රතිචාර දක්වා තිබුනු ලිපිය වි.විද්‍යාල සිසුන් ගැන කිසිම සඳහනක් තිබූ එකක් නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )