උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද?

ඔබ මෙය කියවනවානම් මෙහි අග ඇති ප්‍රතිචාර ටිකද කියවන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

මෙම සටහන කියවන අයගෙන් මුලින්ම ඉල්ලීමක් කලයුතුව තිබේ. කරුණාකර ඔබගේ අදහස් ප්‍රතිචාරයක් ලෙස සටහන් කරන්න.

පසුගිය දිනකදී මම සම්භන්ධවී වැඩ කරන කන්ඩායමක යාහූ කන්ඩායම තුල එක් අයෙකු විසින් ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමට යනවායැයි පලවී තිබුණු පුවතක සන්ධානය සටහන් කල පසුව ඇතිවු විවාදයක තොරතුරු මෙහි සටහන් කරමි.

මා ලංකාවේ නිධහස් අධ්‍යාපනයේ සම්පූර්ණ නිර්මානයකි. පලවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දෙමටගොඩ වේලුවන විදුහලටත්, හයවන ශ්‍රේණියේ සිට උසස්පෙල දක්වා කොළඹ රාජකීය විද්‍යාලයටත්, එතැනින් පසු පේරාදෙනිය විශ්ව විද්‍යාලයටත් නොමිලේම මගේ ගමන ගියෙමි. මගේ දෙමව්පියන් දෙදෙනාම රජයේ සේවකයන් බැවින් මධ්‍යම පාංතික ජීවිතයක් ගෙවූයෙමි.

පාසැල් යන කාළයේදී බස්, කෝච්චි සීසන් ටිකට් සහ විවේකයේදී කෑමට පාං පෙතිදෙකක් රැගෙන පාසැල් ගියෙමි. අතේ සල්ලි නොතිබීම නිසා විට බස් රථය අලලා ගැනීමට බැරිවී පයින් ගිය වාර ගනන අනන්තය. මා සමග එකට පාසැල් ගිය යහලුවන් නිසාත් මගේ දෙමව්පියන් නිසාත් මේ කුමන දෙයක්වත් කරදර කම් කටොලු ලෙසනම් මට පෙනුනේ නැත.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පසුව ඇමෙරිකාවේ ආචාර්‍ය උපාධිය හැදැරීමට පැමිනියෙමි. පලවේනි සතිය තුලම එම වාරය සඳහා ගාස්තුලෙස $1200ක්  (ඒ දිනවල හැටියට රු. 75000ක් පමණ) ගෙවන්නට සිදුවුනෙය. මම එතරම් පොහොසත් කෙනෙකු නොවු/වන බැවින් මෙම මුදල ගේවීමට සිදුවුවිට ලංකාවෙ අධ්‍යාපනයේ අගය ඉතාතදින් දැනිනි. උපාධියට පසුව වසර කිහිපයක අත්දැකීම් ලභාගෙන ලංකාවට නැවත පැමිනීම මගේ අර්මුණ විය. එය තවම ඉටුකර ගැනීමට නොහැකිවීම ගැන මම ඉතාමත් පසුතැවිල්ලකින් සිටිමි. මම හැදෑරුවෙ විද්‍යා විශයයන් බැවින් ලංකාවෙ මා ඉගෙන් ගත් දේ වලට සරිලන රක්ෂාවන් නොමැති වීම මේ සඳහා වැඩිදුරටම බලපෑ හේතුවයි.

මුලින් සඳහන් කල විවාදයේ තොරතුරු කීමට මගෙ පසුබිම වැදගත් යැයි මට සිතිනි. ඉහත සඳහන් කල පුවත කියවීමෙන් පසුව එම කන්ඩායමේ කිහිප  දෙනෙකු කියා සිටියේ ලංකාවෙ උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට කාලය පැමින ඇතිබවය. මම ඔවුන් ගෙන් ඒ සඳහා හේතු ඇසූවෙමි. ඔවුන්ගේ කියා සිටියේ උසස් අධ්‍යාපනය මිනිසුන්ගේ මූලික අයිතියක් බවය. මමද මෙය තරයේ විශ්වාස කරමි. උසස් පෙල සමත්වන සියලුම දෙනා විශ්ව විද්‍යාලයට යැවීමට ආන්ඩුවකට වියදම් කලනොහැකි බව සියලු දෙනාටම පැහැදිලි කරුණකි. මේ සඳහා පිලියමක් හැටියට විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවා පැමිණීමට කැමති අයට පැමිණීමට ඉඩ හැරිය යුතු බව මේ අයගේ හැඟීමවිය. ඉන් අනතුරුව මම ඔවුන්ගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසූවෙමි.

1. විශ්ව විද්‍යාලය තුල මුදල්ගෙවා සහ මුදල් නොගෙවා ඇතුලුවූ සිසුන් කන්ඩායම් දෙකක් සිටින විට එය පංති ආරවුලකට මුල පිරීමක් නොවේද?

2. විවිධ විශය ධාරාවන් සඳහා සිසුන් තෝරා ගන්නේ කෙසේද? (උදා. ලෙස – මුදල් නැති වෛද්‍ය සිසුන් සමග ජීව විද්‍යාවටවත් නොතේරුනු පොහොසත් සිසුන්ද සිටිය හැකිනේද?)

3. දැනට විශ්ව විද්‍යාලට ඇතුලු නොහැකිවෙන පොහොසත් ලමුන් පිටරටවලට ඉගෙනීමට යන අතර එවැනි දෙයක් කල නොහැකි අය රක්ෂා සොයා ගනී. සල්ලිගෙවා අධ්‍යාපනය හැදෑරිය නොහැකි ලමුන් මොන විධියකටවත් එම ක්‍රමය යටතේ විශ්ව විද්‍යාලයට යයිද?

4. දැනට වසරකට 20000ක් පමණ විශ්ව විද්‍යාලයට යවා එම අයටත් රස්සා නැති රටක, 90000ක් පමණ විශ්ව විද්‍යාලයට ගියහොත් උගත් මිනිසුන් කීදෙනෙක් රක්ෂා නොමැතිව සිටීවිද?

5. එම තත්වය යටතේ තිබෙන් රස්සා කීපයටත් සල්ලිගෙවා ඉගෙනගත් අය (සල්ලි සමග බලයත්, සම්භන්ධකමුත් ඇතිවන නිසා) මුලින් පැන නොගනීවිද?

6. ආණ්ඩුව උසස් අධ්‍යාපනය සඳහා වසරකට වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.37% පමනී. පසුගිය වසර කිහිපය තුල මෙම ප්‍රතිශතය පහලගොස් ඇත. මෙය ආණ්ඩුවේ මුලු වියදමින් 1.67%ක් පමනයි. එසේනම් වසර ගනාවක් තිස්සේ ඉතා පාඩු ලබන දුම්රිය, තැපල්, බස්, ගුවන් සේවාවන්, සියල්ලන්ටම කලින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කල යුත්තේ ඇයි?

http://www.ugc.ac.lk/en/statistics/educational-indicators.html

නිධහස් අධ්‍යාපනය නොතිබුනානම් ගේදොර උකස් තබාහෝ මගේ දෙමව්පියන් මට උගන්වනු නොඅනුමානය ඒවුනත් එතැනින් එහාට ඉගෙන ගැනිම ගැන නොසිතා ගේදොර බේරා ගැනීමට මගේ උත්සාහය යෙදීමට සිදුවෙන බව නියතය. උසස් අධ්‍යාපනය අවසන් කරන සෑමදෙනාහටම රක්ෂාවන් නොදිය හැකිනම් පෞද්ගලික විශ්ව විධ්‍යාලවලින් රටට විය හැක්කේ හානිය පමනක් බව මම සිතමි. දැනට අපේ රටේ ඇතිවන රක්ෂා බොහොමයක් සඳහා උපාධියක් අවශ්‍ය නොවේ. යම් කෙනෙකුගෙ සුදුසුකම් වලට සරිලන වැඩ සහ පඩියක්ද සහිත රක්ෂාවක් තිබීමද මූලික අයිතියක් විය යුතුයැයි මම සිතමි.

සියලු දෙනාටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දිය යුතුවුවද, එයට කලින් කලයුතු දේවල් විශාල සංඛ්‍යාවක් ඇතැයි මට සිතේ. මා හරිද වැරදියිද දැන ගැනීමට ලැබේනම් මෙම ලිපියෙ අරමුණ ඉටුවූවා යැයි සිතමි.

Advertisements

ප්‍රතිචාර 25

Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

25 responses to “උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද?

  1. මගේ පසුබිම ඔබගේ පසුබිමෙන් වෙනස් වන්නේ  අධ්‍යාපනය හැදෑරූ ආයතනවල සුළු වෙනසක් පමණි. එහෙත් ඔබගේ මතයට මම එකඟ නොවෙමි. ලංකාවට පෞද්ගලික වි.වි. අවශ්‍ය යැයි මම විශ්වාස කරමි. මට වැටහෙන ලෙස ඔබ නඟා ඇති ප්‍රශ්නවලට පිළිතුරු පහත පරිදියි.
    1. නැත
    2. ඔවුන්ගේ කැමැත්ත මත. උදා.-ඔව්
    3. දැනට ඇති තත්ත්වය මත ඔවුනට කොහෙත්ම වි.වි යා නොහැකි නමුත් පෞ.වි.වි ඇති කළොත් ඔවුන්ට වි.වි. යාමට අවස්ථාවක් ලැබේ
    4. පෞ. වි.වි ඇති කිරීමෙන් පමණක් විරැකියා ප්‍රතිශතය වෙනස් නොවනු ඇති. උපාධිධරයන් යනු රැකියා හඹා යන්නන් නොව ව්‍යවසායකයන් විය යුතු බව මගේ මතයයි.
    5. දක්ෂයාට තැන ලැබේවි. මුදල් ගෙවා ඉගෙනගත්තත් අදක්ෂයාට තැනක් නැති වේවි. (උදා- පරිගණක ක්ෂේත්‍රයේ පෞද්ගලික පාඨමාලා කොතෙක් තිබුනත් රජයේ වි.වි. වල පරිගණක ඉංජිනේරුවන්ට රැකියා අවස්ථා සුලබයි.)
    6. සියල්ලටම කලින් අධ්‍යාපනය නිවැරදි මඟට ගතහොත් පමණයි ඉතිරිය රැකෙන්නේ.

    • මම පෞද්ගලික වි.වි. වලට විරුද්ධ නැහැ.
      1. දැනටත් අපේ වි.වි. සිසුන් අතර විවිධාකාර භේදවීම් තියෙනවා නේද?
      3. සල්ලි තියෙන අය දැනටත් පිටරට වල වි.වි. වලට යනවා නේද?
      4. කොයි විධියට වි.වි. ගියත් දැනට සියලූම විශයයන් වලට එකහා සමානව රක්ෂානැති නිසා, රක්ෂා තියෙන ඉංජිනේරු වැනි පීඨවලට ඉල්ලුම වැඩිවී අනෙකුත් විශයයන් අමතකවෙලාම යයිද?
      5. දක්ෂ අයටම තැන ලැබෙනවානම් ඉතා හොඳයි.

  2. රාජ්‍ය වි.වි. පෞද්ගලීකරණය හෝ එම පාඨමාලාවලට මුදල් ගෙවා සිසුන්ට ඇතුල්වීමට ඉඩ දියයුතු බව මම සිතන්නේ නෑ. පෞද්ගලික ආයෝජකයින්ට අළුතින් වි.වි. ඉදි කර සිසුන් බඳවාගැනීමට ඉඩ දිය යුතු බවයි මම හිතන්නේ. රාජ්‍ය වි.වි. වල දැනට ඇති සම්පත් (හෞතික හා මානව) එම පෞ.වි.වි. වලට ලබා දිය යුතු නෑ.

    1. දැනට වි.වි. සිසුන් අතර ඇති භේද වලට වඩා ලොකු වෙනසක් මුදල් ගෙවා ඉගෙනගන්නා සිසුන් සිටීමෙන් ඇති නොවනු ඇති.
    3. දැනට මුදල් ගෙවා පිටරට ඉගෙනගන්න යන සිසුන්ගෙන් යම් කොටසක් මෙරටම නතර වෙයි. එය විදේශ විනිමය ඉතිරි කරගැනීමක්. එමෙන්ම වෙනත් රටවලිනුත් සිසුන් ආකර්ෂණය කරගන්න පුළුවන් නම් විදේශ විනිමය ලබාගන්නත් පුළුවන්.
    4. එවිට රටේ රැකියා ඉල්ලුමට ගැලපෙන පරිදි ඒ ඒ ක්ෂේත්‍රවල උපාධි ගන්නා පිරිස වෙනස් වේවි. දැනට ඇත්තේ රටේ රැකියා ඉල්ලුමට සරිලන ලෙස ඒ ඒ ක්ෂේත්‍රවලට අවශ්‍ය සිසුන් ගණනක් සැපයීම නොව කෘතිමව ඇති කළ සැපයීමකට ඉල්ලුමක් ඇති කිරීමට උත්සාහ ගැනීමක්. එය අසාර්ථක බවට කියන්න ඕනෙ නෑනෙ.
    5. ආයතනයක් සේවකයෙක් බඳවාගන්නේ වැටුපක් දීලා සේවයක් ගන්නනේ. ඉතින් අදක්ෂයෙක්ව ගන්නෙ නෑනෙ. රජයේ වි.වි. කට ගිහින් උපාධියක් ගත්තා කියලා රැකියාවක් ලැබෙනකම් බකංනිලා ඉන්නෙ නැතිව දක්ෂකම් පෙන්නන්න වෙන නිසා කවුරු කවුරුත් උනන්දුවෙන් ඉගෙනගනී.

  3. O.K, you convinced me.

    තවත් එක කරුණක් තියෙනවා. අපි පහුගිය අවුරුදු ගනනාවක් තිස්සේ ආයෝජනය කල සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න රටේ උපාධිධාරීන්ව යොදාගන්නා රක්ෂා ඇතිවෙන් විධියේ වැඩ පිලිවෙලකුත් මේ සමගම ඇතිවුනොත් නේද හොඳ?
    උපාධිධරයන් ව්‍යවසායකයන් විය යුතු බව මමත් විශ්වාසකරනවා. ඒ සඳහා මගේ යෝජනාවකුත් තියෙනවා. ඒක වෙන වෙලාවක ලියන්නම්.

    බොහොම ස්තූතියි!

  4. උපුල්

    ඔබ උගතෙක් වුවත් ඔබ‍ට සත්‍ය නොතේරෙන බව පැහැදිලි‍ය. රාඡ්‍ය විශ්වවිද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් නවීන ලෝකය‍ට නොගැලපෙන බව කවුරුත් දන්නා දෙයකි. ඔවුන් විෂය දැනුමකට පමණක් සීමා වූ උගතුන් වෙති. ඹවුන්ගෙන් ර‍ටට පලක් නැත. අවසානය්  රුකි‍යා නොමැති උපාධිධාරීන් වෙති. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් දක්ෂ නිර්මාණශිලී අය වෙති. ඔවුන් නවීන ලෝක‍ය‍ට ගැලපෙන අ‍යුරින් දැනුමෙන් සන්නද්ධ වී ඇත. එබැවින් විශේෂයෙන් තාක්ෂණික විෂයන් සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්බ කිරීම වරදක් නොවේ.

    • උපුල්, ඔබේ මතයට මම එකඟ නොවෙමි.

      රාජ්‍ය වි.වි. වල උපාධිධාරීන් විෂය දැනුමට පමණක් සීමාවූ, අදක්ෂ, නිර්මාණශීලී නොවන අය නොවනබවත්, පෞ. වි.වි. වල උපාධිධාරීන් දක්ෂ, නිර්මාණශීලී අය බවත් පවසන්නේ කුමන දත්ත මතදැයි දැනගන්නට කැමැත්තෙමි.

      වි.වි. වලින් සිදුවිය යුත්තේ දැනුම නිර්මාණය සහ ඉගෙනගන්නේ කෙසේද යන්න ඉගැන්වීම බවයි මගේ මතය. රාජ්‍ය වි.වි. වල ඇතැම් පාඨමාලා පමණක් මෑතකදී විෂයමාලා සංශෝධනයකට ලක්ව නැති බව පිළිගත යුතුයි. ඒ නිසා අලුත්ම දැනුම සිසුන් කරා ලඟා නොවනවා ඇති. එහෙත් තම සම්පත් උපරිම ලෙස යොදාගනිමින් පැවැත්වෙන පාඨමාලා වි.වි. වල ඇති බවත් අමතක නොකළ යුතුයි. (ඉගෙනගන්නේ කෙසේද යන්න නිවැරදිව ඉගෙනගන්නා උපාධිධරයෙකුට නව දැනුම ග්‍රහණය අපහසුවක් නොවනු ඇති.) රැකියාවකට අවශ්‍ය වන්නේ වි.වි. දී ඉගෙනගන්නා දෙයින් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් බව දන්නෝ දනිති. ඉතිරිය රැකියාවේදී ඉගෙනගත යුතුය.

    • Dona

      ඔවුන් නවීන ලෝකයට නොගලපෙන්වා යෑය් ඔබ කියන මතයට මම එකග නොවෙමි. වර්තමනයේ රජයේ වි.වි. වල විශය මාලාවන් යල් පිනූ ත්ත්වයක් තිබේ. රෝග නිදනය මෙතනය. මෙය වෙනස් කිරීම රජයේ ප්‍රථිපත්තිය වන්නේ නම් පවතින වි.වි. වලින්ම රටට උගතුන් බිහි කිරීම ප්‍රශ්නයක් නොවනු ඈත.

  5. ඔබ සමහර මිනිසුන් කරන් දේවල් හැමොටම සාමන්‍යකරණය කර ඇත. ඔබ රාජ්‍ය වි.වි. වලින් බිහිවන අය ගැන ඇති අකමැත්තට හේතුව කුමක්දැයි මම නොදනිමි. නමුත් මාගේ වි.වි. කාලයතු මා දුටු, සහ එම වි.වි. වලින් බිහිවී ලෝකය සමග කරට කට හැප්පෙන මිනිසුන් මම දැක තිබෙනවා.
    මගේ උගත්කම පොතට පමනක් යැයි මම ගැන කිසිවක් නොදැන ඔබ් තීරණය කර අවසානයි.
    ලංකාවෙ ඇතිවන රැකියා වලින් කොයි තරම් කොටසක් උපාධිධාරින් සඳහාදැයි ඔබට කිව හැකිද?
    කලින් ප්‍රතිචාරයට මම ලියු දෙයත් කියවා බලන්න. මම පෞ. වි.වි. විරුද්ධයැයි මම කිව්වෙ නැත.
    ඔබ කියන ආකාරයේ භේද ඇති කිරීම ගැන තමයි මම කථාකලේ. ඔබට අනුව පෞ.වි.වි. සිසුන් වඩාත් හොඳය. දැනටමත් භෙදීම ඇති කර හමාර නොවේද?

    • වෙනත් රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස්, නූතන දැනුම හදාරමින්, දැනුම් නිර්මාණය කරන්නට අපේ රටේ ‘රාජ්‍ය වි.වි.’ වල උගත්,  ‘නවීන ලෝකයට නොගැලපෙන’, ‘විෂය දැනුමකට පමණක් සීමා වූ උගතුන්’ සමත් වෙන බව උපුල් නොදත් හැඩයි.

      • උපුල්

        මම කියන්නේ කීපදෙනෙක් ගැන බලලා නෙමෙ‍යි. මම රාඡ්‍ය විශ්වව්ද්‍යාල වල‍ට අකමැති නැහැ. නමුත් එයින් බිහිවන බොහොමයක් දැනුමක‍ට පමණක් සීමා වී ඇති බව ම‍ට හැගේ. මෙය විශ්වව්ද්‍යාල ද රටේ වැරැද්ද ද කියන්න මා දන්නේ නැත. අ‍ප උගතුන් බිහිකල යුත්තේ අපේ රටේ ගැ‍ටලු විසදීම‍ට මිස වෙනත් ර‍ටවල ගැටලු විසදීම‍ට නොවේ.

      • අපේ රටේ ගැටලු විසඳීමට තිබෙන අවස්ථාවන් ඉගෙනීමෙන් ඉහල යනවිට අඩුවන බව මම කලිනුත් කිව්වා. ඒක නිසා තමයි නිකම්ම පෞ.වි.වි. ආරම්භ කිරීම පමනක්ම විසඳුමක් කියලා මම හිතන්නේ නැත්තේ. උදාහරණයකට රසායන විද්‍යාව සඳහා ආචාර්‍ය උපාධියක් ඇති කෙනෙකුට අපේ රටේ කරන්න තිබෙන රැකියා කීයක්නම් තිබෙනවාද? එම කිහිපයෙන් කී තැනක පුරප්පාඩු තිබෙනවාද?
        හැම කෙනෙක්ම විශය දැනුමට පමනක්ම සීමා වෙන්නේ නැහැ. හැබැයි එවැනි සමහර අය ඉන්නවා. පෞ.වි.වි. වලින් එවැනි අය බිහිවෙන්නේ නැහැ කියා සිතනවානම් එයටද මම එකඟ නොවෙමි.

  6. අරුණ වීරසිංහ

    “මම හැදෑරුවෙ විද්‍යා විශයයන් බැවින් ලංකාවෙ මා ඉගෙන් ගත් දේ වලට සරිලන රක්ෂාවන් නොමැති වීම මේ සඳහා වැඩිදුරටම බලපෑ හේතුවයි.”

    ඔන්න ඕකයි තත්වේ.. ලංකාවේ පවතින මේ තත්වයට පුලුල් විසදුමක් කරා පැමිණිය යුතු කාලය එලඔ ඇත.

  7. 1. පංති ආරවුලක් දැනටමත් වි. වි වල තිබේ. දැනටමත් විවිධ හේතූන් මත ජාත්‍යනතර පාසල් වල ලමයි මුදල් ගෙවා රජයේ වි.වි වල අධ්‍යාපනය ලබයි. කල යුත්තේ මුදල් ගෙවන පිරිසට වෙනම වි.වි ඇති කිරීමයි.

    2. විෂය ධාරාවන් සඳහා සිසුන් ‍තෝරා ගැනීමේදී ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතුය. වෙනත් රටවල රජයේ හා පෞද්ගලික වි.වි වල මෙය ඉතා සාර්ථක ලෙස සිදුවේ. අප් රටේ ප්‍රශ්නය වන්නේ සුදුසුකම් ඇති බොහෝ පිරිසකට ඉඩ කඩ මදි වීම නිසා උසස් අධ්‍යාපන වරම් අහිමි වීමයි.

    3. රජයේ හා පෞද්ගලික වි.වි දෙකම ඇති විට ඔබේ මෙම තර්කය වලංගු නොවේ.

    4. මෙම තර්කයද වැදගත්කමක් නැත. වි.වි වලට යන්නේ ‍රැකියා සොයාගැනීමටම පමණක් නොවේ. මොලය දියුනු කර උගතුන් බවට පත් වීමටයි. 20000 උගතුන් සහ 70000 නූගතුන් සිටීම සාධාරණද?

    5. අදා පවතින තරඟකාරී භාවය අනුව නුසුදුස්සන්ට ‍රැකියා වල සිටීමට නොහැක.

    6. උසස් අධ්‍යාපනය තමයි රටේ උගතුන් බිහි කරන්නේ. එය විධිමත් කිරීම ප්‍රධාන කරුනකි.

  8. ඔයාල දන්නවද දන්නෙ නෑ ලOකාවෙ නිදහස් අධ්‍යාපනේට විරුද්ධ උන අයත් හිටිය 1947 නිදහස් අධ්‍යාපන පනත ගේන කොට……අපි ජාතියෙ පියා කියල හඳුන්වපු ඩී ඇස් මහත්තය ඒ අතරින් කෙනෙක්……මේකෙ බ්ලොග් රචකයා නිදහස් අධ්‍යාපන්යෙන් සාර්ථක වුනු ටිකක් දුර්ලභ කෙනෙක්…….දැන් අපි හිතමු ඒ මහත්තයගෙ පOතියෙ 1 වසරෙ 5වසරෙ සාමන්‍ය්පෙල උසස් පෙල හිටපු ළමයි….ඔය මහත්තය හිතනවද නිදහස් අධ්‍යාපනයෙන් ඒ අය බහුතරයකට සාධාර්නය ඉටුවුනා කියල…..මම කලින් කියපු කඩඉම් වලදිත් ලOකාවෙ විශ්ව විද්‍යලවලිනුත් අවුට් වෙන බොහොමයක් වැටෙන්නෙ මහ ආගාධයකට….ඒ කාලෙ අද බහුතරයකට අයිතිවෙන ඔය මහා වැටීම දැකපු ඩී ඇස් මහත්තයල කිව්ව්ලු ඔය නිදහස් අධ්‍යාපනෙන් වෙන්නෙ ගහක ගෙඩියක් කඩාගන්න එකෙක් නැතිවෙන එක කියල….රටක මුදල් සහ අද්‍යාපනය අතර යම් ගැලපීමක් තිබිය යුතුයි ඒත් අවාසනාවකට අපේ රටේ එහෙම දෙයක් නෑ…….අමු සිOහලෙන් කිව්වොත් සල්ලි තියෙන උන්ට ලෙහෙසියෙන් ඉගනගන්න විදිහක් නැති නිසා සල්ලි තියෙන මෝඩයො ඇති වෙනව……ඉගෙනගත්තත් සල්ලි නැති නිසා තව පිරිසක් සල්ලි පස්සෙම යන මෝඩයො රැලක් වෙනව…..මම කියන්නෙ බහුතරය ගැන…මාලු බිස්නස් කාරයගෙ පුතාට සල්ලි දීල ඉOජිනේරිවෙක් වෙන්න පුලුහO උනානම් ඒ යෝදය තාත්තගෙ සල්ලි වලින් නැවක් අරO ලෝකෙ වටේ ගිහින් මාලු අල්ලයි…එයාගෙ දුව ලෝ හරි එකවුන්ට් හරි කලානම් පිටරට මාකට් එකටත් මාලු දෙන්න තිබුන….ලOකාව වටේම මූද තියෙද්දි අපිට ලොකු ධීවර නැව් දකින්න නැත්තෙ පල් හිඟන්නොන්ට අවස්ථාව දෙන්න ඕනි කම බොරු දේසපාලකයින්ට තියන නිසා….

  9. මගේ පැත්තෙන් බැලුවාම මට අද ලංකාවට එන්න ඔනේ උනාට ඉගෙන ගත්ත දේට සරිලන රස්සාවක් සොයා ගන්නට නැහැ. අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ කරන තැන් තියෙන්නේ කීයෙන් කීයද. මීට ටික කාලෙකට ඉහතදී ඉන්දියාවෙත් තිබුනේ කිහිප තැනක් විතරයි නමුත් ඔවුන් පසුගිය දශකයේදී විශාල ලෙස ආයෝජනයන් කලා. ලංකාවේ ඇතිවන ඩෙන්ගී මදුරුවා මරන්නත් අපි කියුබාවෙන් තමයි විද්‍යාඥයො ගෙන්නන්නෙ, අපේ රටෙ වියදමින් ඉගෙනගත්ත මෙව්වා ගැන දන්න (මම නොවේ) මිනිස්සු ඉන්නවා. පෞදිගලික හෝ ආණ්ඩුවෙන් මෙවැනිදේට ආයෝජනය කරන අයනම් නැහැනේද?

    • උපුල්

      මමත් ඕ‍යා සිතන විදියට තමා සිතන්නේ. ර‍ට සංවර්ධනය කිරීම‍ට නම් අපේ රටේ පර්යේෂණ සෑම අංශයකම කල යුතුයි. ඒමගින් තමයි රටට පෙර‍ට යා හැක්කේ. මා ‍ඉහත පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මතය දරන්නේ මා අධ්‍යාපන‍ය ලැබුවේ තොරතුරු තාක්ෂණ‍ය පිලිබදව අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින්. කවුරුත් දන්නා SLIIT. ඒ ම‍ට රාඡ්‍ය විශ්වවිද්‍යාල‍‍යකට යාමට නොහැකි වූ නිසා වෙනි. නමුත් මා හ‍‍ට රුකි‍යාවකට යාම‍ට ඉතා පහසු විය. ඉහල පිලිගැනීමක්ද තිබුනි. නමුත් ම‍ට ව‍ඩා උගත් රාඡ්‍ය විශ්වවිද්‍යාල‍‍යකට ගි‍ය යහලුවෙකුට රැකියාවක‍ට යාමට ඉතා අපහසු විය.

      • කොළඹ රාජකීය විද්‍යාලයට ගිය නිසා මම දන්න සමහර අයට රක්ෂා ලැබුණා. ඒක රටේ තියෙන් ආකල්පයන්ගේ වරදක් මිස රා.වි.වි. වල වරදක්ම නොවේ. ඇමෙරිකාවේ කුඩා වි.වි.ක පවා තියෙන පහසුකම් අපිට තිබුනානම් ඔයා කියන තත්වය ටිකක් දුරට වෙනස් වෙන්න තිබුණා. මම කියන්නේ සිසුන්ගෙන් එක කොටසක් කොයි තැනක ඉගෙන ගත්තත් පොතේ දැනුමට පමනක් සීමාවෙනවා. රා.වි.වි. මේ කොටස වැඩි වෙන්න හේතු වෙන සටහනක ලියන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

  10. පින්ග්කිරීම: ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය ඇයි | Nadee's Thoughts | නදීගේ සිතුවිලි

  11. I tend to agree with Nadee and his/her post in his/her blog http://nadeesthoughts.wordpress.com/2010/05/08/why-lanka-needs-private-uni. I also like to point to a rather old post by a different blogger. See http://unprotectedthoughts.com/2009/03/private-university-dialog-my-response.cfm (sans the few personal attacks at the end which I thought probably unnecessarily)

  12. පින්ග්කිරීම: Should We Privatize Higher Education? – Is That Even the Real Question? « RaKa's Universe

  13. පින්ග්කිරීම: උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද? – දෙවනි කොටස….. « Middle Path (මැදපිලිවෙත)

  14. ප්‍රදීප්

    පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ අරමුණ ලෙස පෙන්වා දී ඇත්තේ A/L වලින් ලකුණු(Z) සුලු ප්‍රමාණයකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය මග හැරෙන අයට රුකුලක් වන්නට කියාය…නමුත්, මෙයින් එවැනි සෙතක්නම් බලාපොරොත්තු වන්නට බැරිය.මක් නිසාද යත්, එසේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය මග හැරෙන සියල්ලන්ටම මේ තරම් මුදලක් ගෙවා අධ්‍යාපනයක් ලැබීමේ හැකියාවක් නොමැති නිසාවෙනි. ඇරත්,A/L අසමත් අයටත් උපාධිය ගන්නට හැකිනම් මෙයින් කිසිම සෙතක් ලංකාවට නොලැබේ.ඊට හේතුවනම්,A/L සමත් වී උපාධිය ලබා රැකියා විරහිතව ඕනෑ තරම් පිරිසක් වේ ඉන්නා බැවිනි.

  15. පින්ග්කිරීම: Should We Privatize Higher Education? – Is That Even the Real Question? - RaKasUniverse.info

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )